මොකට කියනවද?

ඔන්න ඉතින් අද උදේ අම්මත් එක්ක යන්න වුණා ව‍ත්තේගම තියෙන බැංකුවකට මොකක්ද ගෙවීමක් කරන්න. වත්තේගමට යන්න ගියාම එපාවෙනවා. මං යන්න හරිම අකමැතියි. සාමාන්‍යයෙන් 621 පාරේ බස් මැණික්හින්නට ගිහින්, එතැනින් මඩවලට ගිහින් එතැනින් වත්තේගමට බස් එකක් ගන්න ඕන. නැතිනම් ටවුමෙන් කෙලින්ම වත්තේගමට යන බස් තියෙනවා. කොහොම හරි ඉතින් ගොඩක් වෙලා බස් එකේ ඉඳගෙන එහෙට ගියා. බැංකුවට ගිහින් ගෙවීම කරන්න තවත් බලාගෙන හිටියා පැය බාගයක් විතර. මං බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. බලනකොට ඒ අය සම්පූර්ණයෙන්ම manually තමයි වැඩ කරන්නෙ. මොකක්ද තඩි පොතක පෑනෙන් ඉරි ගගහා… හික්

මට පුදුම හිතුණා මොකද ඒ කවුන්ටර් එකේ හොඳට පේන්න පරිගණකයක් එහෙම තියලා තිබ්බ නිසා. ඇයි මෙච්චර තාක්ෂණය තියාගෙන ඒක පාවිච්චි නොකර ඉන්නෙ? පාවිච්චි කරන්න තියෙන බය නිසාද නැතිනම් පරිගණකය කැඩිලා තිබුණ නිසාද දන්නෙත් නෑ.

කොහොම හරි ඉතින් ආපහු ගෙදර එනකොට ආවේ මැණික්හින්න හරහා. ඒක නම් මතක‍් වෙනකොටත් තරහයි. SLTB බස් එකක ආවෙ. ඒ කියන්නෙ ශ්‍රීලංගම බස් එකක. ඒ බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ ජංගම දුරකථනයක් කනේ තියාගෙන ඉබි ගමනින් ආවෙ නැතෑ පිලවල හරියට එනකල්. පුදුම මනුස්සයෙක්. ගෑනු ළමයාවත් කතා කරාද දන්නෙ නැහැ 😉 එක අතකින් ෆෝන් එක අල්ලගෙන තනි අතින් සුක්කානම කරකවමින්… මට පුදුම තරහක් තිබ්බෙ. මං හිතුවේ මේ යකා මේ දැන් බස් එක කොහේ හරි හප්පගනිවී නැතිනම් කොහාටහරි පෙරලගනීවි කියලා. කොහොමහරි පිලවල හරියට එනකොට ඊට පස්සෙ එන්න තියෙන පෞද්ගලික බස් එකත් පිඹගෙන එනවා. මෙන්න ඒ පාර ඩ්‍රයිවර් උන්නැහේ කතාව පැත්තක තියලා දඩිබිඩි ගාලා යන්න ගත්තා.

කොහොමහරි ඇවිල්ලා පිලවල තියෙන ඉස්කෝලෙ ගාව බස් එක නතර කරේ නැතෑ. ඉස්කෝලෙ අරිනකල් වෙන්න ඕන. ඉතින් අපට විනාඩි දහයක් පහළොවක් විතර බලාගෙන ඉන්න වුණා. ඒ අතරම පෞද්ගලික බස් එකත් ඇවිල්ලා පිටිපස්සේ ඉඳන් හෝන් කරනවා. ඒත් මේ ඩ්‍රයිවර් උන්නැහෙ ඒකට යන්න දෙන්නෙත නෑ. ඔහොම ඉතින් ටික වෙලාවක් ගිහින් තත්ත්වය ටිකක් උණුසුම් වුණා. වචන හුවමාරුවක් එහෙමත් ඉතින් ඇතිවුණා. පෞද්ගලික බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ කෑගහනවා ඇහුණා “යකෝ අපට විනාඩි පනහෙන් යන්න ඕන. එක්කො ඕක අයින් කරගන්නවා අපට යන්න” කියලා. පාරේ හිටපු ‘අයියලා’ දෙතුන් දෙනෙකුත් කෑගහන්න ගත්තා. අන්තිමට ලංගම බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේට සිද්ද වුණා පිටත්වෙන්න. තව ටිකක් හිටියනම් හොම්බකට සමතලා කරගන්නයි වෙන්නෙ 😉

ඔන්න ඕකයි ඉතින් කතාව. ගෙදර එනකොට විදුලිය නෑ. විදුලි බලය ආවට පස්සෙ තමා මේක ලියන්න ගත්තෙ. ඉතින් මොකට කියනවද? 😆

6 thoughts on “මොකට කියනවද?

  1. මම දැන් ජීවත් වෙන ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ඒ වගේ. පරිගණක ලැබුණා. ඒවා රෙදි වලින් වහලා තියෙන්නේ. දිසාපති කාමරයේත් තියෙනවා එදා මෙදා තුර අත නොතැබූ පරිගනකයක්. ඒකත් රෙද්දකින් වහලා. මුලු කාර්යාල පරිශ්‍රය ම අතින් වැඩ ජයටම… 😀 මෑතක දී තිබුණු සම්මන්ත්‍රණයකට, එහි වැඩ කරන මගේ මිත්‍රයෙකුට ඒ පරිගණකයක් භාවිතා කරන්න අවශ්‍ය වුනා – presentation එකක් කරන්න. නමුත් දිසාපති අවසරය නොලැබුණ නිසා එයාට මහනුවර සිට සැතපුම් විසි ගණනක් තමුන්ගේ ගෙදරින් පරිගණකයක් අරන් යන්න වුණා එදාට වැඩේ කරගන්න

  2. ලොව වැඩිම පරිගණක ප්‍රමාණයක් භාවිතා නොකර පවතින රට ලංකාවද? පේන විදිහට ලංකාවේ අයට පරිගණක කියන්නේ කෞතුක භාණ්ඩයක් වගේද කොහේද 😀 😆

  3. තවම අපේ ලංකාවේ උදවිය පරිගනකයට බයක් තියෙන්නේ. සමහර අණ්ඩුවෙ නිළධාරීන් හිතන්නෙ පරිඝනකයෙන් වැඩකරන එක ප්‍රමාදයි කියල. නැත්තම් කාලෙ ගෙවාගන්න බැහැනෙ.
    දැන් ගොඩක් ගෙවල් වලත් පරිගනක තියෙනව. හැබැයි රෙදි වලින් වහල. 😆

  4. තවමත් බොහෝ රජයේ කාර්්‍යාල වල පරිගණකය යනු ටයිප් රයිටරයක් විතරයි.
    දුක තමයි. ඒත් ඉතිං මොනව කරන්නද?

Leave a Reply