චෑන්.

මං පොඩි කාලෙ මාර ආසයි ජැකී චෑන්ගෙ ෆිල්ම් බලන්න. මාර ෆයිට්. පිස්සු හැදෙනව.

මං බලපු ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් එක ෆිල්ම් එකක් විසේසයෙන් මගේ මතකෙ රැඳුන.

ඒකෙ එක සීන් එකක් තිබුණ ජැකී චෑන්ව කොනක හිරකරගෙන පොරට වීදුරු බෝතල් වලින් ගහන. ඌ වීදුරු බෝතල් පාරවල් කාලා ලේ පෙරාගෙන කෙල්ලගෙ ගෙදර යනව.

ඒක මාරයි. මං ඕක මුලින් බලපු වෙලාවෙ ඒක දැකල ඇස් වලට කඳුළුත් ආව.

පස්සෙ තමයි මට තේරුණෙ ඒක ෆිල්ම් එකක් විතරයි කියල.

“මචං උඹ දැකල තියෙනවද ජැකී චෑන්ගෙ අර ෆිල්ම් එක?”

“මොන?”

“ඇයි බං අර බෝතල් පාරවල් කන සීන් එක තියෙන්නෙ.”

“අම්මොහ් ඔව් ඕයි. ඒක මාරයිනෙ! කොහොමද ඌ බෝතල් පාරවල් කාගෙන ඇවිදගෙන යන හැටි. පිස්සු විකසිත වෙනව.”

“මේ අපි ඒක කරමුද?”

“අනේ කරමුකො බං”

“එළ. අරන් වරෙන් තිමිරගෙ කැමර එක.”

අපි වැඩේට ලෑස්ති වුනා. අපේ සෙට් එකේම ලොකුම ජැකී චෑන් පිස්ස මං හින්ද මං වොලන්ටියර් වුනා ජැකී චෑන් වෙන්න.

කට්ටිය ගුණවර්ධන අංකල්ගෙ කඩෙන් හිස් බෝතල් තොගයක්ම අරගෙන ආව.

“රයිට්… ඇක්ෂන්!”

මාව කොනක හිර කරපු කට්ටිය වීදුරු බෝතල් මගෙ පැත්තට විසි කරන්න පටන් ගත්ත.

බෝතල් බිමයි බිත්තියෙයි වැදිල කෑලි කෑලි වලට කැඩිල මගේ ඇඟේ වැදුණ.

වීදුරු කෑලි මගේ හම හිල් කරගෙන ඇතුළට බැස්සෙ නීට් එකට. වැඩේ ලස්සනට යනව.

වීදුරු කෑලි වලට කැපිච්චි මගේ ඇඟෙන් ලේ බේරෙන්න පටන්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

මං ෆිල්ම් එකේ විදියටම මූණ කවර් කරගත්ත. වීදුරු කෑලි මගේ අත් වලත් ඇනෙනව.

තවත් බෝතලයක් කෙලින්ම වැදුණෙ මගේ දණහිසේ. දණහිස හිරිවැටෙනව මට දැණුන. තඩි වීදුරු කෑලි තුනක්ම දණහිසේ ඇනිල.

ඒ අස්සෙ තිමිර බෝතලයක් කලින්ම කඩල මගෙ දිහාට විසි කරා.

කලින්ම කැඩිල තිබුණු හින්ද ඒක මගෙ උරහිසේ වැදිල ඇතුළටම කපාගෙන ගියා. ඌට මොලේ තියෙනව. ෆිල්ම් එකේ විදියටම කරාම ගතියක් නෑ. අපි Improvise කරන්න ඕන.

අන්තිමේදි කොහොමහරි බෝතල් ඉවර වුණා. මට මාර මහන්සියි. ඒත් තාම වැඩේ ඉවර නෑ.

ගොඩක් ලේ ගලපු හින්ද මං පණ නැතිව බිමට වැටුණ. ඒකෙ අවුලක් නෑ මොකද ජැකී චෑනුත් එහෙම වැටුණු හින්ද.

මං ළඟ තිබුණු දොර අමාරුවෙන් ඇරගෙන එළියට බඩගෑව. සමිර කැමරාවත් උස්සගෙන පස්සෙන් ආව.

මං ජනිතගෙ ගෙදර දිහාට ගියා. ජනිත මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.

ටිකක් බඩගාල අමාරුවෙන් නැගිටගෙන ටික දුරක් ගියත් ආයෙ බිමට වැටුණ. ඉතුරු ටික බඩගාගෙන යන්න වුණේ ඇඟට පොඩ්ඩක්වත් පණ තිබුණෙ නැති හින්ද. පාරෙ වැලි තිබ්බ හින්ද වැඩේ ලේසි වුණේ නෑ. වැලි වලට තුවාල රිදෙන එක වැඩිවුණා.

ජනිතගෙ ගෙදරට යන්න විනාඩි විස්සක් විතර ගියා. ඒ වෙනකොට මට කිසිම සිහියක් නෑ. ඔලුව කැරකෙනව. අහස කලුවර වෙනව.

බඩගාන්නවත් මට පණ නෑ.

මං ගෙදර දොරට තට්ටු කරේ දෙපාරයි.

හිතපු විදියටම දොර ඇරියෙ ජනිත. එළ. මට ඒකිව බදාගන්න හිතුණ. වැඩේ නියමෙට යනව.

ඒත් එතකොටම වැඩේ අලවෙන්න පටන් ගත්ත.

ජනිත කැමරාව දිහායි මා දිහායි මාරුවෙන් මාරුවට බලනව.

“අනේ නිසිත මොකද ඔයාට වුණේ නිසිත? අනේ කතාකරන්නකෝ!!!”

ඒකි විලාප දෙනවා.

එතකොටයි මට මතක් වුණේ මං කරපු ගොන්කමක තරම.

ජනිත කවදාවත් ජැකී චෑන්ගෙ ෆිල්ම් බලල නෑ!!!

ගල්රෝල.

Paiania's red devil!

“නටපියව්!”
උන් ඔක්කොම නටන්න ගත්ත.
මං ලේසර් එක ඇල්ලුවෙ උන්ගෙ ඇස් වලට.
චිරි චිරි ගාල උන්ගෙ ඇස් ඔක්කොම පිච්චිලා ගියා.
උන්ට ගානක් නෑ.
ඇස් නැතුවත් උන් නටනව.
ඊටපස්සෙ මං බැට් එකක් අරන් උන්ගෙ කකුල් කැඩුව.
ගොඩක් එවුන් බිම වැටුණත් උන් නටන එක නැවැත්තුවෙ නෑ.
මට කරන්න දෙයක් තිබුණෙ නෑ.
ගල් රෝලක් අරගෙන ඇවිත් ඔක්කොම චප්ප කරන්න මට සිද්ධවුණා.
හැමතැනම ලේ. ගල් රෝල රතු පාට වෙනකල් මං උන්ව චප්ප කරා.
මට පස්සෙ දුක හිතුණ.
මං මිනීමරුවෙක්.
ඒත් මං ගල් රෝලට කියන ඉංග්‍රීසි නම දැනගෙන හිටියෙ නෑ.
ඒ හින්ද මං විකිපීඩියාවට ගියා.
Road Roller.
😀
කවුද එකෙක් කෙඳිරි ගානව.
මං Road Roller එකට නැගල ඌවත් චප්ප කරා.
“I killed them with my red road roller. I’m a murderer now baby!”
එයා හිනාවුනා.
“I know sweetheart.”
She kissed me and I went to heaven.


පින්ටූරෙ: http://www.flickr.com/photos/ellie-yannis/5184943932/

මගුල.

“ආ සහෝදරයා! කොහොමද මගුල?”

මං බෝඩිමට ආවෙ හතට විතර. මගුල ඉවරවෙලා කොහොමහරි බස් එකක ඉතුරු ටික අදින්න වෙච්ච හින්ද හොඳ පණ ගිහින් තිබුණෙ. කාමරේට ඇවිත් දාඩියෙන් පෙඟිල තිබිච්ච ෂර්ට් එක පැත්තකට විසිකරපු මං මෙට්ටෙ උඩ වාඩි වුණේ ෆෑන් එකත් දාල. දාඩිය නාල ඉන්න වෙලාවක හුළං පාරක් වැදුනම තියෙන සනිපෙ කියල නිම කරන්න බෑ.

“බෝරිං බං. වැඩක් නෑ.”

“…ඔව්වොව්. බෝරිං වෙන්න එපැයි. චානකය මට කෝල් කරල කිව්ව උඹේ වැඩ.”

“ඇයි ඩෝ මං මොනාද කරේ?”

“ඇයි ගොන් හරකෝ ඔච්චර කෙල්ලො ගොඩක් ඉඳලත් උඹ මොනාද කරේ? බුම්මට්ටා වගේ උඩ බලාගෙන ඉඳල කෙල්ලො දාගන්න බෑ පොල් බූරුවෝ!”

මට යකා නගින්නෙ මුගෙ මේ කතා වලට තමා.

“පල යන්න”

මං ඔරලෝසුව ගලවල මේසෙ උඩට දැම්ම.

“මට එහෙම කරන්න හිතෙන්නෑ බං.”

“එහෙනං හිටපං ඔහොම. දෙයියො ගෙනත් දෙයි කෙල්ලෙක් කවදහරි උඹේ ඔඩොක්කුවට මෙන්න පුතේ කියල! @#$%^&*(” (ඉතුරු ටික ලියන්න බෑ)

ඌට මල පැනල. මල පනින එකත් සාදාරණයි එක අතකට. හැමදාම මං ඤුරු ඤුරු ගාන හැටි අහන් ඉඳලම ඌට එපාවෙලා ඇති.

“එව්වයින් වැඩක් නෑ. මොකක්ද අර ට්විටර් එකේ තිබ්බ මේකප් කේස් එක?”

“නෑ බං. උන්ගෙ මේකප් දාන්න ආපු එකී. මාර ලස්සනයි ඕයි. පිස්සු හැදෙනව.”

උගෙන් උත්තරයක් නෑ.

“සිරාවට. She was so Hot ඕයි! අනිත් එක bridesmaid. අනේ මන්ද බං…”

“අනේ උඹයි මායි දන්න හොට්!”

ඌට තාම මල.

“අඩෝ ජෝක් නෙවි. I kept staring at her for like…”

“…ඉතින් යකෝ මේකප් දාන එකියක් නං ලස්සන වෙන්න එපැයි කොහොමත්. නැත්තං කොහොමද බිස්නස් කරන්නෙ?”

“මගුල. All I’m saying is that she was cute.”

බෑග් එකෙන් ලැප්ටොප් එක එළියට ඇදල බූට් වෙන්න දාපු මං සපත්තු ගලවල ඇඳ යටට විසි කරා. අරූට ඒකටත් යකා නැගල.

“මොකක්ද ඕයි උඹට වෙලා තියෙන්නෙ? උඹේ වැඩ වල කිසි පිළිවෙලක් නෑ දැන්. අනික කවුරු කොච්චර කියුට් වුණත් තෝ කිසි ඇක්ෂන් එකක් ගන්නැත්තං ඇති වැඩක් තියෙනවද බොල? චානකය උඹට හිනාවෙනව. උගෙ යාලුවො ටික උඹට ගේ කියනව. ලැජ්ජ නැද්ද යකෝ?”

ඒකට මගෙන් උත්තරයක් නෑ.

“උඹ ඩාන්ස් කරේවත් නැද්ද?”

“නෑ බං.”

“ඇයි?”

“මං කැමති නෑ.”

“බූරුවා. මොන මගුලක්ද තෝ කරේ එහෙනං?”

“මොනව කරන්නද ඕයි! කෑව බිව්ව, උඩ බලාගෙන හිටිය. එච්චර තමයි.”

“අඩෝ අර ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙලා. උඹට ඕනද?”

“දියං…”

මං පෙන්ඩ්‍රයිව් එක ඌ ගාවට විසිකරා.

ඌ ෆිල්ම් එක කොපි වෙන්න දාල ජනේලෙ ගාවට ගියා.

“කවුද දැන් අනිත් කෙල්ල?”

“මොන?”

“ඇයි බං උඹ චතුරයට කියල තිබුණෙ?”

“ආ ඒකි කවුද මං දන්නෑ බං. රෝස පාට සාරියක් ඇඳල හිටිපු එකීනෙ.”

මගෙ කටහඬ වෙනස් වෙලා කියල මටම තේරුණ. අරූ කෝචෝක් හිනාවක් දාගෙන බලන් ඉන්නව.

“නෑ බං ඒකි දෙපාරක් මං දිහා බැලුව. හැබැයි ඊටපස්සෙ මං ආයෙ බැලුවම අහක බලාගත්ත.”

“ඇත්තද?” 😛

“ඒකි මාර ලස්සනයි බං. මං හිතන්නෙ එහාපැත්තෙ වාඩිවෙලා හිටියෙ බෝයිෆ්‍රෙන්ඩ්.”

“ඔව් බං උඹට පරචිත්ත විඥානය තියෙනවනෙ. එළ එළ මට අමතක වුණා.”

“වතුර බෝතලේ දියං”

වතුර උගුරු දෙක තුනක්.

“ඒකිත් ඩාන්ස් කරන්න ගියා බං. ඕයි ඒකි චානකය එක්කත් ඩාන්ස් කරා. ඒකයි මට ගොඩක් අප්සට්. මට එවෙලෙ ෆුල් අවුල්.”

අරූ හිනාවෙනව.

“නවත්තගනිං හිනාව”

“හරි හරි කියපංකො”

“ටික වෙලාවකට පස්සෙ ඒකිට ඩාන්ස් කරල මහන්සි. ඒකි අපෙ ටේබල් එක ඉස්සරහ ටිකක් වෙලා හිටගෙන හිටිය. අඩෝ ඒකි එතකොටත් අර සිංදු වල බීට් එකට නැලවෙනව බං. Mesmerizing!”

“මට බඩගිනියි”

“පාන් ගෙනාව බං. ඔය බෑග් එකෙ බලපං. අනේ මන්ද බං රෝස පාට ඇන්දම උන් මාර…”

“දඩිං…”

ඌ මගෙ ඔලුවට බෙලෙක් පිඟානෙන් ගැහුව.

“මොකද !@#$%^ ගහන්නෙ?”

“තෝ පාන් ගෙනල්ල නෑ. පරිප්පු විතරයි තියෙන්නෙ.”

එයා.

The Coming Storm

එයාගෙ ඇස් ලස්සනයි.
එයයි මමයි මුහුද දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑව.
එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්ව.

“සීතලයි.”
“ඉතින්?”
“එන්න මගෙ ළඟට.”
“මට බෑ.”
“ඇයි?”
“නිකං…”
“පිස්සි”
“පිස්ස”
එයා හිනාවුනා.
මාත් හිනාවුනා.

එයාගෙ ඇස් ලස්සනයි.
මම මුහුද දිහා බලාගෙන හිටියෙ.
එයා නැවක් දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑව.
එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්වෙ නෑ.

“රස්නෙයි”
“ඉතින්?”
“මං යන්නද?”
“එපා.”
“ඇයි?”
“නිකං…”
“පිස්සි”
“…”
මං හිනාවුනා.
ඒත් එයා හිනාවුනේ නෑ.

එයාගෙ ඇස් වෙනදට වඩා ලස්සනයි.
මම මුහුද දිහා බලාගෙන හිටියෙ.
එයා අලුත් ෆෝන් එකක් දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑවෙ නෑ.
එයාගෙ හෑන්ඩ්බෑග් එක අද අලුත් එකක්.
ඒකෙ වතුර බෝතලයක් නෑ. තිබුණෙ පිහියක් විතරයි.

“මට යන්න ඕන.”
“ඉතින්?”
“යන්න දෙන්න”
“මට බෑ.”
“ඇයි?”
“නිකං…”
මං හිනාවුනා.
ඒත් එයා හිනාවුනේ නෑ.

එයා බෑග් එකෙන් පිහිය අරගෙන මගේ පපුවට ඇන්න.
මං මැරුණ.

“සොරි….”
එයා හිනාවුනා.
ඒත් මං හිනාවුනේ නෑ.
ඒ අස්සෙ වෙන කවුද පොල් බූරුවෙක් හිනාවෙනව ඇහුණ.

“ආ නංගී…”
මැරුණත් මට හිනාගියා.
එයාගෙ ඇස් හරිම ලස්සනයි නේද පොල් බූරුවෝ?
ඊටපස්සෙ මං ඇඬුව.

පින්ටූරෙ: http://www.flickr.com/photos/malinthepix/5662036308/

නමක් නෑ ඕයි.

Nugegoda Flyover

ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස් වෙලා. අහස රතු පාටයි. වටපිටාවෙ ලයිට් එකට පිස්සු හැදෙනව. බෑග් එක අස්සට අත දාල කැමරාව එළියට ඇදල ගන්න හිතුණත් ටික වෙලාවකින්ම ඒ හිතිවිල්ල එතනම මැරෙනව.

මහන්සියි. දවසම එක තැන ඉඳගෙන ලැප්ටොප් එකේ ඔලුව ඔබාගෙන හිටියම ඔහොම තමා.

“මචං මං යනව!“

“හරේ. ටටා.“

අසිත ගෙදර දුවනව. ළඟදි බැඳපු හින්ද පොරට ගෙදර දුවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්. පොර නොපනී ගියාට පස්සෙ මං පාර දිහා බලාගෙන ඉන්නව.

කලාතුරකින් දකින ජැගුවාර් එකක් වංගුවෙන් හරවල පාරට දානව. ඒ දිහා කෑදරකමෙන් බලාගෙන ඉඳල පාර පනින්නෙ කලර් ලයිට් වල රතු පාට පත්තු වුණාම. පාර මැද පොලිස්කාරය නලාවත් ගගහ නැටුම් නටනව. අලුත්ම අලුත් බෙන්ස් එකක් ගත්තු පොරක් කොහිල හොයන්න යන්න හරවනව. මං උගෙ පාර බ්ලොක් කරන හින්ද ඌ හෝන් එකෙන් සිම්පනියක් ගහනව.

යකා. ඌ යනව අත් දෙක වන වන. වීල් එක අල්ලගනින් බූරුවො.

බස් නවත්තන්නෙ මෙතන. වැඩ ඉවරවෙලා ගෙවල් වල බෝඩිං වල යන කට්ටිය බස් එනකල් ඉන්නෙ. ගොඩක් අයගෙ මූණු වල මහන්සි පාට පෙනුනට ගොඩක් අය ඉන්නෙ හිනාවෙලා. කට්ටියක් ෆෝන් වල එල්ලිලා. කට්ටියක් තමන්ගෙ සිග්නිෆිකන්ට් අදර් එක්ක කතාව. කට්ටියක් යාලු මිත්‍රාදීන් එක්ක කතාව.

කතාකරපල්ලා. හිනාවෙයල්ලා. ජීවත් වෙන ටික කාලෙටනෙ.

මං ඉයර්පෝන් දෙක කනේ ගහගන්නව. කන් දෙක අස්සටම යන හින්ද ඊටපස්සෙ වටපිටාවෙ සද්ද ඇහෙන්නෙ නෑ.

“Well the night I was born, lord I swear the moon turned to fire red…”

ඉඩ තියෙන බස් එකක් එනව. මං දුවල ගිහින් නගිනව.

කොන්දොස්තරගෙ කට හෙලවෙනව පේනව. පොර අහන්නෙ කොහාටද යන්නෙ කියල.

“නුගේගොඩ.“

පොරට මං කියන එක ඇහෙන්නෙ නෑ. මටවත් ඇහෙන්නෙ නෑ. ඊටපස්සෙ ටිකක් හයියෙන් කියනව.

“නුගේගොඩ!“

ඌ ඉතුරු රුපියලක් දෙනව. හිත හොඳ එකා. හැම එකාම ඔහොම රුපියල දෙන්නෙ නෑ. මූට අවුරුද්දට සරමක්වත් අරන් දෙන්න ඕන.

“Well the mountain lions found me there waiting, and set me on the eagles wing…”

පාට පාට ලයිට්. ජනේලෙ අයිනෙ හුළං වදිනව. දාඩිය. හුළං පාරට අතුරුදන් වෙනව. සනීපයි.

“’cause I’m a million miles away, and at the same time I’m right here in your picture frame”

එකෙක් මට ඇඟිල්ලෙන් අනිනව. බැලින්නං කොන්ද.

“ඇයි ඕයි?“

“මේ නුගේගොඩ.“

“ඉතින්?“

“බැහැපන් යකෝ.“

මං බහිනව. තොට අවුරුද්දට සරමක් හම්බෙන්නෑ යකෝ!

පොටෝ එක: http://www.flickr.com/photos/malinthepix/5384563043/