Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

බුදුරැස්

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පළාත් බොහොමයක බුදු පිළිම වලින් බුදුරැස් විහිදීම ගැන අසන්නට ලැබුනා. නමුත් එය අප අසා ඇති බුදුරැස් නෙවෙයි. සිවුර අසළින් නිකුත් වූ කොළ පැහැ ආලෝක ධාරාවක්. විවිධාකාර පුද්ගලයන් මේ පිළිබඳව විවිධාකාර මත පළකළා. නමුත් මෙය හුදෙක් දෘෂ්ටි මායාවක්ම විය හැකියි.

මෙම රූපය මගින් එය පැහැදිළි වනවා. මෙහි කහ පැහැය හා රතු පැහැය බුදු පිළිමයේ සිවුර හා බුද්ධ ශරීරය වර්ණගන්වා ඇති වර්ණ දෙකයි. සිවුර හා සම වෙන්වන ස්ථානය පෙන්වීමටයි මෙය දක්වා තිබෙන්නේ.

දැන්, මෙම රතු පැහැ වෘත්තය මැද ඇති සුදු පැහැ තිත දෙස මද වේලාවක් බලා සිටින්න. (බලා සිටින වේලාව වැඩිවීම මායාව දැකීමට ඉවහල් වේ!) දැන් එම සුදු පැහැ තිත දෙසම බලාගෙන හිඳිමින් හිස සෙමෙන් සෙමෙන් පිටුපසට ගන්න. පිටුපසට යන තරමට දෘෂ්ටි මායාව හොඳින් දර්ශය වේ. මේ ක්‍රමය නැත්නම් තිරයට හොඳින් ළංවී සුදු පැහැ තිත දෙස බලා සිට වේගයෙන් හිස පිටුපසට ගන්න. එවිටද මෙම දර්ශනය හොඳින් දැකගත හැක.

මෙම දෘෂ්ටි මායාවේදී අපට දර්ශනය වන කොළ පැහැය නරඹන්නන් දුටු කොළ පැහැයට සමාන බවක් පෙන්නුම් කරයි.

ඉතින්, මෙම බුදුරැස් විහිදීම දෘෂ්ටි මායාවක්ම විය හැකියි නේද?

මලින්ත෴

සැලකිය යුතුයි: මෙය මගේ මතයක් පමණි! කරුණාකර ඔබේ අදහස් හා යෝජනා දක්වන්න.

Posted on 12 August '06 by Malinthe Samarakoon, under Uncategorized.


2 Comments to “බුදුරැස්”

#1 Posted by ශ්‍රී භාරතය (14.08.06 at 00:00 )

ඔබ පවසා තිබෙනෙ මතය හොඳ මතයක් යැයි සිතමි.
අප ශ්‍රී ලාංකිකයන් හුදෙක් මිත්‍යා මත විශ්වාස කරන්නන් වේ, එය ප්‍රයෝජනයට ගන්නා අයද බොහොමය (ඒ කවුරුන්දැයි සැවොම දන්නා නමුත් ආගම දහාමට ඇති බිය නිසාදෝ කවුරුත් කිසිවක් නොපවසයි).

ප්‍රශ්ණයක් ඇසීමට කැම්තියි.
ඔබට සිංහල ලිවීමට අපහසු නම් මෙය භාවිතා කරන්න
http://garpuniphonic.ourprofile.us/

#2 Posted by නන්දන Nandana (29.09.06 at 13:31 )

මල්ලී ඔයාගේ උත්සාහය හොඳයි. මල්ලීගේ මතය(ඇත්තටම මේ මතය PHYSICS වලින් ආලෝක වරණාවලිය භාවිතාකරලා තව හොඳට කියන්න පුලුවන්).
නමුත් ප්‍රශ්ණය මේක ලංකාවේ මිනිසුන්ට පෙනුනේ සතියක් විතරලු. ඒ කාරනය පැහැදිලිකරන්නේ කොහොමද? මල්ලී මේ සංසිද්ධිය සම්පූර්ණව අවබෝධ කරගැනීමට නම් අදාල සියලුම නිරීකෂණ එම මතය යොදාගෙන විස්තරකල හැකි වියයුතුයි.

තම තම ණැන පමණින් කරුණු අවබෝධ කරගැණීම වැදගත් උනත් “අප ශ්‍රී ලාංකිකයන් හුදෙක් මිත්‍යා මත විශ්වාස කරන්නන් වේ,” වැනි නිගමන වලට එලබීමට තරම් අප උද්දච්ච වියයුතු නැත.
මේවා බුදුරැස්(එවැනි දෙයක් ඇත්නමි)නොවන බවත්,කුහක පිරිස් ඒවා ප්‍රයෝජනයට ගන්නා බවත් ඇත්තය.ඒවාගේම ඒවා හෙලාදකින නියාවෙන්,සංසිද්ධියේ නිරීක්ෂකයන්ට හිනාවීමට තවත් කුහක පිරිස් ඇත. අපත් ඒගොඩට නොවැටී කරුනු තේරුම් ගන්නට උත්සාහ කලයුතුයි.
මහාචාර්ය නලින්ගේ
http://www.kalaya.org/files/Nalin_de_Silva_Budurass.wmv
මේ නාද ලිපිය අහලා බලන්න.