අන්තර්ජාලයේ සිට ෆොන්ට් හදන්න FontStruct

සාමාන්‍යයෙන් තමන්ගෙම කියලා ෆොන්ට් එකක් හදන එක ‍එතරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා මං හිතන හැටියට නම් ගොඩක්ම පාවිච්චි කළේ Fontlab, Fontographer වගේ මෘදුකාංග වෙන්න ඇති. මාත් දෙතුන් පාරක් හදන්න අරගෙන එහෙමම දමලා ගහලා නිකං ඉඳලා තියෙනවා 😉

මෙන්න ඒ කටයුත්ත පහසු කරන නවතම විදිය. FontStruct. අන්තර්ජාලයේ ඉඳගෙනම ෆොන්ට් එකක් හදන්න පුළුවන් නියම සේවාවක්. ෆ්ලෑෂ් මගින් ධාවනය වෙන මේ සේවය මගින් ඔබට ඕනෑම ෆොන්ට් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන්. භාෂා රැසක්ම තියෙනවා. විශේෂත්වය සිංහල භාෂාවටත් සහය දැක්වීම තමයි. ඔව්, ඔබට එතැනින් සිංහල තෝරලා කිසිම ගැටලුවක් නැතිව සිංහල ෆොන්ට් එකක් හදන්න පුළුවන්. FontStruct වෙබ් අඩවියට ගියාම ඒක පාවිච්චි කරන විදිය ගැන ලස්සන සජීවීකරණයකින් බලාගන්න පුළුවනි.

ෆොන්ට් එක හරියටම හදන්න අවශ්‍ය Blocks අපට ලැබෙනවා. මේ Bricks විවිධ හැඩතල වලින් තියෙන නිසා ෆොන්ට් එක ලස්සනට සුමුදු විදියට සකසගන්න පුළුවන්. ඒක සකසන අතරේ වැඩ නවත්තන වෙලාවට ඒක සුරකින්නත්, පසුව ඉතිරි ටික කරන්නත්, හදලා ඉවර වුණාම ඔබේ පරිගණකයට ලබාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. TrueType විදියට තමයි ෆොන්ට් ලබාගන්න පුළුවන් වෙන්නෙ.

අවශ්‍ය නම් නිර්මාණය කරපු ෆොන්ට් බෙදාගැනීමේ හැකියාවත් තියෙනවා. බෙදාගැනීමෙන් පස්සේ ‍FontStruct වෙබ් අඩවියේ ගැලරියටත් ඔබේ ෆොන්ට් එකතු වෙනවා. උත්සාහයක් දීලා බලන්න. හොඳ ෆොන්ට් එකක් හැදුවොත් අපටත් එවන්න අමතක කරන්න එපා! 😉

Thanks Chamara!

FontStruct

මහන්සියි මට

මේ දවස් ටිකේම ඇවිදින එකමයි වැඩේ. මට වැඩිය ඇවිදින්න ව්‍යායාම් කරන්න ලැබෙන්නෙ නැති නිසා 😀 දැන් නම් හොඳ ගණන්. ඊයේ කුරුණෑගල ගිහින් ආවා. දැන් මුළු ඇඟපතම රිදෙනවා 😉 ඊට කලින් දවසේ ක්ලාස් එකට ගිහින් ආයේ ටවුමට ආවෙත් පයින්මයි. (ඒ නම් ජොලියට) ඊටත් කලින් දවසේ මල්ලිව ක්ලාස් එකෙන් එක්ක එන්න කියලා ගිහින් අන්තිමට එහෙටත් පයින්ම යන්න වුණා. එදා නම් මට පිස්සු වගෙයි. කකුල් දෙක කැඩෙන්න වගේ රිදෙනවා. හික් හික් – ඇවිද්ද පය දහස් වටී!

මේ දවස් වල නම් උෂ්ණත්වය ටිකක් අඩුයි වගේ. ඒත් ගිය සතියේ දරන්න බැරි තරම් රස්නයක් තිබුණේ. ගමේ බස් නවත්තන තැනට ගියාම පිස්සු හැදෙනවා. හැමදේම වේලිලා ගිහින්, අව්වයි දූවිල්ලයි. වාහනයක් පාරේ ගියාම ඉහළ නගින දූවිල්ල දැක්කම පුදුම හිතෙනවා. රස්නය දරන්න අමාරුයි. තිබහයි. දාඩියයි. ඒ වෙලාවට හිතෙනවා මේ නුවරද නැතිනම් වෙන කොහේ හරිද කියලා.

මගේ නිදාගන්න ඉරියව්වේ අප්සට් එකක් නිසාද කොහෙද අතේ එක තැනක් රිදෙනවා. මං සාමාන්‍යයෙන් කොට්ටය උඩ ඔළුව තියාගෙන නෙවෙයි නිදාගන්නේ. එක්කෝ අත උඩ කොට්ටය, කොට්ටය උඩ ඔළුව සහ ඔළුගෙඩිය උඩින් තවත් කොට්ටයක් වගේ තමයි! 😀 (ඒකත් නිකං සැන්ඩ්විච් කරලා වගේ) මොකක් හරි කරලා බලන්න ඕන.

මේ දවස් ටිකේ අලුතින් මුකුත් ලියන්න හිතුණේ නෑ. අලුත් තොරතුරුත් වැඩිය නැහැ. සිංහල බ්ලොග් කියවනය ආරම්භ කළ එක ගැන මං කිව්වනෙ. ඒක නම් හොඳට වැඩකරනවා. අලුතින් බ්ලොග් කිහිපයකුත් එකතු වුණා.

ඒ අතරම වර්ඩ්ප්‍රෙස් සිංහලට පරිවර්තනය කිරීමේ වැඩකටයුතුත් කෙරීගෙන යනවා. තව සති දෙක තුනකින් ඉවර කරන්න පුළුවන් වේවි. ගොඩක් අය දැනටමත් ඒකට හොඳ සහයෝගයක් දෙනවා. නම් වශයෙන් කිව්වොත් මම, ආනන්දවර්ධන, නිලක්ෂ, සුදාරක, හර්ෂදේව, කසුන්, ප්‍රසාන්, සදීප සහ හසරංග දැනටමත් මේ සඳහා දායක වෙලයි ඉන්නෙ.

අදට මේ ඇති නේද? වැඩකට ඇති දෙයක් හෙට අනිද්දා ලියන්නම් 😀

මැයි මාසයේ ඩෙස්ක්ටොප් එක

අද ඉඳන් අලුත් දෙයක් පටන් ගන්න හිතුවා. හැම මාසෙකම මම මගේ ඩෙස්ක්ටොප් එක වෙනස් කරන විදිය බ්ලොග් එකට ලියන්නයි යන්නෙ. දැනට නම් තියෙන්නෙ වින්ඩෝස් විතරයි. මම සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එක නිතර වෙනස් කරන්න ආසයි. නැතිනම් ටික දවසක් යනකොට එපාවෙනවා. මේ තියෙන්නෙ මේ මාසයට (නැතිනම් බොහෝ විට සතියට) මගේ ඩෙස්ක්ටොප් එකයි.

Visual Style: TenerVS
Icons: Mad-B ShinyBlack
Wallpaper: Flow

WordPress 2.5.1 Update

වර්ඩ්ප්‍රෙස් 2.5.1 අනුවාදය නිකුත් කරලා. තව ටිකකින් යාවත්කාල කරනවා. ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු විසඳීම් මෙන්ම තවත් විසඳුම් 70කට අධික සංඛ්‍යාවක් මේ අනුවාදයේ තිබෙන බවයි ආරංචිය.

සම්පූර්ණ විස්තරය මෙතැනින් ලබාගන්න: http://wordpress.org/development/2008/04/wordpress-251/

දැන් වැඩේට බහින්නයි සූදානම 😉

Update: යාවත්කාලීන කිරීම අවසන්! ඔක්කොම හරියට වැඩ 😀