Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
4 Jul
මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද?
වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.
ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක තමයි. ඊටපස්සෙ කළු පැහැයෙන් තියෙන ෆිල්ම් කෑල්ලක් තියලා පරණ විදියටම හදපු එකයි කළේ. ප්‍රතිඵලය දැක්කම මටත් පුදුම හිතුණා.
මේ ඉන්නෙ මම. ඇත්තටම ඇඳගෙන ඉන්නෙ නිල් පාට ටීෂර්ට් එකක්. ඒත් පේන්නෙ අමුතු විදියට නේද?

මේ තියෙන්නෙ රුපියල් සීයේ නෝට්ටුවක ඉදිරිපස සහ පිටුපස. හෙහ් මේක හොර නෝට්ටු අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?

තව පින්තූර ටිකක් පස්සෙ දාන්නම්.
මෙන්න තව එකක්. මේ ඉන්නෙ මගේ මලයා. ඔය අතේ තියෙන්නෙ ඇන්ටනාවේ දුරස්ථ පාලකය. ඒකෙන් නිකුත් වෙන්නෙත් අධෝරක්ත කිරණයක්නෙ. චැහ් මාර එළියක්නෙ තියෙන්නෙ

3 Jul
අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා.
කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, ඡේද, වගන්ති පහසු ක්‍රමයකට හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීම තමයි. සාමාන්‍යයෙන් චැට් මෘදුකාංගයකට මහා දිග වචන තොගයක් ලියන එක යවන කෙනාටත්, ලබාගන්න කෙනාටත් ලොකු කරදරයක්. විශේෂයෙන්ම ලබන කෙනාට. මොකද අර පුංචි චැට් කවුළුව ඇතුළේ මහා දිග හෑල්ලක් කියවන්න ගියාම එපාවෙන නිසා. ඒ කරදරයෙන් බේරෙන්න TinyPaste හොඳ ක්‍රමයක්.
tinypaste.com වෙබ් අඩවියට ගියාම ඔබට පෙනේවි Paste Bin එකක්. මෙතැනට අවශ්‍ය දේ පිටපත් කරලා submit මත ක්ලික් කරාම ඔබට ලැබෙනවා කෙටි ලිපිනයක්. දැන් ඔබට කරන්න තියෙන්නේ ඒ ලිපිනය අවශ්‍ය කෙනාට ලබාදෙන එක විතරයි. ඒ ලිපිනයට ගියාම ඔබ කලින් පිටපත් කළ ලේඛනය පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.
වැඩේ තවත් පහසු කරගන්න ඒ මගින් ෆයර්ෆොක්ස් සඳහා ඇඩෝනයකුත් ලබාදෙනවා. ඒකත් ඒ අඩවියෙන්ම ලබාගන්න පුළුවන්. ඇඩෝනය ස්ථාපනය කළාට පස්සේ අපට අවශ්‍ය ඡේදය තෝරගෙන right-click කළාම මතුවන මෙනුවෙන් TinyPaste selected text මත ක්ලික් කරන්න පුළුවන්. එතකොට ස්වයංක්‍රීයවම අවශ්‍ය කටයුත්ත සිදුවේවි.
මෙන්න උදාහරණයක්: http://tinypaste.com/9ff58
30 Jun
අනේ මන්දා මේ දවස්වල ටීවී එකේ යන දැන්වීම් පුදුම හිතෙනවා
අනේ ඇත්තට… හිතේ ඇති හරි ලස්සනයි කියලා. මේ තියෙන්නෙ මේ දවස්වල ටීවී එකේ යන යෝගට් දැන්වීමක්. මට නම් මාර තරහයි මේක දැක්කම. ඇත්තටම හිතෙන්නෙ නැද්ද මේක මහ විකාරයක් කියලා? යෝගට් කෑම කෙසේවතත් යෝගට් නාලා වගෙයි මට නම් පේන්නෙ. දැන් ටික කාලෙකට කලිනුත් චොකලට් දැන්වීමක මේ වගේ එකක් තිබිලා තියෙනවා.
රස ගුණ පෝෂණයෙන් සහ නැහැදිච්චකමින් පිරිලා!
Update: පින්තූරේ අයින් කළා. දාන එක හරි නෑ වගේ තමයි. කොහොම වුණත්…
27 Jun
ඔන්න ඉතින් අද උදේ අම්මත් එක්ක යන්න වුණා වත්තේගම තියෙන බැංකුවකට මොකක්ද ගෙවීමක් කරන්න. වත්තේගමට යන්න ගියාම එපාවෙනවා. මං යන්න හරිම අකමැතියි. සාමාන්‍යයෙන් 621 පාරේ බස් මැණික්හින්නට ගිහින්, එතැනින් මඩවලට ගිහින් එතැනින් වත්තේගමට බස් එකක් ගන්න ඕන. නැතිනම් ටවුමෙන් කෙලින්ම වත්තේගමට යන බස් තියෙනවා. කොහොම හරි ඉතින් ගොඩක් වෙලා බස් එකේ ඉඳගෙන එහෙට ගියා. බැංකුවට ගිහින් ගෙවීම කරන්න තවත් බලාගෙන හිටියා පැය බාගයක් විතර. මං බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. බලනකොට ඒ අය සම්පූර්ණයෙන්ම manually තමයි වැඩ කරන්නෙ. මොකක්ද තඩි පොතක පෑනෙන් ඉරි ගගහා… හික්
මට පුදුම හිතුණා මොකද ඒ කවුන්ටර් එකේ හොඳට පේන්න පරිගණකයක් එහෙම තියලා තිබ්බ නිසා. ඇයි මෙච්චර තාක්ෂණය තියාගෙන ඒක පාවිච්චි නොකර ඉන්නෙ? පාවිච්චි කරන්න තියෙන බය නිසාද නැතිනම් පරිගණකය කැඩිලා තිබුණ නිසාද දන්නෙත් නෑ.
කොහොම හරි ඉතින් ආපහු ගෙදර එනකොට ආවේ මැණික්හින්න හරහා. ඒක නම් මතක‍් වෙනකොටත් තරහයි. SLTB බස් එකක ආවෙ. ඒ කියන්නෙ ශ්‍රීලංගම බස් එකක. ඒ බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ ජංගම දුරකථනයක් කනේ තියාගෙන ඉබි ගමනින් ආවෙ නැතෑ පිලවල හරියට එනකල්. පුදුම මනුස්සයෙක්. ගෑනු ළමයාවත් කතා කරාද දන්නෙ නැහැ
එක අතකින් ෆෝන් එක අල්ලගෙන තනි අතින් සුක්කානම කරකවමින්… මට පුදුම තරහක් තිබ්බෙ. මං හිතුවේ මේ යකා මේ දැන් බස් එක කොහේ හරි හප්පගනිවී නැතිනම් කොහාටහරි පෙරලගනීවි කියලා. කොහොමහරි පිලවල හරියට එනකොට ඊට පස්සෙ එන්න තියෙන පෞද්ගලික බස් එකත් පිඹගෙන එනවා. මෙන්න ඒ පාර ඩ්‍රයිවර් උන්නැහේ කතාව පැත්තක තියලා දඩිබිඩි ගාලා යන්න ගත්තා.
කොහොමහරි ඇවිල්ලා පිලවල තියෙන ඉස්කෝලෙ ගාව බස් එක නතර කරේ නැතෑ. ඉස්කෝලෙ අරිනකල් වෙන්න ඕන. ඉතින් අපට විනාඩි දහයක් පහළොවක් විතර බලාගෙන ඉන්න වුණා. ඒ අතරම පෞද්ගලික බස් එකත් ඇවිල්ලා පිටිපස්සේ ඉඳන් හෝන් කරනවා. ඒත් මේ ඩ්‍රයිවර් උන්නැහෙ ඒකට යන්න දෙන්නෙත නෑ. ඔහොම ඉතින් ටික වෙලාවක් ගිහින් තත්ත්වය ටිකක් උණුසුම් වුණා. වචන හුවමාරුවක් එහෙමත් ඉතින් ඇතිවුණා. පෞද්ගලික බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ කෑගහනවා ඇහුණා “යකෝ අපට විනාඩි පනහෙන් යන්න ඕන. එක්කො ඕක අයින් කරගන්නවා අපට යන්න” කියලා. පාරේ හිටපු ‘අයියලා’ දෙතුන් දෙනෙකුත් කෑගහන්න ගත්තා. අන්තිමට ලංගම බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේට සිද්ද වුණා පිටත්වෙන්න. තව ටිකක් හිටියනම් හොම්බකට සමතලා කරගන්නයි වෙන්නෙ
ඔන්න ඕකයි ඉතින් කතාව. ගෙදර එනකොට විදුලිය නෑ. විදුලි බලය ආවට පස්සෙ තමා මේක ලියන්න ගත්තෙ. ඉතින් මොකට කියනවද? ![]()
25 Jun
හැමෝටම මතක ඇති EnSiTip - ඒ දවස්වල ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.
මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.
25 Jun
අත්තම්මලගෙ ගෙදර ඉන්න මාලිකා කියන පූසි පැටව් දෙන්නෙකුට උපත ලබා දුන්නා නොවැ. දැන් ටික දවසක් වෙනවා. පැටව් දෙන්නගෙන් එක්කෙනෙක් සුදු පාටයි කළු පාටයි මිශ්‍ර වුණු එකෙක්. ඌ එතරම් සිත්ගන්නාසුළු පෙනුමක් තියෙන එකෙක් නෙවෙයි.
අනිත් එක්කෙනා අපේ ගෙදර ඉන්න යූලාට සහ කෝඩිට ගොඩක් සමානයි. අපි දැනට ඌව නම් කරලා තියෙන්නෙ චූටි යූලා කියලා. මේ පින්තූරේ ඉන්න චූටි යූලා තමයි. පින්තූරය නම් එච්චරම හරි නෑ මොකද දුරකථනයේ කැමරාවෙන් ගත්තු නිසා. ඒක කසිකබල් VGA එකක්

පැටව් දෙන්නම හරිම දඟයි. අනිත් එක්කෙනාට තවම නමක් නෑ. එයා ටිකක් බයයි. ඒත් චූටි යූලා නම් කිසිම බයක් නැතුව ඉන්නවා. චූටි යූලා නම් දඟයි කියන්නෙ ඕන වෙලාවක රට පුරා යන්න ලෑස්ති හින්දා. අරහෙට දුවනවා. මෙහෙට දුවනවා. එක තැනක ඉන්න බෑ.
ෂෝක් වැඩේ කියන්නෙ අපේ ගෙදර ඉන්න සුමනි (සුදුසු, නුසුදුසු කියන නම් වලිනුත් හඳුන්වනවා) කියන බැල්ල මේ පැටව් දෙන්නව රැක බලාගන්න ඉදිරිපත් වෙන එක තමයි! අම්මලා එහෙම ඉතින් විහිළුවට කියන්නෙ ‘ලොකු අම්මා’ කියලා. පැටියෙක් අතට ගත්තු ගමන් කොහේ හරි ඉඳලා කෙඳිරි ගාගෙන එන සුමනි පැටියව බිමින් තියනකල්ම අපේ පස්සෙන් එනවා. පැටියෙක් බිම ඉන්නකොට එහෙම ළඟට ගිහින් අමුතු විදියකට කෙඳිරි ගානවා. පැටව් ඉපදුණු දවස්වල පුදුම හදිසියක් තිබුණේ පැටව් ඉන්න තැනට යන්න. අත්තම්මලගෙ ගෙදර දොරවල් එහෙම වහලා තිබ්බොත් දොර ළඟට වෙලා කෙඳිරි ගගා ඉන්නවා. මට ළඟදි පූස් පැටව් කෑගහන සද්දෙ තියෙන ringtone එකක් හම්බවුණා. ඒක දාද්දිත් දඩිබිඩි ගාලා දුවගෙන එන හැටි! පුදුම වැඩක්!

මේ ඉන්නෙ සුදුසු

සුදුසු චූටි යූලා සමග
22 Jun
මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.
මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.
අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.
මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?
මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ
කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.
ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.
අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි
සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. ![]()
18 Jun

ඔන්න අද උදෙන්ම ෆයර්ෆොක්ස් 3 ලබාගත්තා. ඊයෙ රෑ සූදානමින් හිටියට මෙලෝ දෙයක් ලෝඩ් වුණේ නෑ.
කොහොමහරි ඉතින් අද උදේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වුණා.
ආයෙ ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ. මේක ගන්න තමයි අපි කාලයක් බලාගෙන හිටියෙ
අද දවස පුරාම මේක ලබාගෙන ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න පුළුවන්.
සිංහල අනුවාදය අවශ්‍ය නම්: http://www.mozilla.com/en-US/firefox/all.html
13 Jun
යුනිකෝඩ් අභය පරිවර්තකය පහසුවෙන් පිවිසෙන්නට පුළුවන් ලෙස වෙනත් තැනකට මාරු කළා. දැන් කෙලින්ම http://converter.malinthe.com මගින් ඔබට පරිවර්තකය වෙත යන්නට පුළුවන් ![]()
12 Jun
ඔන්න හැමෝම මග බලාගෙන ඉන්න ෆයර්ෆොක්ස් 3 මේ මාසේ 17 වෙනිදා ලබාගන්නට පුළුවන් බව ආරංචියි. හුරේ!
දැන් ඉතින් බලාගෙන ඉන්න වෙන්නෙ ටික දවසයි. ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න කැමති නම් http://www.spreadfirefox.com/en-US/worldrecord වෙත යන්න. ෆයර්ෆොක්ස් ලබාගන්න ලෑස්ති වෙන්න