සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
– දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/

පරීක්ෂණ සටහනක්

ඊයේ නිදාගනිද්දි 12 පහුවුණා. ඒත් ඉතින් මැරතන් එක දවසට ඇහැරගෙන ඉන්න එපායැ? හෙට හවස් වෙනකල්ම නිදාගන්න තමයි හිතාගෙන ඉන්නෙ. එතකොට රෑ අවදියෙන් ඉන්න පුළුවන් වේවි. අදවත් යන්න ඕන කොණ්ඩෙ කපාගන්න. ඊයෙත් ටවුම පැත්තෙ ගියා. සමහර කඩ ඇරලා, සමහර ඒවා වහලා. තව ටිකකින් යන්න ඕන. මේක ලියන්නෙ සින්ඩිකේටරය ටෙස්ට් කරන්න. 😀

හිසරදය සහ ටවුම පුරා ඇවිදීම

අද නම් මහ එපාකරපු දවසක්. උදේ නැගිටිනකොටම හිසරදේ. ඔළුව රිදෙනවා ඉන්න බෑ. අම්මා කිව්වා පැනඩෝල් දෙකක්වත් බොන්න කියලා ඒත් බිව්වෙ නෑ. මම කැමති නෑ ඕවා බොන්න 😀 අද ගියා ටවුමට අම්මයි මල්ලියි එක්ක. කොණ්ඩය කපාගන්න සහ ඇඳුම් වගයක් මාරු කරගන්නත් එක්ක. අද බස් අඩුයි. අපේ පාරේ වැඩ කරේ බස් තුනයිලු. ටවුමට ගිහිල්ලා ගියා සැලෝන් එක පැත්තට, වහලා. බැලුවා වීඩියෝ සෙන්ටර් එකේ යාළුවා ඉන්නවද කියලා. මිනිහත් නෑ. ඉතිං මොනවා කරන්නද ගියා ඇඳුම් ටික මාරු කරගන්න කියලා.

මට ඇඳුම් තෝරන එක තමයි ටිකක් අමාරු වැඩේ. අම්මලා ගෙනාපුවා මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. මං සාමාන්‍යයෙන් අඳින්න කැමති ටිකක් නිදහස් ලොකු ටීෂර්ට් වගේ ඒවා තමයි. අද හොඳ එකක් තෝරගත්තා. මල්ලිට තමයි තේරිල්ල ටිකක් අමාරු. මිනිහා ටීෂර්ට් සීයක් විතර ඇදලා එකක්වත් හරි නෑ කිව්වා.

අද මාර රස්නෙයි. අව්වත් තදයි. මං හරිම අකමැතියි. ගොඩක් අය නුවර කිව්වාම හිතාගෙන ඉන්නෙ හරිම කූල් ලස්සන ‍පළාත කියලනේ. මොන පිස්සුද? පායන්න ගත්තම ඉන්න බෑ පිස්සු හැදෙනවා. ඒත් මෙහෙම කිව්වට වෙන පළාත් මීට වඩා රස්නෙයි මම හිතන්නෙ. අපි දැන් මාස හතරකට පහකට කලින් හම්බන්තොට පැත්තෙ ගියා, එතකොට තමයි තේරෙන්නෙ මේක එතරම් රස්නයක් නෙවෙයි කියලා.

අද බස් අඩුයි වගේම ටවුන් එකේ කඩවල් ගොඩක් වහලා තිබුණේ. ඒ හින්දා ඇවිදලා ඇවිදලා තේකක් බොන්න තැනක් තියෙනවද බැලුවා. වෙනදා යන තැන් ඔක්කොම වගේ වහලා. ඩෙවොන් එකට තමයි අපි සාමාන්‍යයෙන් යන්නෙ. එතන තේ නියමයි. 😉 වැඩේ හරියන්නෙ නෑ. ඔක්කොම තැන් වහලා. ඊටපස්සෙ KFC එක පැත්තට ගියා. හපොයි එතැන ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඊටපස්සෙ ෆුඩ්ලන්ඩ්ස් කියලා එකක් ඇරලා තියෙනවා දැක්කා. එතැනට ගියා. එතනත් මාර සෙනගක්. වැඩේ හරියන්නෙ නෑ. තවත් ඇවිදගෙන යනකොට තව මොකක්ද එකක් තිබුණා ඒකෙ නමත් මතක නෑ. එතනින් හොට්ඩොග්ස් දෙකක් කාලා කොකා කෝලා එකක් බිව්වා. ගෙදර ආවා. මහන්සියි. රස්නෙයි. හිසරදෙයි.

ආයෙ දවල්ට කාලා නිදාගත්තා. නැගිට්ටෙ හතට විතර. ඒත් හිසරදය එතරම් අඩු නැහැ. කම්මැලිකමට මේක ලියන්න ගත්තෙ.

මේ දවස් ටිකේ පරණ පුරුදු ඒවා ලියන්න හිතුණෙ නෑ. කම්මැලියි. 😀 නිකමට හිතු‍ණා ටිකක් වෙනස් දෙයක් ලියන්න ඕන කියලා. ඒකයි අර කූඩැල්ලන් සම්බන්ධව එකක් එහෙම ලියන්න හිතුණෙ.

මැරතන් එකට තව දවස් කීපයයිනෙ. එතකොට ලියන්න බැරියැ!

කූඩැල්ලෝ

ඔව් අද ලියන්න යන්නේ කූඩැල්ලෝ ගැන. පරිගණක කූඩැල්ලෝ නෙමෙයි ඇත්ත පණ තියන කූඩැල්ලෝ ගැන. මොකද මේ දවස්වල අම්බානක වහින නිසා ගෙයින් එළියට ගියොත් කූඩැල්ලෙක් ෂුවර්. අම්මා නම් කොහෙත්ම කැමති නෑ කූඩැල්ලොන්ට. එකෙක් හිටියොත් ගේ දෙවනත් වෙන්න කෑගහනවා 😉 මටයි මල්ලිටයි නම් එච්චරටම ගාණක් නෑ. චූටි නැන්දත් කැමති නෑ, අම්මා වගේ තමයි ටිකක්. අම්මා එකපාරක් කතාවක ලියලා තිබ්බා කූඩැල්ලො ගැන. මෙන්න මෙහෙම: “මොනවට බයවෙනවද? ලේ උගේ ආහාරය. ඇති තරම් බිව්වට පස්සෙ ගැලවිලා වැටෙනවා. අහිංසක සතෙක්” ඉතිං අපි ඕක කියමින් හිනාවෙනවා 😀

ඉතිං මේ කූඩැල්ලොන්ගෙන් හැමදාම තියෙන කරදරේ හින්දා මම දැන් ටික දවසකට කලින් උන් ගැන වැඩි විස්තර හොයා බැලුවා විකිපීඩියාවෙ. මොකට කියනවද ඔය ඕන තරම් විස්තර තියෙන්නෙ. කියවලා බලන්න කෝකටත්. මොකද දැන් ඔය කූඩැල්ලෙක් එල්ලුණාම සබන්, ලුණු අරවා මේවා දානවනෙ. එතකොට ඌ ගැලවිලා වැටෙනවනෙ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයිලු. මෙන්න විකිපීඩි‍යාවෙන් ගත්තු උපුටාගැනීමක්:

A common but medically inadvisable technique to remove a leech is to apply a flame, lit cigarette, salt, soap, or caustic chemical such as alcohol, vinegar, lemon juice, insect repellent, heat rub, or certain carbonated drinks. These cause the leech to regurgitate its stomach contents into the wound and quickly detach. The vomit may carry disease and increases the risk of infection.

මේ ගැන වැඩි විස්තර මෙතැන තියෙනවා. කෝකටත් කියවලා බලන්න. http://en.wikipedia.org/wiki/Leech

මොකද මං මේ කූඩැල්ලෝ ගැන ලියන්න ගත්තෙ කියලා මං මේ කල්පනා කළේ. ආ හරි. අපේ මාමණ්ඩියා කූඩැල්ලොන්ට දස වධ දෙන හින්දා තමයි ‍මම මේක ලියන්නෙ. මට ඊයෙ පෙරේදා දැනගන්න ලැබුණා එයා කකුලේ හිටපු කූඩැල්ලෙක් ගලවලා අරන් ඌව nailcutter එකකින් දෙකට කැපුවා කියලා 🙁 මට ඇත්තටම ටිකක් තරහ ගිය හින්දා තමයි ඉතින් මේක ලියන්න හිතුණේ. ඒක හරිම කැත වැඩක් නේද? අහිංසක කූඩැල්ලොන්ට මොනවා තේරෙනවද? ඌව කෑලි වලට කපලා, ගින්දර වලින් පුච්චලා දාන්න තරම් මිනිස්සු නපුරු වෙන්නෙ කොහොමද? 😛

ඉතිං මෙපමණයි ලියන්න තියෙන්නෙ. ආ තව වැඩක් වුණා ඒකත් ලියලම ඉවරයක් කරන්නම්. දවසක් මම ගෙයින් පිටතට ගිහින් නැවත ඇතුළට ඇවිල්ලා මැෂින් එක ළඟ වාඩිවෙලා වැඩක් කර කර හිටියා. එතකොට දැනුණා කකුලේ මොකෙක්ද ඉන්නවා වගේ. බලනකොට කූඩැල්ලෙක් තමයි. ඒත් ඌ ලේ බීලා තිබුණේ නෑ. ඌ කම්පියුටරේ තියපු මේසේ උඩට යනවා. මට මාර හිනා. ඌව දැන් අයින් කරන්නත් එපෑ? ඒත් මම උන්ව අල්ලන්න කැමති නෑ (කකුලේ හිටියොත් මිසක්) ඒ හින්දා ඉරපු කොළ කෑල්ලක් අරගෙන ඌව ඒකට උඩට ගන්න ට්‍රයි කළා. මොන? වැඩේ හරියන්නෙම නෑනෙ. විනාඩි දහයක් විතර ට්‍රයි කළා ඌව කොළ කෑල්ල උඩට ගන්න. ඌ ඉදිරියට යනකොට යන පාරේ කොළ කෑල්ල තියනවා. එතකොට ඌ ඒක ‘චෙක්’ කරලා බලලා පැත්තකට යනවා. මං ඉතින් ටිකක් කල්පනා කරලා කළා නියම වැඩක්. අර කොළ කෑල්ල අරගෙන මැදින් සිදුරක් විදලා කූඩැල්ලා සිදුර මැද හිටින විදියට තිබ්බා. දැන් ඌ කොහාට ගියත් යන්නෙ කොළ කෑල්ල උඩට විතරමයි. ඉතින් ඌටත් හිතෙන්න ඇති දැන් වැඩේ හරියන්නෙ නෑ කියලා. නැග්ගා කොළේ උඩට. මං ගිහිල්ලා විසි කරලා දැම්මා. 😀

එපමණයි. අනේ මටත් පිස්සු!