ඔළුව.

මේ දවස්වල මගේ ඔළුගෙඩියට හෙණ අපලය. තාම වැදී නැත්තේ හෙණයක් විතරය. හෙණ නැති වුවද, අනෙක් හැම මගුලම වැදී ඇති නිසා ඔළුවට අපලයක් ඇති බව නිසැකයෙන්ම කිව හැක.

අද උදේ නැගිටින විට මා හිටියේ කොළඹය. නැගිට්ට මොහොතේ පටන් ඔළුව රිදෙන්නට ගත්තේ ඇයිද? රෑ පුරා ෆෑන් එක දමාගෙන නිදා හිටි නිසා විය යුතුය. මීට කලින්ද ඔය වැඩේ සිදුවී ඇත.

ඉතින්, නානකාමරේට වැදී නාගෙන පැමිණ රන්දීරයාගේ ගෙදරින් ලැබුණු කෝපි කෝප්පයද ගිලදැමූවද ඔළුව රිදිල්ලේ අඩුවක් වුණේ නැත. පැනඩෝල් තිබුණද ඔව්වා බොන්නට මගේ වැඩි කැමැත්තක් නැත. නැගිටින විට ටිකක් පරක්කු වී තිබුණත් නිදිමත බොහෝ සේ දැනුණේය. ඊයේ රෑ නිදාගන්නා විට සුපුරුදු පරිදි පරක්කු වීම සහ බාගෙට මැරී සිටීම එයට හේතු විය හැකිය. ඒ මදිවට, නිදාගන්නට කලින් ජංගමයේ කාලය පිළිබඳ සැකසුම් ටිකක් සමග සෙල්ලම් කළ නිසා එලාමයද වැදුණේ නැත. 😛

කෙසේ හෝ ලක ලෑස්තී වී රන්දීරයාට ටටා කියා ගෙදරින් එළියට බහින විට හොඳින් අව්ව වැටී තිබුණේය. මං වගේ නොව රන්දීරයා කම්මැලියා නිසා පොර නැවතත් නිදාගන්නට ගියේය. ඒ අතින් මං මාර කඩිසරය. 😛

උදේ පාන්දර වුණත් අව්ව මාර සැරය. ඒ හින්දා බස් එකේ නැග ටික වේලාවකින්ම එපාවීම ආරම්භ වුණේය. එපාකරපු දාඩිය දැමිල්ල ඇරඹුණු අතරම ඔළුව රිදිල්ලද තව ටිකක් වැඩි වුණේය.

උදේ පාන්දරම ඔය වගේ සිද්ධියක් සිදුවීම මාර චාටර්ය. කූල් එකේ එළියට බැස්ස විට ඒ ගතිය දිගටම තියෙන්නේ නම් හොඳය. ඒත් එහෙම වුණේ නැත.

කෙසේ හෝ ටවුන් හෝල් එක ළඟින් බහින්නට තිබූ නිසා බසය ඒ හරියට එන විට සීට් එකෙන් නැගිටින්නට සිදුවිය. එහෙත් අවාසනාවක මහත! දඩිං යන අනුකරණයෙන් මගේ මේ අහිංසක ඔළුගෙඩිය බසයේ රාක්කයේ මහ හයියෙන් වැදුණේය. දවල් තරු පෙනිණ. දෙයියන් සහ බුදුන් සිහිවිය. අහෝ මාගේ ඔළුගෙඩියට සිදුවූ විපත!

කුමක් කරන්නද? වේදනාවත් කාගෙනම බසයෙන් බසින්නට සිදුවිය. බසයෙන් බැස්ස පසු කට්ට අව්වේ, හිසරදයෙන් සහ බසයේ වැදිල්ලෙන් හෙම්බත් වූ ඔළුවකුත් සහිතව ගමනාන්තයට ගාටන්නට මට සිදුවිය.

ඔළුගෙඩියට සිදුවූ පීඩාම ඔය ටික පමණක්ම නොවේ. ඒවා දැන් ලියන්නට කම්මැලිය. කෙටියෙන් කියන්නේ නම් දවල්ට කන්නට පරක්කු වීම නිසා ඔළුව රිදිල්ල දෙගුණ තෙගුණ විය. ඒ මදිවට සුපුරුදු පරිදි අව්වේ ගෑටීම, බස්වල හිරවීම, ඔක්සිජන් මදිවීම, කෝච්චියේ නුවර එන ගමන් නින්ද යාම, පැනඩෝල් නොබීම වැනි එකී මෙකී නොකී නා නා විධ හේතු නිසා මගේ ඔළුගෙඩිය හෙම්බත් වී ඇත.

නුවරට පැමිණ බසයට ගාටද්දීද මොළය හිස්කබල අස්සේ ඒ මේ අත වැදීම හේතුවෙන් තවත් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

දැන් නම් ඔළුගෙඩියට එපාවී ඇත. මෙවන් පීඩා විඳ දරාගන්නට තරම් හැකියාවක් එයට කොයින්ද? ඒ හින්දා තවදුරටත් එයට වද නොදී මේ ලිවිල්ල අවසන් කොට, කා බී හොඳ නින්දක් ලබාගැනීමේ අරමුණින් මම කැපෙමි.

ජයවේවා!

වැහි දවස්

Rain Man !

කොළඹ දවස් දෙක තුනක් රවුම් ගසා ගෙදර ආවේ අදය. මේ දවස් වල කොළඹ වැස්සය. නුවරත් වැස්සය. කිසිම වෙනසක් නැත. ඒත් කොළඹ ඇත්තේ වැස්ස විතරක් නොවේ. අව්වද ඇත. මං ඔය දෙකටම කැමති නැත. අව්ව වැඩි දාට දාඩිය නාන්න වීමත්, වැස්ස වැඩි දාට නිකංම නිකං වතුර නාන්න වීමත් මහ එපාවෙන්නේය. දාඩිය නාන දාට ඇඳුම් ගන්න දෙයක් නැති වෙන අතර, වතුර නාන දාට සපත්තු ඇතුළටද වතුර ගොස් මූණ රොස් කරගෙන සිටින්නට වෙයි. ඕවා මහා එපාකරපු වැඩය.

අදත් වෙනදා වගේම ගෙදර ආවේ කෝච්චියේය. මං කෝච්චියේ ගමන් යන්නට ආසා වෙන මොකක් හින්දාවත් නොව ඒකේ අතපය දිගහැර නිස්කලංකයේ ගමනක් යන්නට ඇහැකි නිසාය. බස් වල නම් එහෙම නොවෙන වග කවුරුත් පිළිගන්නවා ඇත. කොළඹ නුවර දුවන ඒසී බස් වල මිනිස්සු පැක් කර තියෙන හැටි දැක්කාම පවා හුස්ම හිරකරනවා වගේය. ඒ මදිවට ඒවායේ ඒසීද ටිකක් වෙලා යනකොට බාගෙට මැරෙන්නේය.

කෝච්චියේද ඔය වගේ වෙන බව අසා තිබේ. ඒ වුණාට ශීඝ්‍රගාමී එකේ නං කලින් ටිකට් ගත්තාම එහෙම කරදර නැත. හැබැයි දැන් ජංගමයෙන් ටිකට් ඕඩර් කරන්නට ඇහැකි නිසා දැන් කලින්ම ටිකට් ඉවර වේ. එතකොට වැඩේ හබක්ය.

මේ දවස් වල කෝච්චියේ ගමන්ද මහා කම්මැලිය. ඒ වෙන හේතුවක් නිසා නොව මගේ ඉයර්පෝන් කැඩී යාම නිසාය. ඒ හින්දා දැන් සිංදුවක්වත් අහන්නට බැරිය. අලුතෙන් ගත්තුවාද මට ඇල්ලුවේ නැත. එව්වා ජෙරියාට දුන්නෙමි. වෙනත් එකක් ගන්නට තව ටික දවසකින් ට්‍රයි එකක් දිය යුතුය.

කලින් වතාවක කෝච්චිය පැය දෙකහමාරෙන් නුවර ආපු නිසා අදත් එහෙම වෙයි කියා සිතුවද එසේ වූයේ නැත. පැය තුනක්ම ගියේය. ඒ මදිවට කඩුගන්නාව හරියේ පටන් අහස මාර අඳුරුය. වෙනදා හය වෙනකොට නොතිබුණු කළුවරක් අද තිබුණු නිසා අද නම් නාන්න වෙයි යන සිතුවිල්ල එවෙලේ පටන් දිගටම පැවතුණේය.

නුවරින් බසිද්දීම වැස්ස පටන් අරගෙන තිබුණේය. තදටම නොතිබුණු නිසා ටොන් එකක් බර බෑගයත් උස්සාගෙන තෙමි තෙමි ටවුමට ගියේ බඩට මොනවාහරි දාගන්නටය. මේ දවස් ටිකේම කෑවේ සෞඛ්‍යයට අහිතකර කෑම නිසා එවෙලෙ හිතකර එකක් කන්නට හිතුණත් අන්තිමට කෑවේ කොත්තුවක්ය. නිකං කොත්තුවක් නොව චිකන් කොත්තුවක්ය. ඒත් ඒක එච්චරටම හරිගියේ නැත.

කොත්තුව ගිල දමා එලියට බසින විට වැස්ස ටිකක් තදවී තිබුණේය. නොකිය යුතු වදනක් මුවින් පිටවුණේ නොදැනුවත්වමය. වෙලාවට ළඟපාත කවුරුවත් හිටියේ නැත. නැත්තං මේ කොල්ලා මහ නැහැදිච්ච එකෙක් යැයි හිතන බව නම් ෂුවර්ය.

නැවතත් තෙමෙන්නට කැමැත්තක් නොතිබුණු නිසා කුඩය ඉහළාගන්නට සිදුවිය. එක අතකින් කුඩයක්ද අනෙක් අතින් බෑගයක්ද උස්සාගෙන ගියේ බස් තියේදැයි බලන්නටය. බසයක් නැත්තං රෝද තුනේ රථයක ගෙදර යන්නට වෙන නිසා ජොලියක්ද තිබුණේය. හැබැයි ජොලිය නැතිවෙන්නේ ඒවායේ ගණන් අහන විටය. නුවරටත් මීටර් හයි කළ එව්වා තිබුණා නම් කොච්චර සෝක්දැයි සිතුණේය.

කොහොම වුණත් බසයක් තිබුණේය. නගින විට දැක්කේ ඔක්කොම සීට් අහවර බවය. හිටගෙන හිටියේ මාත් තවත් පොරකුත් පමණය. අනිත් පොර හිටියේ වෙලාවටය. නැත්තං තනියම හිටගෙන ඉඳීම චාටර්ය.

ඩ්‍රයිවරයා පැමිණ බසය ස්ටාට් කරන්නට හැදුවද වැඩේ හරිගියේ නැත. ඉතින් කස්ටියක් පැමිණ බසය තල්ලු කරන්නට ට්‍රයි කළහ. කස්ටියට වැඩේ කරගන්නට බැරිවිය. පණ නැතුවා විය යුතුය. කොන්දොස්තරයා ඉන්පසු කුඩයක්ද ඉහලාගෙන බස් එක ඇතුළට පැමිණ ‘අයියේ බස් එකට තල්ලුවක් දාමුදැයි‘ කියා ඇසූවේය. කොහොම වුණත් වීරයා වගේ කුඩයක්ද නැතුව තෙමි තෙමීම එළියට බැස්සේ මං විතරය. අනිත් එවුන් බැස්සෙ නැත්තේ ඇයිදැයි කියා එවෙලේ හිතුණේ නැත. අංකල්ලා හතර පස් දෙනාට මහන්සි වෙන්නට ඇත. අනිත් එවුන්ටත් මහන්සිය විය යුතුය. ඒත් මටද මහන්සිය. ටොන් එකක් බර බෑගය උස්සාගෙන ස්ටේසමේ සිට ටවුමට ගෑටුවේ පයින්මය. බොලව්!

කොහොම වුණත් දස මහා යෝධ බල වීරිය බාවිතා කොට බසය තල්ලු කරන්නට හැකිවිය. ඒක ස්ටාට් වූ පසු ඇතුළට නැග්ගේ පොඩි ජොලියක්ද ඇතිවය. කොහොම වුණත් කොන්දොස්තරයා ටිකට් නම් කිසිම වෙනසක් නැතුව කැඩුවේය.

බස් එක ගමට එන විටද වැස්සය. වැස්ස එපාවෙන්නේ ඔය වගේ වෙලාවල් වලටය. බස් නවත්තන තැන ඉඳන් ටිකක් දුර යන්නට තියෙන නිසා රෝද තුනේ රථයක යන්නට හිතුණේය. ඒත් තිබුණු ඒවායේ ඩ්‍රයිවර්වරු සිටියේ නැත. ඉතින් මක් කොරන්ටදැයි කියා ඒ ටිකත් පයින්ම ගාටන්නට සිදුවිය. පාර කට්ට කලුවරය. ඇත්තේ අත් දෙකක් පමණක් නිසා බෑගයයි කුඩයයි අල්ලගත් විට ආලෝකය ගන්නට ජංගමේ බාවිතා කරන්නටවත් විදියක් තිබුණේ නැත. ඒ හින්දාම වතුර වලවල් දෙක තුනකටම අඩිය තියන්නට සිදුවිය. සපත්තුව අස්සට වතුර පිරී මේස් දෙකත් තෙතබරිත වෙන විට නම් තව තව වචන මතක් වෙන්නට පටන් ගත්තේය.

කෙසේ හෝ දැඩි බාධක මැද්දේ ගෙදරට ළඟාවෙන විට රෑ අටටත් ළං වෙලාය.

දැන් නම් නිදිමතය. නිදාගත යුතුය. බස් තල්ලු කර මහන්සිය.

පින්ටූරෙ: Nandakumar Subramaniam ගෙනි.

දත.

alligator's teeth

රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු වෙලාවෙ ඉඳන්. මොනවහරි හැපුවොත්. ඉන්න බෑ. ඩ්‍රිල් එකකින් හිල් කරනව වගේ. මොන මගුලක්ද. මෙහෙම කන්නෙ කොහොමද? බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව.

කොච්චර රසට තිබුණත් වැඩක් නෑ. රස නොදැනෙන ගානට දත රිදෙනව. එතකොට කෑම පිඟාන උස්සල පොළවෙ ගහන්න හිතෙනව.

මං දත් මදිනව. දවසට දෙවරක්. එහෙමනෙ කරන්න කියන්නෙ. ඉතින් ඕක හැමදාම කරනවනෙ. දවසට දෙවරක්. සතියට දවස් හතක්. මාසෙට දවස් තිහක්. නැත්තං තිස් එකක්. පෙබරවාරි වලට නම් විසි අටයි. අදික අවුරුද්දක් නං විසි නවයයි. මදිනව මදිනව මදිනව. යන්තරේ වගේ. ෆැක්ටරියක් වගේ. මැදගෙන මැදගෙන යනව. වෙලාවකට ඇනෙනව බුරුසුව කටේ. දෙයියො සිහිවෙනව. ඒත් මදිනව. මැදල මිසක් අතාරින්නෙ නෑ. ඔන්න ඔහොම.

සිග්නල්, ක්ලෝගාඩ්, සිග්නල් හර්බල්, සිග්නල් වයිටනින්, කොල්ගේට්, සුදන්ත, සුපිරිවිකී සහ එකී මෙකී නොකී හැම එකෙන්ම මදිනව.

ඒ වුණාට, මෙච්චර මැදලත්, දත රිදෙනව. මොන මගුලකටද එහෙනං මෙච්චර මදින්නෙ? ඇයි නොමැද නිකං ඉන්නෙ නැත්තෙ?

හැමෝම මේ වගේ මදිනවද?

ඉස්සරහ නිදාගෙන බල්ලව ගමු. ඌ මදිනවද? පූසෙක් ඉන්නව අතන. ඌ මදිනවද? නෑ. හොරෙන්වත් මදිනවද? මං හිතන්නෑ. ජීවිතේට මදිනවද? මං දැකල නෑ.

ඔන්න බල්ලෙක් එනව මේ පැත්තට. මං අහනව උගෙන්. “බල්ලා, උඹ දත් මදිනවද?“

ඌට තේරෙන්නෙ නෑ. ඌ මගේ මූණ දිහා බලල මට බුරනව. වලිගෙ වනනව. බුරනකොට මට උගෙ දත් සෙට් එක පේනව. උගෙ දත් සෙට් එක හොඳට තියෙනව. ඒත් ඌ මදින්නෙ නෑ කියල මට ෂුවර්. උගේ දත් දැක්කම වෙලාවකට බය හිතෙනව. ඒව දිලිසෙනව. සමහර දත් උල්වෙලා. පිහි වගේ. ඒත් ඌ මදිනවද? නෑ.

ලෝකෙ තියෙන මොන මල ජරාවක් කෑවත් ඌ දත් මදිනවද? නෑ. උන්ට දත් දොස්තරල ඉන්නවද? මං නං දැකල නෑ. ඌ දත රිදෙනව කියල අඬනවද? නෑ.

මොකක්ද මේකෙ තේරුම?

මෙච්චර මැදලත් ඇයි මට මෙහෙම වෙන්නෙ?

බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව. මං පිඟාන දෙනව බල්ලට. “උඹම කාපන්. බූරුව.“

මං ගිහින් ආයෙ මදිනව. අද ටිකක් වැඩිපුර මදිනව. හෙටත් මදිනව. අනිද්දත් මදිනව. මදි නොකියන්න මදිනව.

Google Talk Contacts අලය

ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ එකතු වුණේ නෑ. දැන් ඉතින් ට්විටර් එකෙයි, ෆේස්බුක් එකෙයි පණිවිඩ දමමින් කට්ටියට මාව එකතු කරන්න කියමින් හිටියෙ.

ඉතින් කාටහරි මාව Google Talk එකේ පේන්නෙ නැත්තං පටස් ගාලා පහළ තියෙන Add බොත්තම ක්ලික් කරලා මගේ ඊමේල් ඇඩරස් එක දාලා එකතු කරන්න. මගෙන් ඉල්ලීමක් ඇවිල්ල තියෙනව නම් ඒත් ඉතින් පිළිගන්න. 🙂

දැනට එපමණයි. තැන්කු වේවා! ජයවේවා! 😀