ඔළුව.

මේ දවස්වල මගේ ඔළුගෙඩියට හෙණ අපලය. තාම වැදී නැත්තේ හෙණයක් විතරය. හෙණ නැති වුවද, අනෙක් හැම මගුලම වැදී ඇති නිසා ඔළුවට අපලයක් ඇති බව නිසැකයෙන්ම කිව හැක.

අද උදේ නැගිටින විට මා හිටියේ කොළඹය. නැගිට්ට මොහොතේ පටන් ඔළුව රිදෙන්නට ගත්තේ ඇයිද? රෑ පුරා ෆෑන් එක දමාගෙන නිදා හිටි නිසා විය යුතුය. මීට කලින්ද ඔය වැඩේ සිදුවී ඇත.

ඉතින්, නානකාමරේට වැදී නාගෙන පැමිණ රන්දීරයාගේ ගෙදරින් ලැබුණු කෝපි කෝප්පයද ගිලදැමූවද ඔළුව රිදිල්ලේ අඩුවක් වුණේ නැත. පැනඩෝල් තිබුණද ඔව්වා බොන්නට මගේ වැඩි කැමැත්තක් නැත. නැගිටින විට ටිකක් පරක්කු වී තිබුණත් නිදිමත බොහෝ සේ දැනුණේය. ඊයේ රෑ නිදාගන්නා විට සුපුරුදු පරිදි පරක්කු වීම සහ බාගෙට මැරී සිටීම එයට හේතු විය හැකිය. ඒ මදිවට, නිදාගන්නට කලින් ජංගමයේ කාලය පිළිබඳ සැකසුම් ටිකක් සමග සෙල්ලම් කළ නිසා එලාමයද වැදුණේ නැත. 😛

කෙසේ හෝ ලක ලෑස්තී වී රන්දීරයාට ටටා කියා ගෙදරින් එළියට බහින විට හොඳින් අව්ව වැටී තිබුණේය. මං වගේ නොව රන්දීරයා කම්මැලියා නිසා පොර නැවතත් නිදාගන්නට ගියේය. ඒ අතින් මං මාර කඩිසරය. 😛

උදේ පාන්දර වුණත් අව්ව මාර සැරය. ඒ හින්දා බස් එකේ නැග ටික වේලාවකින්ම එපාවීම ආරම්භ වුණේය. එපාකරපු දාඩිය දැමිල්ල ඇරඹුණු අතරම ඔළුව රිදිල්ලද තව ටිකක් වැඩි වුණේය.

උදේ පාන්දරම ඔය වගේ සිද්ධියක් සිදුවීම මාර චාටර්ය. කූල් එකේ එළියට බැස්ස විට ඒ ගතිය දිගටම තියෙන්නේ නම් හොඳය. ඒත් එහෙම වුණේ නැත.

කෙසේ හෝ ටවුන් හෝල් එක ළඟින් බහින්නට තිබූ නිසා බසය ඒ හරියට එන විට සීට් එකෙන් නැගිටින්නට සිදුවිය. එහෙත් අවාසනාවක මහත! දඩිං යන අනුකරණයෙන් මගේ මේ අහිංසක ඔළුගෙඩිය බසයේ රාක්කයේ මහ හයියෙන් වැදුණේය. දවල් තරු පෙනිණ. දෙයියන් සහ බුදුන් සිහිවිය. අහෝ මාගේ ඔළුගෙඩියට සිදුවූ විපත!

කුමක් කරන්නද? වේදනාවත් කාගෙනම බසයෙන් බසින්නට සිදුවිය. බසයෙන් බැස්ස පසු කට්ට අව්වේ, හිසරදයෙන් සහ බසයේ වැදිල්ලෙන් හෙම්බත් වූ ඔළුවකුත් සහිතව ගමනාන්තයට ගාටන්නට මට සිදුවිය.

ඔළුගෙඩියට සිදුවූ පීඩාම ඔය ටික පමණක්ම නොවේ. ඒවා දැන් ලියන්නට කම්මැලිය. කෙටියෙන් කියන්නේ නම් දවල්ට කන්නට පරක්කු වීම නිසා ඔළුව රිදිල්ල දෙගුණ තෙගුණ විය. ඒ මදිවට සුපුරුදු පරිදි අව්වේ ගෑටීම, බස්වල හිරවීම, ඔක්සිජන් මදිවීම, කෝච්චියේ නුවර එන ගමන් නින්ද යාම, පැනඩෝල් නොබීම වැනි එකී මෙකී නොකී නා නා විධ හේතු නිසා මගේ ඔළුගෙඩිය හෙම්බත් වී ඇත.

නුවරට පැමිණ බසයට ගාටද්දීද මොළය හිස්කබල අස්සේ ඒ මේ අත වැදීම හේතුවෙන් තවත් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

දැන් නම් ඔළුගෙඩියට එපාවී ඇත. මෙවන් පීඩා විඳ දරාගන්නට තරම් හැකියාවක් එයට කොයින්ද? ඒ හින්දා තවදුරටත් එයට වද නොදී මේ ලිවිල්ල අවසන් කොට, කා බී හොඳ නින්දක් ලබාගැනීමේ අරමුණින් මම කැපෙමි.

ජයවේවා!

15 thoughts on “ඔළුව.

  1. ‘ලියන කෑල්ල’ තාම ඔළුගෙඩ්ඩ ඇතුලෙ ප්‍රවේසමෙං තියනෝ වගේ…

  2. හෙන අපලයක් නේන්නම්. දෙහි නං කපල හරියන්නැතිවෙයි. ඒවෙනුවට
    ජම්බෝල ගෙඩියක් වත් ගන්නවෙයි
    වැඩි හොදට Ansh ට අත පෙන්නල සාත්තරයක් අහගනිං.

    1. හික්!…. මම හිතුවෙ අපි විතරයි සබා මෑණියො ගැන දන්නෙ කියල… බැලින්නම් කට්ටිය සේරම දන්නවනේ… 😀

  3. කම්මැලියා කිවුවට තැන්කූ ….. උබට ලියන්න අමාරු අර ඔලුවට කරදරයක් වෙච්ච ඉතුරු ටික මම ලියන්නද ? 😀 … මමත් කාලෙකින් ලිවුවෙ නෑ පෝස්ට් එකක් …..

  4. මොනා උනත් මය ඔලිවෙ කැක්කුමෙන් ලියන එකටයි හිතන එකටයි නම් අවුලක් වෙලා නෑ වගේ.

  5. හොදම දේ බස් එකේ යන විට හෙල්ම‍ට් එකක් පැලදීමය…! 😀

    “නැගිට්ට මොහොතේ පටන් ඔළුව රිදෙන්නට ගත්තේ ඇයිද? රෑ පුරා ෆෑන් එක දමාගෙන නිදා හිටි නිසා විය යුතුය.”

    රැට බිපුවාද උදේට නිසැකයෙන්ම බලපානු ඇත..!! 😀 😀

  6. ඔච්චර අමාරුවෙන බව දැන දැනත් මොකට බොනවද. බැරි වැඩ නොකර හිටියනම් ඉවරයි නෙ බන්.

Leave a Reply to h Cancel reply