වැහි දවස්

Rain Man !

කොළඹ දවස් දෙක තුනක් රවුම් ගසා ගෙදර ආවේ අදය. මේ දවස් වල කොළඹ වැස්සය. නුවරත් වැස්සය. කිසිම වෙනසක් නැත. ඒත් කොළඹ ඇත්තේ වැස්ස විතරක් නොවේ. අව්වද ඇත. මං ඔය දෙකටම කැමති නැත. අව්ව වැඩි දාට දාඩිය නාන්න වීමත්, වැස්ස වැඩි දාට නිකංම නිකං වතුර නාන්න වීමත් මහ එපාවෙන්නේය. දාඩිය නාන දාට ඇඳුම් ගන්න දෙයක් නැති වෙන අතර, වතුර නාන දාට සපත්තු ඇතුළටද වතුර ගොස් මූණ රොස් කරගෙන සිටින්නට වෙයි. ඕවා මහා එපාකරපු වැඩය.

අදත් වෙනදා වගේම ගෙදර ආවේ කෝච්චියේය. මං කෝච්චියේ ගමන් යන්නට ආසා වෙන මොකක් හින්දාවත් නොව ඒකේ අතපය දිගහැර නිස්කලංකයේ ගමනක් යන්නට ඇහැකි නිසාය. බස් වල නම් එහෙම නොවෙන වග කවුරුත් පිළිගන්නවා ඇත. කොළඹ නුවර දුවන ඒසී බස් වල මිනිස්සු පැක් කර තියෙන හැටි දැක්කාම පවා හුස්ම හිරකරනවා වගේය. ඒ මදිවට ඒවායේ ඒසීද ටිකක් වෙලා යනකොට බාගෙට මැරෙන්නේය.

කෝච්චියේද ඔය වගේ වෙන බව අසා තිබේ. ඒ වුණාට ශීඝ්‍රගාමී එකේ නං කලින් ටිකට් ගත්තාම එහෙම කරදර නැත. හැබැයි දැන් ජංගමයෙන් ටිකට් ඕඩර් කරන්නට ඇහැකි නිසා දැන් කලින්ම ටිකට් ඉවර වේ. එතකොට වැඩේ හබක්ය.

මේ දවස් වල කෝච්චියේ ගමන්ද මහා කම්මැලිය. ඒ වෙන හේතුවක් නිසා නොව මගේ ඉයර්පෝන් කැඩී යාම නිසාය. ඒ හින්දා දැන් සිංදුවක්වත් අහන්නට බැරිය. අලුතෙන් ගත්තුවාද මට ඇල්ලුවේ නැත. එව්වා ජෙරියාට දුන්නෙමි. වෙනත් එකක් ගන්නට තව ටික දවසකින් ට්‍රයි එකක් දිය යුතුය.

කලින් වතාවක කෝච්චිය පැය දෙකහමාරෙන් නුවර ආපු නිසා අදත් එහෙම වෙයි කියා සිතුවද එසේ වූයේ නැත. පැය තුනක්ම ගියේය. ඒ මදිවට කඩුගන්නාව හරියේ පටන් අහස මාර අඳුරුය. වෙනදා හය වෙනකොට නොතිබුණු කළුවරක් අද තිබුණු නිසා අද නම් නාන්න වෙයි යන සිතුවිල්ල එවෙලේ පටන් දිගටම පැවතුණේය.

නුවරින් බසිද්දීම වැස්ස පටන් අරගෙන තිබුණේය. තදටම නොතිබුණු නිසා ටොන් එකක් බර බෑගයත් උස්සාගෙන තෙමි තෙමි ටවුමට ගියේ බඩට මොනවාහරි දාගන්නටය. මේ දවස් ටිකේම කෑවේ සෞඛ්‍යයට අහිතකර කෑම නිසා එවෙලෙ හිතකර එකක් කන්නට හිතුණත් අන්තිමට කෑවේ කොත්තුවක්ය. නිකං කොත්තුවක් නොව චිකන් කොත්තුවක්ය. ඒත් ඒක එච්චරටම හරිගියේ නැත.

කොත්තුව ගිල දමා එලියට බසින විට වැස්ස ටිකක් තදවී තිබුණේය. නොකිය යුතු වදනක් මුවින් පිටවුණේ නොදැනුවත්වමය. වෙලාවට ළඟපාත කවුරුවත් හිටියේ නැත. නැත්තං මේ කොල්ලා මහ නැහැදිච්ච එකෙක් යැයි හිතන බව නම් ෂුවර්ය.

නැවතත් තෙමෙන්නට කැමැත්තක් නොතිබුණු නිසා කුඩය ඉහළාගන්නට සිදුවිය. එක අතකින් කුඩයක්ද අනෙක් අතින් බෑගයක්ද උස්සාගෙන ගියේ බස් තියේදැයි බලන්නටය. බසයක් නැත්තං රෝද තුනේ රථයක ගෙදර යන්නට වෙන නිසා ජොලියක්ද තිබුණේය. හැබැයි ජොලිය නැතිවෙන්නේ ඒවායේ ගණන් අහන විටය. නුවරටත් මීටර් හයි කළ එව්වා තිබුණා නම් කොච්චර සෝක්දැයි සිතුණේය.

කොහොම වුණත් බසයක් තිබුණේය. නගින විට දැක්කේ ඔක්කොම සීට් අහවර බවය. හිටගෙන හිටියේ මාත් තවත් පොරකුත් පමණය. අනිත් පොර හිටියේ වෙලාවටය. නැත්තං තනියම හිටගෙන ඉඳීම චාටර්ය.

ඩ්‍රයිවරයා පැමිණ බසය ස්ටාට් කරන්නට හැදුවද වැඩේ හරිගියේ නැත. ඉතින් කස්ටියක් පැමිණ බසය තල්ලු කරන්නට ට්‍රයි කළහ. කස්ටියට වැඩේ කරගන්නට බැරිවිය. පණ නැතුවා විය යුතුය. කොන්දොස්තරයා ඉන්පසු කුඩයක්ද ඉහලාගෙන බස් එක ඇතුළට පැමිණ ‘අයියේ බස් එකට තල්ලුවක් දාමුදැයි‘ කියා ඇසූවේය. කොහොම වුණත් වීරයා වගේ කුඩයක්ද නැතුව තෙමි තෙමීම එළියට බැස්සේ මං විතරය. අනිත් එවුන් බැස්සෙ නැත්තේ ඇයිදැයි කියා එවෙලේ හිතුණේ නැත. අංකල්ලා හතර පස් දෙනාට මහන්සි වෙන්නට ඇත. අනිත් එවුන්ටත් මහන්සිය විය යුතුය. ඒත් මටද මහන්සිය. ටොන් එකක් බර බෑගය උස්සාගෙන ස්ටේසමේ සිට ටවුමට ගෑටුවේ පයින්මය. බොලව්!

කොහොම වුණත් දස මහා යෝධ බල වීරිය බාවිතා කොට බසය තල්ලු කරන්නට හැකිවිය. ඒක ස්ටාට් වූ පසු ඇතුළට නැග්ගේ පොඩි ජොලියක්ද ඇතිවය. කොහොම වුණත් කොන්දොස්තරයා ටිකට් නම් කිසිම වෙනසක් නැතුව කැඩුවේය.

බස් එක ගමට එන විටද වැස්සය. වැස්ස එපාවෙන්නේ ඔය වගේ වෙලාවල් වලටය. බස් නවත්තන තැන ඉඳන් ටිකක් දුර යන්නට තියෙන නිසා රෝද තුනේ රථයක යන්නට හිතුණේය. ඒත් තිබුණු ඒවායේ ඩ්‍රයිවර්වරු සිටියේ නැත. ඉතින් මක් කොරන්ටදැයි කියා ඒ ටිකත් පයින්ම ගාටන්නට සිදුවිය. පාර කට්ට කලුවරය. ඇත්තේ අත් දෙකක් පමණක් නිසා බෑගයයි කුඩයයි අල්ලගත් විට ආලෝකය ගන්නට ජංගමේ බාවිතා කරන්නටවත් විදියක් තිබුණේ නැත. ඒ හින්දාම වතුර වලවල් දෙක තුනකටම අඩිය තියන්නට සිදුවිය. සපත්තුව අස්සට වතුර පිරී මේස් දෙකත් තෙතබරිත වෙන විට නම් තව තව වචන මතක් වෙන්නට පටන් ගත්තේය.

කෙසේ හෝ දැඩි බාධක මැද්දේ ගෙදරට ළඟාවෙන විට රෑ අටටත් ළං වෙලාය.

දැන් නම් නිදිමතය. නිදාගත යුතුය. බස් තල්ලු කර මහන්සිය.

පින්ටූරෙ: Nandakumar Subramaniam ගෙනි.

11 thoughts on “වැහි දවස්

  1. අපෝ, මේ වැස්ස දැන් නම් එපා වෙලා. වැස්ස දාට ත්‍රීවීලර් උන්නැහැලාගේ ගණන් බලන්නත් ඕනේ, ලේසියකට නවත්තන්නේත් නෑ. බස් වල තෙත කුඩ අරන් නගින අය නිසා නිකන් ඉන්න අයත් තෙමෙනවා. ට්‍රැෆික් එක හොදටම වැඩියි. ඒක නිසා මම නම් වැහි දාට පොඩ්ඩක්වත් කැමති නෑ. 🙂 [හොඳ කට්ටක් කාලා වගේ කොළඹ ඇවිත්]

  2. මේ විදිහට ගියොත් මටත් දවසට එක ගානෙ සපත්තු ගන්න වෙනව. නැතිනම් සපත්තු වේලන අවන් එකක් ගන්න වෙයි

  3. “නොකිය යුතු වදනක් මුවින් පිටවුණේ නොදැනුවත්වමය. වෙලාවට ළඟපාත කවුරුවත් හිටියේ නැත. නැත්තං මේ කොල්ලා මහ නැහැදිච්ච එකෙක් යැයි හිතන බව නම් ෂුවර්ය.”

    ආයේ මොනවා හිතන්නද?

  4. wessa dawasata bata 2k dagena yanna….eth me wessa nam matanam maru….mama nam hari kemathi….mokada wessa nethi dawas walata thiyena awwa serata wada wesse themi themi hari yana eka hodai kiyala hithenawa…

  5. Thanks for crediting my photograph ! I am not sure what you are saying… but it feels nice to see my picture figured here ! 🙂

  6. “නැත්තං මේ කොල්ලා මහ නැහැදිච්ච එකෙක් යැයි හිතන බව නම් ෂුවර්ය”

    හිතන බව ? උබේ තව මොනවා හැදෙන්නද ? නැහැදිච්ච තමා !!! 😛

    හොදම දේ තමා ජැකට් එකක් ගනින්කො..!!
    අර පං මල්ලද බන් ටොන් එකක් බර ? අනේ මගේ කට.. 😛

  7. Buwhahahhah is exactly what I felt after reading this. the situation is pathetic but your literary genius has given it a touch of crazy humor..weldone 😀

  8. ඔවුවා ඔහොම තමා මලයා මමත් පහුගිය දවස්වල අරුප්පල පැත්තේ ගාටලා හොඳහැටි නාලා දැන් ව්ඳවනවා..

Leave a Reply