සැහ්.

“වී බුසල් දෙකයි…“
“හ්ම්…“
“මොකක්?“
“නෑ බං මේ කෝපි වලට“
“උඹට පිස්සුද බං?“
“නෑ බං පෙරේද ගෙදර යනව. ඒකයි.“
“මේ පොඩ්ඩක් නැගිටපං“
මං නැගිට්ට. උගෙ පොතක් උඩ ඉඳගෙන ඉඳල තියෙන්නෙ.
“මං ගියා බං අද කෝට් බෑයක් හොයන්න.“
ටියුබ් ලයිට් එකෙන් සද්දයක් ඇහෙනව.
“මචං මට වතුර බෝතලේ දියං“
වතුර ටිකක් බොර පාටයි. ටියුබ්ලයිට් එක නිවල නිකං බල්බ් එක දැම්ම.
ඒකෙන් එන එලිය දැක්කම මැරෙන්න හිතෙනව.
“අයිස් ටික දියවෙනව ඕයි“
“අන්න අර හොර පූස ඇවිල්ල. අල්ලගනින්!“

ඉන්සයිට් එක

“උඹල දන්නෑ බං, මූට ගිය අවුරුද්දෙ සම්මානෙකුත් දෙන්න ලෑස්ති වුණා මොකක්ද අමුතු ඕගනයිසේෂන් එකකින්. හොඳම වලා කියල. ඒත් ආණ්ඩුවෙන් කේස් හින්ද ඒක කරේ නෑ. ලංකාවෙ සංස්කෘතියට හරියන්නෑලුනෙ. ඇමරිකන්කාරයො ටිකක් කරේ ඒක.”

“මූ කෝටිපතියෙක් බං මෙහෙම හිටියට. ජෝක් නෙවි. මූට සල්ලි තියෙනව ලෙසටම. ඒ හින්ද ජොබ් ඕන නෑ.”

“එහෙනං මේ නාහෙන් අඩන්නෙ අර ඇඩැප්ටරේ 6000ක් කියල?”

“බොරු බං ඕකගෙ. අර වෑන් එකත් මුගෙ. කාර් දෙකක් තියෙනව. දැන් කියයි බොරු කියල. ළඟදි ඉන්සයිට් එකකුත් ගත්ත. අනික පරණ කොරොල්ලා එකක්.”

“ඉන්සයිට් කියන්නෙ මොකක්ද?”

“ඇයි ඩෝ උඹ ගත්තු හයිබ්‍රිඩ් එක! අනේ අම්මප මූවත් දන්නෑ මූ ගන්නෙ මොනවද කියල.”

“පල යන්ඩ. මට ඕන ඇලියොන් එකක් හරි ප්‍රිමියො එකක් හරි මිස්ටුබිශි මොන්ටෙරො සවපොර්ට් එකක් හරි”

“ඔය තියෙන්නෙ! ඕකත් ලබන සතියෙ විතර ගනී. මුගෙ තාත්ත හොඳ පොර බං. මූ වගේ නෙවෙයි. මූ නං කුණු ලෝබයනෙ.”

“මචං උඹල දන්නවද මුංගෙ බස් සර්විස් එකක් තියෙනව කොළඹ ගාල්ල. කැබ් සර්විස් එකකුත් පටන්ගන්නව ළඟදි ගාල්ලෙ. ඒකක පලයං ඒ පැත්තෙ ගියොත්.”

“තාත්ත කිව්වලු යාලුවොන්ට ස්පෙෂල් රේට් දෙන්න කියල. මූ නං කැමති නෑ ඒත් තාත්තා කිව්වම නොකර බෑනෙ. මූට ඕන හද්ද පරණ වාහන දාන්නලු කැබ් සර්විස් එකට. ඒකටත් තාත්තා බැනල. මූ ඒකයි ඔය පහුගිය දවස් වල අප්සට් එකේ හිටියෙ.”

“මේ බලපං මගෙ කොණ්ඩෙ හරි දිගයි!”

“තාත්තා ගැනවත් හිතපන් බූරුවො.”

“අපේ තාත්තා මුකුත් කියන්නෑ කොණ්ඩෙට.”

“පලයන් බං යන්න. අපි දන්නව උඹ කරන වැඩ. කාර් එකත් අරගෙන කෙල්ලො එක්ක රවුම් ගහන එකයි, උන්ට වියදම් කරන එකයි. ගිය සතියෙත් බැනුම් ඇහුවනෙ?”

“මොන කෙල්ලද බං?”

“උඹල දන්නෑ දැන් ටික දවසකට කලින් මුගෙ තාත්තා මුගෙ කන පැලෙන්න ගහලනෙ මූට කන විදල පච්චයක් ගහගන්න ඕන කිව්ව කියල. තාත්තා ෆුල් අප්සට් එදා. කාර් එකත් ගන්න හදල. ආයෙ පව්නෙ කියල දීල. මූට ගානක් නෑ. ඔහේ සල්ලි නාස්ති කර කර රවුම් ගහනව.”

“චාරුනී කිව්ව හින්දලු විදින්න ගියේ. ඒකිලු මූව නරක් කරන්නෙ අනික. හැමදාම ගාල්ලෙ ඉඳන් කොළඹ එනවලු ඉන්සයිට් එකේ. ඒකිත් එක්ක ඇවිත් මුළු කොළඹ රවුම් ගහල රෑ වෙලා යනව. මොනවද කරනවද කවුද බං දන්නෙ?”

“තාත්තට ආරංචි වෙලා මූ තව සයුරි කියල කෙල්ලෙක් එක්කත් රවුම් ගහනව කියල. අනිත් එකී දන්නෑ. නැත්තං මූ ඉවරයි.”

“නෑ??? යකෝ කෙල්ලො කීයක්ද???”

“සයුරි මූට පිස්සු වැටිලලු බං. අනිත් කෙල්ල නං පස්සෙන් එන්නෙ මුගෙ සල්ලි හින්ද කියල තාත්තා කිව්වෙ”

“සචිනි කියල කෙල්ලෙක්ට නම් ට්‍රයි කළා මං…”

“ඒ පරණ එකක්නෙ බං. මූ දැන් වැඩක් නෑ බං. හදන්න අමාරුයි ඉතින්. තාත්තලා කැමති නෑ සයුරිටත්. අනිත් එකීට නම් කෝමත් කැමති නෑනෙ. මේ කාටවත් කියන්න එපා බං මෙව්වා. මං උඹලව ෂුවර් හින්ද කිව්වෙ.”

“මූව හදන්න බෑ බං. අපි ඕකට කිව්ව පොඩ්ඩක් හිතල බලපං කියල. සත පහකට ගණන් ගන්නෑ. මාමලත් බැනල තිබුණ. තව නෑදෑ වෙන නංගි කෙනෙක් හිටන් කියල තිබුණලු ‘අනේ අයියෙ පිස්සු කරන්නැතුව හොඳට ජීවත් වෙන්න බලන්න’ කියල. මූ මොකද කරේ, කුණුහරුප කියල ඒකිට බැනපු එක!”

“මාරයිනෙ!”

“ඔව් බං. අන්තිමට ඒකි අඬ අඬ ගෙදර ගියාලු. පව් ඕයි. මාර අවුල්ලු. ඒකි හිතල නෑ මූ ඒ විදියට කතාකරයි කියල. ඒකිගෙ තාත්තා මූට ගහන්නත් හැදුවලු. ගෙදර හිටපු වැඩකාරයා ඒක ෂේප් කරල තියෙන්නෙ.”

“මූ මොකද ඊටපස්සෙ කරේ එදා රෑම චාරුනී එක්ක ඉන්සයිට් එකේ නැගල ගියාලු ත්‍රිකුණාමලේ. මහ රෑ.”

“මට දුකයි බං උඹ කරන වැඩ ගැන. තාත්තා ගැනවත් හිතපං. උඹට වටින්නෑ ඒ මනුස්සයට ඔය විදියට සලකන්න. මෙච්චර කාලයක් කන්න අඳින්න දීල.”

“දවසක් ඉන්සයිට් එකේ නැගල නුවරත් ආව. වීරය වගේ යනව වන් වේ එකක. පොලිස්කාරයෙක් ඕක දැකල මූට දෙකක් කියල. මූ මොකද කරේ බැහැල ගියාලු පොරට ගහන්න. චාරුනී තමයි වැඩේ ෂේප් කරල තියෙන්නෙ කොහොමහරි. වටේ හිටපු එවුන් මුගේ කාර් එක කුඩු කරන්නලු ලෑස්ති වුණේ. උන් කිව්වලු ‘නංගි හින්ද මූට යන්න දෙන්නෙ නැත්තං කාර් එක ගිනිතියනව’ කියල.”

“ඒ පොලිස්කාරයට මාර සපෝට් එකක් තියෙනව බං ඒ පැත්තෙ. ඌ බෝම්බකාරයෙක්ව අල්ලගෙන තියෙනව ඇඟට පැනල ඒ දවස්වල. බෝම්බෙ පුපුරුවන්න කලින් හොම්බට ඇනල අත කඩල. මාර සිරා පොරක් බං. ඒ වගෙ එකෙකුට පාට් දාන්න යනවා කියන්නෙ ඉතින්…”

“හප්පා…”

“මං කිව්ව අරූට මූ ඒ දවස් වල හිඟන්නොන්ට පයින් ගහපු කේස් එක. පව් ඕයි. තාත්තට ඒකටත් අප්සට්. සල්ලි තිබ්බයි කියල ඒ අහිංසකයොන්ට නෙලල හරිනවද? චාටර් වැඩනෙ බං ඕව.”

“පල යකෝ මට තියෙන්නෙ උණු වෙන හදවතක්!”

“මගුලක් කතාකරනව. මූ දවසක් එකෙක්ගෙ ඔලුවත් පැලුව අනේ මහත්තයො කිව්වයි කියල.”

“මූ කැමති නෑ බං මූට මහත්තය කියනවට. සර් කිව්වෙ නැත්තං උන්ව මරන්න හදනව.”

 

ඔළුව.

මේ දවස්වල මගේ ඔළුගෙඩියට හෙණ අපලය. තාම වැදී නැත්තේ හෙණයක් විතරය. හෙණ නැති වුවද, අනෙක් හැම මගුලම වැදී ඇති නිසා ඔළුවට අපලයක් ඇති බව නිසැකයෙන්ම කිව හැක.

අද උදේ නැගිටින විට මා හිටියේ කොළඹය. නැගිට්ට මොහොතේ පටන් ඔළුව රිදෙන්නට ගත්තේ ඇයිද? රෑ පුරා ෆෑන් එක දමාගෙන නිදා හිටි නිසා විය යුතුය. මීට කලින්ද ඔය වැඩේ සිදුවී ඇත.

ඉතින්, නානකාමරේට වැදී නාගෙන පැමිණ රන්දීරයාගේ ගෙදරින් ලැබුණු කෝපි කෝප්පයද ගිලදැමූවද ඔළුව රිදිල්ලේ අඩුවක් වුණේ නැත. පැනඩෝල් තිබුණද ඔව්වා බොන්නට මගේ වැඩි කැමැත්තක් නැත. නැගිටින විට ටිකක් පරක්කු වී තිබුණත් නිදිමත බොහෝ සේ දැනුණේය. ඊයේ රෑ නිදාගන්නා විට සුපුරුදු පරිදි පරක්කු වීම සහ බාගෙට මැරී සිටීම එයට හේතු විය හැකිය. ඒ මදිවට, නිදාගන්නට කලින් ජංගමයේ කාලය පිළිබඳ සැකසුම් ටිකක් සමග සෙල්ලම් කළ නිසා එලාමයද වැදුණේ නැත. 😛

කෙසේ හෝ ලක ලෑස්තී වී රන්දීරයාට ටටා කියා ගෙදරින් එළියට බහින විට හොඳින් අව්ව වැටී තිබුණේය. මං වගේ නොව රන්දීරයා කම්මැලියා නිසා පොර නැවතත් නිදාගන්නට ගියේය. ඒ අතින් මං මාර කඩිසරය. 😛

උදේ පාන්දර වුණත් අව්ව මාර සැරය. ඒ හින්දා බස් එකේ නැග ටික වේලාවකින්ම එපාවීම ආරම්භ වුණේය. එපාකරපු දාඩිය දැමිල්ල ඇරඹුණු අතරම ඔළුව රිදිල්ලද තව ටිකක් වැඩි වුණේය.

උදේ පාන්දරම ඔය වගේ සිද්ධියක් සිදුවීම මාර චාටර්ය. කූල් එකේ එළියට බැස්ස විට ඒ ගතිය දිගටම තියෙන්නේ නම් හොඳය. ඒත් එහෙම වුණේ නැත.

කෙසේ හෝ ටවුන් හෝල් එක ළඟින් බහින්නට තිබූ නිසා බසය ඒ හරියට එන විට සීට් එකෙන් නැගිටින්නට සිදුවිය. එහෙත් අවාසනාවක මහත! දඩිං යන අනුකරණයෙන් මගේ මේ අහිංසක ඔළුගෙඩිය බසයේ රාක්කයේ මහ හයියෙන් වැදුණේය. දවල් තරු පෙනිණ. දෙයියන් සහ බුදුන් සිහිවිය. අහෝ මාගේ ඔළුගෙඩියට සිදුවූ විපත!

කුමක් කරන්නද? වේදනාවත් කාගෙනම බසයෙන් බසින්නට සිදුවිය. බසයෙන් බැස්ස පසු කට්ට අව්වේ, හිසරදයෙන් සහ බසයේ වැදිල්ලෙන් හෙම්බත් වූ ඔළුවකුත් සහිතව ගමනාන්තයට ගාටන්නට මට සිදුවිය.

ඔළුගෙඩියට සිදුවූ පීඩාම ඔය ටික පමණක්ම නොවේ. ඒවා දැන් ලියන්නට කම්මැලිය. කෙටියෙන් කියන්නේ නම් දවල්ට කන්නට පරක්කු වීම නිසා ඔළුව රිදිල්ල දෙගුණ තෙගුණ විය. ඒ මදිවට සුපුරුදු පරිදි අව්වේ ගෑටීම, බස්වල හිරවීම, ඔක්සිජන් මදිවීම, කෝච්චියේ නුවර එන ගමන් නින්ද යාම, පැනඩෝල් නොබීම වැනි එකී මෙකී නොකී නා නා විධ හේතු නිසා මගේ ඔළුගෙඩිය හෙම්බත් වී ඇත.

නුවරට පැමිණ බසයට ගාටද්දීද මොළය හිස්කබල අස්සේ ඒ මේ අත වැදීම හේතුවෙන් තවත් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

දැන් නම් ඔළුගෙඩියට එපාවී ඇත. මෙවන් පීඩා විඳ දරාගන්නට තරම් හැකියාවක් එයට කොයින්ද? ඒ හින්දා තවදුරටත් එයට වද නොදී මේ ලිවිල්ල අවසන් කොට, කා බී හොඳ නින්දක් ලබාගැනීමේ අරමුණින් මම කැපෙමි.

ජයවේවා!

වැහි දවස්

Rain Man !

කොළඹ දවස් දෙක තුනක් රවුම් ගසා ගෙදර ආවේ අදය. මේ දවස් වල කොළඹ වැස්සය. නුවරත් වැස්සය. කිසිම වෙනසක් නැත. ඒත් කොළඹ ඇත්තේ වැස්ස විතරක් නොවේ. අව්වද ඇත. මං ඔය දෙකටම කැමති නැත. අව්ව වැඩි දාට දාඩිය නාන්න වීමත්, වැස්ස වැඩි දාට නිකංම නිකං වතුර නාන්න වීමත් මහ එපාවෙන්නේය. දාඩිය නාන දාට ඇඳුම් ගන්න දෙයක් නැති වෙන අතර, වතුර නාන දාට සපත්තු ඇතුළටද වතුර ගොස් මූණ රොස් කරගෙන සිටින්නට වෙයි. ඕවා මහා එපාකරපු වැඩය.

අදත් වෙනදා වගේම ගෙදර ආවේ කෝච්චියේය. මං කෝච්චියේ ගමන් යන්නට ආසා වෙන මොකක් හින්දාවත් නොව ඒකේ අතපය දිගහැර නිස්කලංකයේ ගමනක් යන්නට ඇහැකි නිසාය. බස් වල නම් එහෙම නොවෙන වග කවුරුත් පිළිගන්නවා ඇත. කොළඹ නුවර දුවන ඒසී බස් වල මිනිස්සු පැක් කර තියෙන හැටි දැක්කාම පවා හුස්ම හිරකරනවා වගේය. ඒ මදිවට ඒවායේ ඒසීද ටිකක් වෙලා යනකොට බාගෙට මැරෙන්නේය.

කෝච්චියේද ඔය වගේ වෙන බව අසා තිබේ. ඒ වුණාට ශීඝ්‍රගාමී එකේ නං කලින් ටිකට් ගත්තාම එහෙම කරදර නැත. හැබැයි දැන් ජංගමයෙන් ටිකට් ඕඩර් කරන්නට ඇහැකි නිසා දැන් කලින්ම ටිකට් ඉවර වේ. එතකොට වැඩේ හබක්ය.

මේ දවස් වල කෝච්චියේ ගමන්ද මහා කම්මැලිය. ඒ වෙන හේතුවක් නිසා නොව මගේ ඉයර්පෝන් කැඩී යාම නිසාය. ඒ හින්දා දැන් සිංදුවක්වත් අහන්නට බැරිය. අලුතෙන් ගත්තුවාද මට ඇල්ලුවේ නැත. එව්වා ජෙරියාට දුන්නෙමි. වෙනත් එකක් ගන්නට තව ටික දවසකින් ට්‍රයි එකක් දිය යුතුය.

කලින් වතාවක කෝච්චිය පැය දෙකහමාරෙන් නුවර ආපු නිසා අදත් එහෙම වෙයි කියා සිතුවද එසේ වූයේ නැත. පැය තුනක්ම ගියේය. ඒ මදිවට කඩුගන්නාව හරියේ පටන් අහස මාර අඳුරුය. වෙනදා හය වෙනකොට නොතිබුණු කළුවරක් අද තිබුණු නිසා අද නම් නාන්න වෙයි යන සිතුවිල්ල එවෙලේ පටන් දිගටම පැවතුණේය.

නුවරින් බසිද්දීම වැස්ස පටන් අරගෙන තිබුණේය. තදටම නොතිබුණු නිසා ටොන් එකක් බර බෑගයත් උස්සාගෙන තෙමි තෙමි ටවුමට ගියේ බඩට මොනවාහරි දාගන්නටය. මේ දවස් ටිකේම කෑවේ සෞඛ්‍යයට අහිතකර කෑම නිසා එවෙලෙ හිතකර එකක් කන්නට හිතුණත් අන්තිමට කෑවේ කොත්තුවක්ය. නිකං කොත්තුවක් නොව චිකන් කොත්තුවක්ය. ඒත් ඒක එච්චරටම හරිගියේ නැත.

කොත්තුව ගිල දමා එලියට බසින විට වැස්ස ටිකක් තදවී තිබුණේය. නොකිය යුතු වදනක් මුවින් පිටවුණේ නොදැනුවත්වමය. වෙලාවට ළඟපාත කවුරුවත් හිටියේ නැත. නැත්තං මේ කොල්ලා මහ නැහැදිච්ච එකෙක් යැයි හිතන බව නම් ෂුවර්ය.

නැවතත් තෙමෙන්නට කැමැත්තක් නොතිබුණු නිසා කුඩය ඉහළාගන්නට සිදුවිය. එක අතකින් කුඩයක්ද අනෙක් අතින් බෑගයක්ද උස්සාගෙන ගියේ බස් තියේදැයි බලන්නටය. බසයක් නැත්තං රෝද තුනේ රථයක ගෙදර යන්නට වෙන නිසා ජොලියක්ද තිබුණේය. හැබැයි ජොලිය නැතිවෙන්නේ ඒවායේ ගණන් අහන විටය. නුවරටත් මීටර් හයි කළ එව්වා තිබුණා නම් කොච්චර සෝක්දැයි සිතුණේය.

කොහොම වුණත් බසයක් තිබුණේය. නගින විට දැක්කේ ඔක්කොම සීට් අහවර බවය. හිටගෙන හිටියේ මාත් තවත් පොරකුත් පමණය. අනිත් පොර හිටියේ වෙලාවටය. නැත්තං තනියම හිටගෙන ඉඳීම චාටර්ය.

ඩ්‍රයිවරයා පැමිණ බසය ස්ටාට් කරන්නට හැදුවද වැඩේ හරිගියේ නැත. ඉතින් කස්ටියක් පැමිණ බසය තල්ලු කරන්නට ට්‍රයි කළහ. කස්ටියට වැඩේ කරගන්නට බැරිවිය. පණ නැතුවා විය යුතුය. කොන්දොස්තරයා ඉන්පසු කුඩයක්ද ඉහලාගෙන බස් එක ඇතුළට පැමිණ ‘අයියේ බස් එකට තල්ලුවක් දාමුදැයි‘ කියා ඇසූවේය. කොහොම වුණත් වීරයා වගේ කුඩයක්ද නැතුව තෙමි තෙමීම එළියට බැස්සේ මං විතරය. අනිත් එවුන් බැස්සෙ නැත්තේ ඇයිදැයි කියා එවෙලේ හිතුණේ නැත. අංකල්ලා හතර පස් දෙනාට මහන්සි වෙන්නට ඇත. අනිත් එවුන්ටත් මහන්සිය විය යුතුය. ඒත් මටද මහන්සිය. ටොන් එකක් බර බෑගය උස්සාගෙන ස්ටේසමේ සිට ටවුමට ගෑටුවේ පයින්මය. බොලව්!

කොහොම වුණත් දස මහා යෝධ බල වීරිය බාවිතා කොට බසය තල්ලු කරන්නට හැකිවිය. ඒක ස්ටාට් වූ පසු ඇතුළට නැග්ගේ පොඩි ජොලියක්ද ඇතිවය. කොහොම වුණත් කොන්දොස්තරයා ටිකට් නම් කිසිම වෙනසක් නැතුව කැඩුවේය.

බස් එක ගමට එන විටද වැස්සය. වැස්ස එපාවෙන්නේ ඔය වගේ වෙලාවල් වලටය. බස් නවත්තන තැන ඉඳන් ටිකක් දුර යන්නට තියෙන නිසා රෝද තුනේ රථයක යන්නට හිතුණේය. ඒත් තිබුණු ඒවායේ ඩ්‍රයිවර්වරු සිටියේ නැත. ඉතින් මක් කොරන්ටදැයි කියා ඒ ටිකත් පයින්ම ගාටන්නට සිදුවිය. පාර කට්ට කලුවරය. ඇත්තේ අත් දෙකක් පමණක් නිසා බෑගයයි කුඩයයි අල්ලගත් විට ආලෝකය ගන්නට ජංගමේ බාවිතා කරන්නටවත් විදියක් තිබුණේ නැත. ඒ හින්දාම වතුර වලවල් දෙක තුනකටම අඩිය තියන්නට සිදුවිය. සපත්තුව අස්සට වතුර පිරී මේස් දෙකත් තෙතබරිත වෙන විට නම් තව තව වචන මතක් වෙන්නට පටන් ගත්තේය.

කෙසේ හෝ දැඩි බාධක මැද්දේ ගෙදරට ළඟාවෙන විට රෑ අටටත් ළං වෙලාය.

දැන් නම් නිදිමතය. නිදාගත යුතුය. බස් තල්ලු කර මහන්සිය.

පින්ටූරෙ: Nandakumar Subramaniam ගෙනි.