Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
25 Jun
අත්තම්මලගෙ ගෙදර ඉන්න මාලිකා කියන පූසි පැටව් දෙන්නෙකුට උපත ලබා දුන්නා නොවැ. දැන් ටික දවසක් වෙනවා. පැටව් දෙන්නගෙන් එක්කෙනෙක් සුදු පාටයි කළු පාටයි මිශ්ර වුණු එකෙක්. ඌ එතරම් සිත්ගන්නාසුළු පෙනුමක් තියෙන එකෙක් නෙවෙයි.
අනිත් එක්කෙනා අපේ ගෙදර ඉන්න යූලාට සහ කෝඩිට ගොඩක් සමානයි. අපි දැනට ඌව නම් කරලා තියෙන්නෙ චූටි යූලා කියලා. මේ පින්තූරේ ඉන්න චූටි යූලා තමයි. පින්තූරය නම් එච්චරම හරි නෑ මොකද දුරකථනයේ කැමරාවෙන් ගත්තු නිසා. ඒක කසිකබල් VGA එකක්

පැටව් දෙන්නම හරිම දඟයි. අනිත් එක්කෙනාට තවම නමක් නෑ. එයා ටිකක් බයයි. ඒත් චූටි යූලා නම් කිසිම බයක් නැතුව ඉන්නවා. චූටි යූලා නම් දඟයි කියන්නෙ ඕන වෙලාවක රට පුරා යන්න ලෑස්ති හින්දා. අරහෙට දුවනවා. මෙහෙට දුවනවා. එක තැනක ඉන්න බෑ.
ෂෝක් වැඩේ කියන්නෙ අපේ ගෙදර ඉන්න සුමනි (සුදුසු, නුසුදුසු කියන නම් වලිනුත් හඳුන්වනවා) කියන බැල්ල මේ පැටව් දෙන්නව රැක බලාගන්න ඉදිරිපත් වෙන එක තමයි! අම්මලා එහෙම ඉතින් විහිළුවට කියන්නෙ ‘ලොකු අම්මා’ කියලා. පැටියෙක් අතට ගත්තු ගමන් කොහේ හරි ඉඳලා කෙඳිරි ගාගෙන එන සුමනි පැටියව බිමින් තියනකල්ම අපේ පස්සෙන් එනවා. පැටියෙක් බිම ඉන්නකොට එහෙම ළඟට ගිහින් අමුතු විදියකට කෙඳිරි ගානවා. පැටව් ඉපදුණු දවස්වල පුදුම හදිසියක් තිබුණේ පැටව් ඉන්න තැනට යන්න. අත්තම්මලගෙ ගෙදර දොරවල් එහෙම වහලා තිබ්බොත් දොර ළඟට වෙලා කෙඳිරි ගගා ඉන්නවා. මට ළඟදි පූස් පැටව් කෑගහන සද්දෙ තියෙන ringtone එකක් හම්බවුණා. ඒක දාද්දිත් දඩිබිඩි ගාලා දුවගෙන එන හැටි! පුදුම වැඩක්!

මේ ඉන්නෙ සුදුසු

සුදුසු චූටි යූලා සමග
ආශ්රිත ලිපි
5 Responses for "චූටි යූලා"
මලින්ත ඉතාම ලස්සනට ලියනවා. අනර්ඝයි.
@Anandawardhana: බොහොම ස්තූතියි
සත්තු ලග තියෙන ඒ කරුණාව පුදුම සහගතයි තමයි. ඒක අපිට පුදුමයක් වෙලා තියෙන්නේ බොහොවිට අපි සතෙක්ගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවෙන නිසා වෙන්න ඇති. චුටි යුලාටයි නමක් නැති පැටියටයි සුභ පැතුම් අම්මලා දෙන්නෙක් නේ.
My Congratulation Malika.
Nice Blog Post…. සිත් බැද ගන්නා සිදුවීමක්……..
Leave a reply