හිසරදය සහ ටවුම පුරා ඇවිදීම

අද නම් මහ එපාකරපු දවසක්. උදේ නැගිටිනකොටම හිසරදේ. ඔළුව රිදෙනවා ඉන්න බෑ. අම්මා කිව්වා පැනඩෝල් දෙකක්වත් බොන්න කියලා ඒත් බිව්වෙ නෑ. මම කැමති නෑ ඕවා බොන්න 😀 අද ගියා ටවුමට අම්මයි මල්ලියි එක්ක. කොණ්ඩය කපාගන්න සහ ඇඳුම් වගයක් මාරු කරගන්නත් එක්ක. අද බස් අඩුයි. අපේ පාරේ වැඩ කරේ බස් තුනයිලු. ටවුමට ගිහිල්ලා ගියා සැලෝන් එක පැත්තට, වහලා. බැලුවා වීඩියෝ සෙන්ටර් එකේ යාළුවා ඉන්නවද කියලා. මිනිහත් නෑ. ඉතිං මොනවා කරන්නද ගියා ඇඳුම් ටික මාරු කරගන්න කියලා.

මට ඇඳුම් තෝරන එක තමයි ටිකක් අමාරු වැඩේ. අම්මලා ගෙනාපුවා මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. මං සාමාන්‍යයෙන් අඳින්න කැමති ටිකක් නිදහස් ලොකු ටීෂර්ට් වගේ ඒවා තමයි. අද හොඳ එකක් තෝරගත්තා. මල්ලිට තමයි තේරිල්ල ටිකක් අමාරු. මිනිහා ටීෂර්ට් සීයක් විතර ඇදලා එකක්වත් හරි නෑ කිව්වා.

අද මාර රස්නෙයි. අව්වත් තදයි. මං හරිම අකමැතියි. ගොඩක් අය නුවර කිව්වාම හිතාගෙන ඉන්නෙ හරිම කූල් ලස්සන ‍පළාත කියලනේ. මොන පිස්සුද? පායන්න ගත්තම ඉන්න බෑ පිස්සු හැදෙනවා. ඒත් මෙහෙම කිව්වට වෙන පළාත් මීට වඩා රස්නෙයි මම හිතන්නෙ. අපි දැන් මාස හතරකට පහකට කලින් හම්බන්තොට පැත්තෙ ගියා, එතකොට තමයි තේරෙන්නෙ මේක එතරම් රස්නයක් නෙවෙයි කියලා.

අද බස් අඩුයි වගේම ටවුන් එකේ කඩවල් ගොඩක් වහලා තිබුණේ. ඒ හින්දා ඇවිදලා ඇවිදලා තේකක් බොන්න තැනක් තියෙනවද බැලුවා. වෙනදා යන තැන් ඔක්කොම වගේ වහලා. ඩෙවොන් එකට තමයි අපි සාමාන්‍යයෙන් යන්නෙ. එතන තේ නියමයි. 😉 වැඩේ හරියන්නෙ නෑ. ඔක්කොම තැන් වහලා. ඊටපස්සෙ KFC එක පැත්තට ගියා. හපොයි එතැන ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඊටපස්සෙ ෆුඩ්ලන්ඩ්ස් කියලා එකක් ඇරලා තියෙනවා දැක්කා. එතැනට ගියා. එතනත් මාර සෙනගක්. වැඩේ හරියන්නෙ නෑ. තවත් ඇවිදගෙන යනකොට තව මොකක්ද එකක් තිබුණා ඒකෙ නමත් මතක නෑ. එතනින් හොට්ඩොග්ස් දෙකක් කාලා කොකා කෝලා එකක් බිව්වා. ගෙදර ආවා. මහන්සියි. රස්නෙයි. හිසරදෙයි.

ආයෙ දවල්ට කාලා නිදාගත්තා. නැගිට්ටෙ හතට විතර. ඒත් හිසරදය එතරම් අඩු නැහැ. කම්මැලිකමට මේක ලියන්න ගත්තෙ.

මේ දවස් ටිකේ පරණ පුරුදු ඒවා ලියන්න හිතුණෙ නෑ. කම්මැලියි. 😀 නිකමට හිතු‍ණා ටිකක් වෙනස් දෙයක් ලියන්න ඕන කියලා. ඒකයි අර කූඩැල්ලන් සම්බන්ධව එකක් එහෙම ලියන්න හිතුණෙ.

මැරතන් එකට තව දවස් කීපයයිනෙ. එතකොට ලියන්න බැරියැ!

කූඩැල්ලෝ

ඔව් අද ලියන්න යන්නේ කූඩැල්ලෝ ගැන. පරිගණක කූඩැල්ලෝ නෙමෙයි ඇත්ත පණ තියන කූඩැල්ලෝ ගැන. මොකද මේ දවස්වල අම්බානක වහින නිසා ගෙයින් එළියට ගියොත් කූඩැල්ලෙක් ෂුවර්. අම්මා නම් කොහෙත්ම කැමති නෑ කූඩැල්ලොන්ට. එකෙක් හිටියොත් ගේ දෙවනත් වෙන්න කෑගහනවා 😉 මටයි මල්ලිටයි නම් එච්චරටම ගාණක් නෑ. චූටි නැන්දත් කැමති නෑ, අම්මා වගේ තමයි ටිකක්. අම්මා එකපාරක් කතාවක ලියලා තිබ්බා කූඩැල්ලො ගැන. මෙන්න මෙහෙම: “මොනවට බයවෙනවද? ලේ උගේ ආහාරය. ඇති තරම් බිව්වට පස්සෙ ගැලවිලා වැටෙනවා. අහිංසක සතෙක්” ඉතිං අපි ඕක කියමින් හිනාවෙනවා 😀

ඉතිං මේ කූඩැල්ලොන්ගෙන් හැමදාම තියෙන කරදරේ හින්දා මම දැන් ටික දවසකට කලින් උන් ගැන වැඩි විස්තර හොයා බැලුවා විකිපීඩියාවෙ. මොකට කියනවද ඔය ඕන තරම් විස්තර තියෙන්නෙ. කියවලා බලන්න කෝකටත්. මොකද දැන් ඔය කූඩැල්ලෙක් එල්ලුණාම සබන්, ලුණු අරවා මේවා දානවනෙ. එතකොට ඌ ගැලවිලා වැටෙනවනෙ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයිලු. මෙන්න විකිපීඩි‍යාවෙන් ගත්තු උපුටාගැනීමක්:

A common but medically inadvisable technique to remove a leech is to apply a flame, lit cigarette, salt, soap, or caustic chemical such as alcohol, vinegar, lemon juice, insect repellent, heat rub, or certain carbonated drinks. These cause the leech to regurgitate its stomach contents into the wound and quickly detach. The vomit may carry disease and increases the risk of infection.

මේ ගැන වැඩි විස්තර මෙතැන තියෙනවා. කෝකටත් කියවලා බලන්න. http://en.wikipedia.org/wiki/Leech

මොකද මං මේ කූඩැල්ලෝ ගැන ලියන්න ගත්තෙ කියලා මං මේ කල්පනා කළේ. ආ හරි. අපේ මාමණ්ඩියා කූඩැල්ලොන්ට දස වධ දෙන හින්දා තමයි ‍මම මේක ලියන්නෙ. මට ඊයෙ පෙරේදා දැනගන්න ලැබුණා එයා කකුලේ හිටපු කූඩැල්ලෙක් ගලවලා අරන් ඌව nailcutter එකකින් දෙකට කැපුවා කියලා 🙁 මට ඇත්තටම ටිකක් තරහ ගිය හින්දා තමයි ඉතින් මේක ලියන්න හිතුණේ. ඒක හරිම කැත වැඩක් නේද? අහිංසක කූඩැල්ලොන්ට මොනවා තේරෙනවද? ඌව කෑලි වලට කපලා, ගින්දර වලින් පුච්චලා දාන්න තරම් මිනිස්සු නපුරු වෙන්නෙ කොහොමද? 😛

ඉතිං මෙපමණයි ලියන්න තියෙන්නෙ. ආ තව වැඩක් වුණා ඒකත් ලියලම ඉවරයක් කරන්නම්. දවසක් මම ගෙයින් පිටතට ගිහින් නැවත ඇතුළට ඇවිල්ලා මැෂින් එක ළඟ වාඩිවෙලා වැඩක් කර කර හිටියා. එතකොට දැනුණා කකුලේ මොකෙක්ද ඉන්නවා වගේ. බලනකොට කූඩැල්ලෙක් තමයි. ඒත් ඌ ලේ බීලා තිබුණේ නෑ. ඌ කම්පියුටරේ තියපු මේසේ උඩට යනවා. මට මාර හිනා. ඌව දැන් අයින් කරන්නත් එපෑ? ඒත් මම උන්ව අල්ලන්න කැමති නෑ (කකුලේ හිටියොත් මිසක්) ඒ හින්දා ඉරපු කොළ කෑල්ලක් අරගෙන ඌව ඒකට උඩට ගන්න ට්‍රයි කළා. මොන? වැඩේ හරියන්නෙම නෑනෙ. විනාඩි දහයක් විතර ට්‍රයි කළා ඌව කොළ කෑල්ල උඩට ගන්න. ඌ ඉදිරියට යනකොට යන පාරේ කොළ කෑල්ල තියනවා. එතකොට ඌ ඒක ‘චෙක්’ කරලා බලලා පැත්තකට යනවා. මං ඉතින් ටිකක් කල්පනා කරලා කළා නියම වැඩක්. අර කොළ කෑල්ල අරගෙන මැදින් සිදුරක් විදලා කූඩැල්ලා සිදුර මැද හිටින විදියට තිබ්බා. දැන් ඌ කොහාට ගියත් යන්නෙ කොළ කෑල්ල උඩට විතරමයි. ඉතින් ඌටත් හිතෙන්න ඇති දැන් වැඩේ හරියන්නෙ නෑ කියලා. නැග්ගා කොළේ උඩට. මං ගිහිල්ලා විසි කරලා දැම්මා. 😀

එපමණයි. අනේ මටත් පිස්සු!

සිංහල බ්ලොග් මැරතන් බලන හැටි

ඔන්න දැන් මැරතන් එක බලන්න සියලුම දේවල් සූදානම්. 😀

1. මැරතන් සින්ඩිකේටරය – සින්ඩිකේටරය මගින් අලුත්ම ලිපි එවෙලේම දැකගන්නට පුළුවන්. එකම තැනකින්.

2. Combined Feed – මේ යාහූ Pipes 😆 මගින් ක්‍රියාත්මක වෙන වෙනමම එකක්. මේ feed එක මගිනුත් මැරතන් එකට එන සියලුම බ්ලොග් කියවන්නට පුළුවන්. ඔ‍බේ feed reader එකට දාගෙන. (Google Reader, Bloglines etc.)

3. ක්ෂණික පණිවිඩ මගින් – ගූගල් ටෝක් සඳහා ක්‍රියාත්මක වෙන මේ සේවාව මගින් අලුත්ම ලිපි එවෙලේම ලබාගන්නට පුළුවන්. marathon@sinhalabloggers.com ඔබේ ගූගල් ටෝක් මිතුරු ලැයිස්තුවට එක්කරගන්න.

4. Twitter මගින් – ඔබටත් Twitter ගිණුමක් තියෙනවා නම් එමගිනුත් දැන් අලුත්ම ලිපි ලබාගන්නට පුළුවන්. මං කලිනුත් ලියලා ඇති ට්විටර් ගැන. ට්විටර් මගින් අලුත්ම ලිපි ලබාගන්න http://twitter.com/blogmarathon මගින් පුළුවන්.

තාම බ්ලොග් එකතු කරලා ඉවර නැහැ. ඔ‍බත් බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ සහභාගි වෙන්න, දැන්ම ගිහින් sinhalabloggers.com වෙත ඔබේ බ්ලොග් එකත් එකතු කරන්න. 🙂

මේ දවස්වල නොලියන්නෙ මොකද?

අනේ ඉතින් ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. ඇයි දෙයියනේ අම්බානක වැඩනේ. මැරතන් එකට සතියයි. පොඩි පොඩි වැඩ තොගයක්ම තියෙන නිසා මේක ගැන එච්චර අවධානයක් නෑ මේ දවස්වල. ඇයි ඒ මදිවට වැස්ස. වහින්න ගත්තම විදුලි කොටමින් වහිනවා. හවස් වෙනකොට නම් මෙලෝ දෙයක් කරන්න විදියක් නෑ. 😀

ඒකට කමක් නෑ. තව සතියකින් බ්ලොග් මැරතන් එක දුවනකොට නියමෙට තියේවි. ලිපි 96ක්! ඒකට ලියන්න දේවල් හොයාගන්නත් ඕන. ඔන්න ඉතින් මැරතන් එක නරඹන්න වැඩ කටයුතු ගොඩක් සූදානම් කරලයි තියෙන්නෙ. ඒ සියලුම ක්‍රම ගැන තව මොහොතකින් දැනුම් දෙන්නම් 🙂

සූදානමින් ඉන්න!

අද බසයේ ගෙදර ආපු හැටි

අහ් මේක නම් කියන්නම ඕන 😉 සාමාන්‍යයෙන් අපේ ගෙවල් පැත්තට එන බස් එන්නෙ වැව රවුම, ලේවැල්ල, සිරිමල්වත්ත හරහා. මේ දවස් වල වැව රවුමේ පාර හදන නිසා අද බස් එකේ කොන්දොස්තර කිව්වා ‘අද යන්නෙ වැව රවුමෙන් නෙමෙයි, ධර්මාශෝක මාවත පැත්තෙන්’ කියලා. හේතුව මේ ට්‍රැෆික් එක තමයි. ඉතින් අපි ආවෙ නැතෑ. කොහොම හරි ඇවිල්ලා ඇවිල්ලා ධර්මාශෝක මාවතටත් ආවා.

ඔන්න ඉතිං පාර දිගේ ගොඩක් දුර ගියාට පස්සෙ මෙන්න තවත් බ්ලොක් එකකට අහුවුණා. මං හිතන්නෙ ඒ පැත්තෙත් පාර හදනවා වෙන්න ඇති. විනාඩි දහයක් විතර හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර් ආයෙ බස් එක හරවගෙන ඇවිල්ලා අරුප්පල පැත්තෙන් ආවා. අපිත් ඉතින් ඇති යන්තම් කියලා සැනසුම් සුසුමක් හෙලනකොටම, අරුප්පල පිට්ටනිය ළඟ තවත් බ්ලොක් එකක්. අපි බැලුවා මේ මොකද කියලා. මුලින් හිතුවෙ වාහනයක්වත් හැප්පිලා වෙන්න ඇති කියලා. බලනකොට ඒ පාර පොඩි හින්දා වාහන වලට මාරුවෙන්න බැහැ 😀 හපොයි ඉතින් එතනත් පැය බාගයක් විතර ඔහේ බලාගෙන ඉඳලා කොහොම හරි පිටත් වුණා. අපි සිරිමල්වත්ත හරියට එනකොට අපට පස්සෙ එන බස් එකත් අපිව පහුකරගෙන ගියා. අනේ අනිච්චං මට හිතිච්ච දේවල්! ඒත් ඉතින් මොනවා කරන්නද? 😀 ලංකා‍වනෙ!