මැරතන් දිවිල්ල සහ නිදිමත

චැහ් දැන් නම් නිදිමත ටිකෙන් ටික වැඩිවීගෙන එනවා. ලියන්න කිසිම දෙයක් ඔළුවට එන්නෙත් නෑ. දැන් පූසෝ ගැන ලිය ලිය ඉඳලා අන්දමන්ද වෙලා වගේ වටපිට බලමිනුයි ඉන්නේ. දැන් දැක්කා කුකුෂ්කින් ඉදිරියෙන් ඇවිදගෙන ගිය ආකාරය. හපොයි දැන් නම් කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ ලියන්න. දැන් රේඩියෝ චැනලයේ කතාකරන්නෙ වරුණ අයියා. දැන් ටිකකට කලින් දිව ටිකක් පැටළුණා.

ආ මෙන්න කුකුෂ්කින් මං ගාවින් ඇවිදගන ගියා. මොනවද ඌ හොයන්නෙ. ඒ පාර ඌ උඩ බලනවා. හූනෝ අල්ලන්න හිතිලද දන්නෙ නෑ. ආයෙ යනවා කුස්සිය පැත්තට. මූ නම් මාර බඩජාරියෙක්. පූසොත් දැකලා තියෙනවා මෙහෙම පූසෙක් දැකලා නෑ.

අනේ මන්දා නිදිමත හින්දා වෙන්න ඇති කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙ නෑනෙ! ඔන්න ඒ පාර pizzahut අනුග්‍රහයෙන් වෙලාව කියනවා වරුණ. හපොයි දැම්මෙ නැතෑ තව සිංදුවක් – මේවට පුදුම නිදිමතක් තමයි එන්නේ!

හරි ඊළඟට ලියනවා මගේ කසිකබල් ෆෝන් එක ගැන. මොනවා හරි ගැන ලියන්නත් එපායැ? 😀

කුකුෂ්කින්ගේ පින්තූරයක්

ඔන්න අමාරුවෙන් හොයාගත්තා කුකුෂ්කින්ගෙ පින්තූරයක් (අංකල් කියන්නෙත් මෙයාටම තමයි කලින් වැරදුණානේ)

කුකුෂ්කින් වෙලාවකට ලස්සනට පෙනුණත් කෑම තියෙන තැනක හිටියොත් පේන්නෙ නිකං යකෙක් වගෙයි. 😀

පූස් පින්තූර

ටිටී සහ කුකුෂ්කින්ගෙ පින්තූර හොයාගන්න බැරිවුණා. ඒ හින්දා අපේ පූසන්ගේ පින්තූර දෙකක් දාන්නයි යන්නෙ

මේ ඉන්නෙ කෝඩි – නියම පූසෙක්!

මේ ඉන්නෙ යූලා – කෝඩිගේ බාල සහෝදරයෙක්

කලින් පොඩි වැරදීමක් වුණා. අංකල් කියන්නෙත් කුකුෂ්කින්ට තමයි කියලා මතක් වුණා. 😀 නිදිමත හින්දද කොහෙද ලියන දේ හරියට ලියවෙන්නෙ නෑ වගෙයි. කමක් නෑ.

කොහොම කොහොම හරි ටිටී හෙවත් අග්ගල පූසයි කුකුෂ්කිනුයි නියම වැඩ තමයි දෙන්නේ. ‍ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා අත්තම්මගේ ගෙදර වහලා තියන කෑම සහෝදරයො දෙන්නා එකට එකතුවෙලා හොරකම් කිරීම ගැන. මේ ළඟදි පිඟානකින් වහලා තිබුණු මාළු වගයක් මේ දෙන්නා එකතුවෙලා පිඟාන ඉවත් කර හොරකම් කරලා තියෙනවා. කළොත් කරන්නෙ ඔය වගේ වැඩක් තමයි. මොනවා වුණත් ඒ වැඩේට දක්ෂයි. පුළුවන් වුණොත් ඒ දෙන්‍නගෙ පින්තූර ටිකක් දාන්න බලන්නම්.

අංකල් ගැන තවත් තොරතුරු

මෘදුකාංග අරවා මේවා ගැන ලියන්න හිතුවට ඒක කරන්න අමාරුයි වගේ. ඉතින් සාමාන්‍ය හෑලි ලියන්න කල්පනා කළා.

මේ ලියන්නේ සාමාන්‍ය අංකල්ලා ගැන නෙවෙයි හො‍ඳේ? 😀 මේ ලියන්නෙ අත්තම්මලාගේ ගෙදර ඉන්න කුකුෂ්කින්ගෙ සහෝදර පූසා වන අග්ගලේ හෙවත් අංකල් ගැන. මෙන්න දවසකටත් පූසා! අංකල්ට තරම් කෑම පිළිබඳ ආසාවක් තවත් පූසෙකුට නැතුව ඇති (කුකුෂ්කින් හැරෙන්නට) මොකද මේ පූසා කෑම හොරකම් කරන්නේ බොහොම දක්ෂ තාලයට. පුරුදු කළොත් බැංකුවක් වුණත් කඩන්න බැරි නෑ 😛

අංකල්ව පේන්න බෑ ගොඩක් අයට. ඌ දුඹුරු/තැඹිලි පාටක් තියෙන පූසෙක් නිසා කියලයි ගොඩක් අය කියන්නෙ. මොකද ‍අපේ ගෙදර අනිත් පූසෝ ඔක්කොම කළු/සුදු වර්ණ වලින් යන නිසා. අංකල්ගෙ ලොකුම හතුරා අපේ ගෙදර ඉන්න ‘යූලා’ කියන පූසා තමයි. දැක්කොත් ඉවරයි! වලියක් යන එක ෂුවර්.

අනිත් එක්කෙනා අපේ බකියා. බකී කියන්නෙ අපේ සුනඛ මහතා තමයි. ඌටත් අංකල්ව පේන්න බෑ. දැක්කොත් ගිහිල්ලා හපලා ජංජාලයක් කරනවා ෂුවර්.

කුකුෂ්කින්ට මේ ළඟකදි ඉඳන් අපේ අනිත් පූසා කෝඩිගෙන් හරියට කරදර. කෝඩිට තද වුණාම යන හැටි බලන්න ආසයි. වලිගය පුම්බාගෙන ගිහින් දෙනවා කුකූට කන පැළෙන්න!

අංකල් සහ කුකුෂ්කින් සහයෝගයෙන් කළ වැඩ ගැන ඉදිරියට 😆 පින්තූර බලාපොරොත්තු වෙන්න.

කෑම කෑවා රාත්‍රියට

දඩි බිඩි ගාලා බත් ටිකක් ගිල දැම්මා. අප්පච්චි අරහෙන් කෑගහනවා හරියට වෙලාවට කන්නෙ නෑ අරකයි මේකයි ගාලා. අනේ ඉතින් මං මොනවා කරන්නද? 😀

බත් කන අතරේ ආවා කුකුෂ්කින්. මං ඌව එළවලා දැම්මා. කුකුෂ්කින් කියන්නෙ අත්තම්මලාගේ පූසාට. ඌ මහ එපාකරපු පූසෙක්. හොරෙන් කන්න ඌ තරම් ජගතෙක් නැහැ. කුකුෂ්කින් කියන්නෙ උගේ මුල් නම නෙමෙයි. මුල් නම චූටි කුකූ. චූටි නැන්දා තමයි ඒ නම දැම්මේ. ඔය නම ඉතින් කුකූ විදියට කෙටි වෙලා පරිණාමය වෙලා කුකුෂ්කින් බවට පත්වුණා. කුකුෂ්කින් කියන්නෙ ‘සැබෑ මිනිසෙකුගේ කතාවක්’ පොතේ චරිතයක්. ඒ චරිතයට වඩා මේ පූසගෙ ලක්ෂණ වෙනස් හැබැයි.

මූ ගොඩක්ම දක්ෂ හොරෙන් කන්න සහ අනිත් අයගේ කෑම උදුරගෙන කන්න තමයි. මෙයාගේ සහෝදරයාගේ නම ටිටී හෙවත් අග්ගලේ හෙවත් අංකල් – නම් ගොඩයි 😆 අංකල් ගැන විස්තර ඊළඟ ලිපියේදි කියන්නම්. මේ දෙන්නාම එකතු වෙලා තමයි කෑම හොරකම් කරන්නෙ. කුකුෂ්කින් අපේ පූසො දෙන්නට දෙන කෑමත් උදුරගෙන කනවා. දැන් අපේ පූසෝ ඌට හොඳ හොඳ පරවල් දෙන්නයි පුරුදු වෙලා තියෙන්නෙ. වෙලාවකට කටේ බත් තියාගෙන කුකුෂ්කින් දුවන හැටි දැක්කම හිනායනවා පණ යනකං! 😀