විදුලි පංකා සමග සෙල්ලම් නොකළ යුත්තේ ඇයි?

ජගත්ගේ පැය විසිහතර පුරාම දුවන විදුලි පංකාව දූවිලි වලින් වැහිලා කළු පාට වෙලයි තිබුණේ. ගිය සතියේ ආරක්ෂක මේසෙ උඩින් බිමට වැටුණු පාර ඒකෙ ආරක්ෂක දැල සවිවෙන ප්ලාස්ටික් කෑල්ල කැඩුණට පස්සෙ ජගත් ඒක හදාගන්න ට්‍රයි කරත් වැඩේ හරි නොගිය නිසා නිරාවරණය වෙච්ච පෙති සාමාන්‍ය වේගයකින් ජගත්ට සුළං සැපයුවා.

එදත් වෙනදා වගේම උණුසුම් දවසක් වුණු නිසා ජගත් ටීෂර්ට් එකක්වත් නැතුව විදුලි පංකාව ඉස්සරහට වෙලයි හිටියේ. ගෙදර කවුරුවත් නැති හින්දා කොට කලිසමකුත් ගහගෙන, තේකකුත් හදාගෙන බිබී හිටිය ජගත්ට දැනුණේ පුදුමාකාර කම්මැලිකමක්.

ෆිල්ම් එකක් බලන්න හසිත ගෙදරට එන්නත් ටික වෙලාවක් තිබුණු නිසා ජගත්ට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. නිකං ඉන්න එකේ කලිසමේ තිබුණු පටියක් ඇඟිල්ල වටේ ඔතපු ජගත් තේ කෝප්පේ අඩියටම ඉවර කරලා පුටුවෙන් නැගිට්ටා.

“මොන මගුලක්ද”

නැගිට්ට ගමන් ඔළුව රත් වුණු පාරට ජගත්ට කියවුණා.

කාමරය වටේ දෙතුන් පාරක් ඇවිද්ද ජගත් නැවතුණේ විදුලි පංකාව ළඟ.

සතියකට විතර කලින් මේ නිරාවරණය වුණු විදුලි පංකාවේ පෙති වලට කැපිච්ච අතේ සලකුණු තවමත් මැකිලා තිබුණේ නෑ.

“මගුල”

ඒක වුණේ අත්වැරදීමකින්. පෙති වල පිටිපස්සේ තියෙන දාරය තියුණුයි. වැඩි වේගයකින් කැරකෙන වෙලාවක අතක් පයක් වැදුණොතින් තුවාලයක් වෙන එක සීයට සීයක් සහතිකයි.

ඒ පැත්තට අත නොගහන්න ජගත් තීරණය කළේ එදාමයි.

ජගත් කැරකෙන විදුලි පංකාවේ පෙති වලට ඉදිරිපසින් අත තිබ්බා. කැරකෙන්න නොදී නවත්තන්න කරපු නියෝගයට අකමැත්තෙන් පංකාව වේගය අඩු කළා. ඉවතට ගත්තු ජගත්ගේ ඇඟිලි දූවිලි වලින් කළු පාට වෙලා.

ජගත් වතුරෙන් තෙමපු රෙදි කෑල්ලක් අරගෙන ආවේ නිකං ඉන්න එකේ පංකාව සුද්ද කරලා දාන්න හිතාගෙන. විදුලි පංකාව නොනිවාම වැඩේ කරන්න ජගත්ට හිතුණේ තිබුණු රස්නය හින්දද නැත්නම් වෙනත් හේතුවක් හින්දද කියල අපි හරියටම දන්නෙ නෑ.

පෙති වල තිබුණු දූවිලි වතුරෙන් පෙඟුණු රෙදි කෑල්ල ලේසියෙන්ම උරාගත්තා. වැඩි වෙලාවක් යන්නෙ නැතුවම දූවිලි වලින් නිදහස් වුණු විදුලි පංකාව දිලිසෙන්න පටන්ගත්තා. ජගත්ට තමන් ගැන ආඩම්බරයක් ඇතිවුණා.

ආඩම්බරය වැඩි වෙලාවක් යන්න කලින් කුතුහලයට හැරවුණේ විදුලි පංකාවෙන් ආපු අමුතු සද්දයක් නිසා. ජගත්ගේ කලිසමේ පටියක් විදුලි පංකාවේ මෝටරයට අහුවෙලා තිබුණා. මෝටරයේ පෙති සවිවුණු තැනට අහුවුණු පටිය හිතන්න බැරි වේගයකින් එතී ගියා. තවත් එතෙන්න තැනක් නොතිබුණු නිසා විදුලි පංකාව මේසයෙන් ඉස්සිලා ජගත් දිහාට ආවා.

ජගත්ට මුකුත්ම කරන්න වෙලාවක් තිබුණේ නෑ. විදුලි පංකාවේ වේගෙන් කැරකෙන ප්ලාස්ටික් පෙතිවලට අහුවුණු ජගත්ගේ පපුවේ හම ලේසියෙන්ම කැපිලා ගියා. තවත් තත්පර කීපයකට පස්සේ විදුලි පංකාව නැවතුණේ එක් පෙත්තක් ජගත්ගේ බඩ ඇතුළේ නතර වුණාට පසුවයි.

“මගුල”

ජගත්ට කියවුණා. ටික වෙලාවකින් ඔහුගේ සිහිය යන්න ගියා.

හසිත එනකොට ජගත් ලේ විලක් මැද.

TEENAGER DIES IN TRAGIC FREAK ACCIDENT INVOLVING A TABLE FAN

රතු මූණ

උන් මගේ මූණ කපලා අයින් කළා. නළලේ ඉඳන් නිකට ගාවට.  මූණක් වෙනුවට ඉතුරු වුණේ රතුපාට රවුමක්.

“වාඩිවෙයන්”

උන් දීපු පුටුවක මං වාඩිවුණා. දොරක් ඇරගෙන ආපු මනුස්සයෙක් සුදු පාට කොළ තොගයක් මේසෙ උඩින් තිබ්බා.

මගේ මූණ කපපු යක්ෂයා කොළ ගොඩ දිහාට අත දික්කළා.

කරන්න ඕන මොකක්ද කියලා මට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

මං කොළ එකින් එක අරගෙන මගේ මූණක් නැති මූණෙන් ගැහුවා. කොළ දාහක්. එක දිගටම. හැම කොළයකම.

රතුපාට හරියටම නොවැදුණු හැම කොළයකටම මට කසපාර දාහක් ලැබුණා.

හැම කොළයකම රතු රවුමක්.

මගේ ඇෙඟ් ලේ ඉවරවෙනකොට උන් මගේ යාලුවෝ අරගෙන ආවා. තව යකෙක් රුධිර පාරවිලන කට්ටලයක් ගෙනත් යාලුවන්ගේ ලේ ඇඟට පොම්ප කරන්න පටන් ගත්තා.

කොළ දාහ ඉවර කරන්න මට පැය විසිහතරක් ගතවුණා. උන් මේ ගැන එච්චරම සතුටු වුණේ නෑ. ඊළඟ කොළ දෙදාහ පැය දොළහකින් ඉවර කළේ නැතිනම් මගේ මූණ ආපහු ලැබෙන්නෙ නැති බව කියපු නිසා මං වේගය වැඩි කරන්න තීරණය කළා.

කොච්චර වේගෙන් වැඩකළත් කොළ දෙදාහ ඉවර කරන්න මට බැරිවුණා. පැය දොළහයි විනාඩි තුනක් ගතවුණු නිසා ඒ යක්කු මට මගේ මූණ ආපහු දුන්නෙ නෑ.

“මේ වෙස් මූණ අරගෙන එළියට බැහැපන්”

උන් මට කෑගැහුවා. මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මං වෙස් මූණත් අරගෙන පාරට බැස්සා.

මාව දැකපු පොඩි ළමයි කෑගහමින් ඇඬුවා. ගෑනු ගෙවල් ඇතුළට ගිහින් දොරවල් වහගත්තා.

මං මට වෙච්ච අසාධාරණය ගැන කියන්න පොලිසිය පැත්තට යන්න හිතුවා. මං එතැනට යනෙකාට එළියට ආපු පොලිස්කාරයෝ මට ඇතුළට එන්න එපා කියලා තර්ජනය කළා. මගේ වෙස් මූණ හින්දා උන් බයවෙන්න ඇති. වෙන කරන්න දෙයක් නැති නිසා වෙස් මූණ ගලවන්න මට සිද්ධ වුණා.

“මම උඹලගෙම එකෙක්!”

මම වෙස් මූණ ගලවන ගමන් කෑගැහුවා.

“ඌට වෙඩි තියපන්!”

වෙඩි උණ්ඩයක් මගේ මූණක් නැති මූණ පසාරු කරගෙන ගියා.

මට අඬන්න ඕන වුණත් ඇස් නැති නිසා මට කඳුළු ආවේ නැහැ.

මම පාරේ වාඩිවෙලා මියැදුණා.

දණගැස්ම

“දණගහපිය!”

මං දණගැහුවෙ නෑ.

ඒ හින්දා උන් මාව දණගැස්සුවා. දණගස්සපු වේගෙට මගේ දණිස් පොල්කටු එච්චරම සීතල නැති සිමෙන්ති පොළවේ වැදිලා කෑලි කෑලි වලට කුඩුවුණා. ලේ හැමතැනම.

“මං එයත් එක්ක කතාකරේ නෑ අයියෙ”

ප්‍රිෆෙක්ට්ස්ල කිසිම හිතක් පපුවක් නැති මහා නරුමයො.