අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ.

ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා ගාස්තුවකුත්, ඒ ගන්න කෝල් එකට විනාඩියකට රුපියල් අටකුත් ගෙවන එක ටිකක් අප්සට් වගේ කියලා හිතුණා. ඒ වුණාට මේක ට්‍රයි නොකර බෑනෙ. ඉතින් මොකද කරේ ඒ නම්බර් එකට කෝල් එකක් අරගෙන හොයල බැලුව.

මං මුලින් හිතුවෙ මේකෙ ඇත්තෙ මොකක්හරි ස්වයංක්‍රීය පද්ධතියක් වෙන්න ඇති කියලා. බලාපොරොත්තු වුණේ ස්වයංක්‍රීය පද්ධතියකින් ටිකට් එක වෙන් කරලා mms මගින් වගේ ටිකට් එක ‍දුරකථනයට එන මොකක්හරි… එහෙම විදියක් තිබ්බ නම් නියමයි. ඒත් මේකෙ ටිකට් එකක් වෙන්කරගන්න නම් පාරිභෝගික සේවා නිළධාරියෙකුට කතාකරන්න ඕන. කොහොමහරි ගත්තු එකේ නිකන් ඉන්න බැරි හින්ද විස්තර ටිකක් ඇහුව. ඒ අස්සෙ ක්‍රෙඩිට් ඉවරවෙලා කෝල් එක කට් වුණා :D

ඉතින් මේ සෙනසුරාදා කොළඹ යන්න වෙන හින්ද ජොලියටත් එක්ක මේකෙන්ම ටිකට් එක වෙන්කරගන්න හිතුණා. අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන ඒකෙන් කතාකරා. කොහොමහරි වැඩේ හරි. ටිකට් වෙන් කළා. දුරකථන අංකයයි, අයිතිකාරයගෙ නමයි අරව මේවයි, ටිකට් එක ගන්න එන එක්කෙනාගෙ හැඳුනුම්පතේ අංකයයි… ඒ ටිකත් දුන්න. කතාකරපු නිළධාරිනිය එකම දේ කිය කිය ටික වෙලාවක් හිටියා. ඒගොල්ලන්ට නම් මොකද, අපට‍නෙ ඕවට තදවෙන්නෙ. විනාඩියකට අටක්නෙ :D

කොහොමහරි වෙන් කරල ඉවර වුණාට පස්සෙ අංක දෙකක් ලැබුණ. ඔය අංකය ගෙනිහිල්ල මොබිටෙල් ශාඛාවකින් හරි දුම්රිය ස්ථානයෙන් හරි ටිකට් එක ගන්න ඕන.

DSC06294

තදබදේ

ඉතින් අද උදේම යන්න කියලා හිතාගෙන හිටියෙ ඊයෙ කොණ්ඩෙ කපාගන්නත් එක්කම. දවල් ජනාධිපතිවරණ රැලියක් තියෙන හින්දා ඒකට කලින් ගෙදර එන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ වුණාට අද නැගිටින්න පරක්කු වුණා. කොහොමහරි දවල් වෙලා තමයි ගෙදරින් පිටත් වුණේ. වැව රවුම හරියෙ ඉඳන්ම වාහන තදබදේ. කොළ පාට කොඩි ගහපු බස් කීපයකුත්, ආධාරකරුවො කට්ටියකුත් දැක්කා. බන්ධනාගාරය හරියට එනකොට තවත් කොළ පාට බස් එකක්. තදබදය වැඩියි. මාකට් එක හරියට ඇවිදගෙන එනකොට රතිඤ්ඥා, පෙළපාලි ආදිය තිබුණ. මට ඉතින් ඕවගෙන් වැඩක් නැති හින්ද නරඹන්නො අතරින් රිංගලා KCC එක පැත්තට ගියා.

DSC06295

මොබිටෙල් ටිකට්

කොහොමහරි මොබිටෙල් එකට ඇතුල් වෙනකොට සිකියුරිටි බුවෙක් මගෙන් ඇහුවා සර් මොකක්ද කරගන්න ඕන කියලා. මං කිව්ව ‘ට්‍රේන් ටිකට්’ එක ගන්න ඕන කියල. මේ මනුස්සයා අන්දමන්ද වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්නවා. ‘ට්‍රේන් ටිකට්? සර් මෙහෙන් ඒව ගන්න බෑනෙ’ කිව්වෙ නැතෑ. මං ඉතින් ෆෝන් එක පෙන්නලා ‘ඇයි දැන් ෆෝන් එකෙන් බුක් කරන්න පුළුවන්නෙ’ කියල කිව්ව. මේ මනුස්සය තාම අන්දමන්ද වෙලා. ඊටපස්සෙ එතන හිටපු මැනේජර් කෙනෙකුටද කොහෙද කතා කරල ඇහුව ‘සර් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්ද?’ කියලා. ඒ මනුස්සයා මගෙ ළඟට ඇවිත් ‘පුළුවන් සර් අන්න අතනට යන්න’ කියල කිව්වා. මං ඉතින් කවුන්ටර් එකට යන අතර මැනේජර් (හරි කවුරුහරි) සිකියුරිටි බුවාට කියනව ඇහුණා ‘දැන් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්නෙ’ කතාවක්. හිත යටින් හිනාවෙවී කවුන්ටරයට ආව. එතන මනුස්සයට කිව්වට පස්සෙ තව කවුන්ටර් එකකට දැම්ම. එතැනින් අයිඩී එකයි, යොමු අංක දෙකයි ඉල්ලගෙන කොහාටද ගිහින් මෙන්න මේ සුවිසල් ටිකට් දෙක ගෙනල්ල දුන්න :D

ඉතින් ඒකත් සාක්කුවේ ඔබාගෙන ටවුමෙ පොඩි රවුමක් ගහල, ආදි කාලෙ ෆෝන් එකක් හොයන්න ට්‍රයි එකකුත් දීල, ලේසර් ප්‍රින්ටර් වල ගණන් ටිකක් හොයාගෙන, අම්මලවත් හම්බවෙලා ගෙදර එන්න ලෑස්ති වුණා. වෙනදා බස් තියෙන තැන අද බස් නෑ. මාකට් එක ඉස්සරහ රැලිය. කට්ටිය හුරේ කියනව කෑගහනව etc. මට ඉතින් ඒවගෙන් වැඩක් නෑනෙ. අවශ්‍යතාවය ඉක්මණට ගෙදර එන්න. ඉතින් බස් තියෙන්නෙ කොයි ලෝකෙද කියලා හොයන්න දේශපාලන සපෝටර්ලා අස්සෙන් රිංගලා ආවා බන්ධනාගාරය පැත්තට. ඔක්කොම බස් ඒ පැත්තෙන් යන්නෙ. ඒත් නවත්තන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරිවුණා. අව්වයි, රස්නෙයි, දාඩියයි! මෙහෙම උඩ බලාගෙන ඉන්න බැරි හින්ද ත්‍රීවීලර් බුවෙකුට කතාකරල ඒකෙ නැගල ගෙදර ආවා. නැත්තං තාම ටවුන් එකේ :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. eBay කතා
  2. මොබිටෙල් වෙත සමුදීම සහ ඩයලොග් පිළිගැනීම!
  3. ඊයේ නියම දවසක්!
  4. දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!
  5. දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල