රතු මූණ

උන් මගේ මූණ කපලා අයින් කළා. නළලේ ඉඳන් නිකට ගාවට.  මූණක් වෙනුවට ඉතුරු වුණේ රතුපාට රවුමක්.

“වාඩිවෙයන්”

උන් දීපු පුටුවක මං වාඩිවුණා. දොරක් ඇරගෙන ආපු මනුස්සයෙක් සුදු පාට කොළ තොගයක් මේසෙ උඩින් තිබ්බා.

මගේ මූණ කපපු යක්ෂයා කොළ ගොඩ දිහාට අත දික්කළා.

කරන්න ඕන මොකක්ද කියලා මට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

මං කොළ එකින් එක අරගෙන මගේ මූණක් නැති මූණෙන් ගැහුවා. කොළ දාහක්. එක දිගටම. හැම කොළයකම.

රතුපාට හරියටම නොවැදුණු හැම කොළයකටම මට කසපාර දාහක් ලැබුණා.

හැම කොළයකම රතු රවුමක්.

මගේ ඇෙඟ් ලේ ඉවරවෙනකොට උන් මගේ යාලුවෝ අරගෙන ආවා. තව යකෙක් රුධිර පාරවිලන කට්ටලයක් ගෙනත් යාලුවන්ගේ ලේ ඇඟට පොම්ප කරන්න පටන් ගත්තා.

කොළ දාහ ඉවර කරන්න මට පැය විසිහතරක් ගතවුණා. උන් මේ ගැන එච්චරම සතුටු වුණේ නෑ. ඊළඟ කොළ දෙදාහ පැය දොළහකින් ඉවර කළේ නැතිනම් මගේ මූණ ආපහු ලැබෙන්නෙ නැති බව කියපු නිසා මං වේගය වැඩි කරන්න තීරණය කළා.

කොච්චර වේගෙන් වැඩකළත් කොළ දෙදාහ ඉවර කරන්න මට බැරිවුණා. පැය දොළහයි විනාඩි තුනක් ගතවුණු නිසා ඒ යක්කු මට මගේ මූණ ආපහු දුන්නෙ නෑ.

“මේ වෙස් මූණ අරගෙන එළියට බැහැපන්”

උන් මට කෑගැහුවා. මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මං වෙස් මූණත් අරගෙන පාරට බැස්සා.

මාව දැකපු පොඩි ළමයි කෑගහමින් ඇඬුවා. ගෑනු ගෙවල් ඇතුළට ගිහින් දොරවල් වහගත්තා.

මං මට වෙච්ච අසාධාරණය ගැන කියන්න පොලිසිය පැත්තට යන්න හිතුවා. මං එතැනට යනෙකාට එළියට ආපු පොලිස්කාරයෝ මට ඇතුළට එන්න එපා කියලා තර්ජනය කළා. මගේ වෙස් මූණ හින්දා උන් බයවෙන්න ඇති. වෙන කරන්න දෙයක් නැති නිසා වෙස් මූණ ගලවන්න මට සිද්ධ වුණා.

“මම උඹලගෙම එකෙක්!”

මම වෙස් මූණ ගලවන ගමන් කෑගැහුවා.

“ඌට වෙඩි තියපන්!”

වෙඩි උණ්ඩයක් මගේ මූණක් නැති මූණ පසාරු කරගෙන ගියා.

මට අඬන්න ඕන වුණත් ඇස් නැති නිසා මට කඳුළු ආවේ නැහැ.

මම පාරේ වාඩිවෙලා මියැදුණා.

3 thoughts on “රතු මූණ

Leave a Reply to සුපුන් සුදාරක Cancel reply