ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම

අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් තියෙන්නෙ අලුත්ම නිකුතුව තමයි කියලා. ඒත් Hutch Firmware එකක් තියෙනවා ඊට වඩා ගොඩක් අලුත්. ඉතිං අපේ නාගයාගෙනුත් පොඩ්ඩක් විමසලා බැස්සා ගේමට.

බාගත්තා අලුත්ම Firmare එක. මේක generic එකක් නෙවෙයි. Hutchison. ඕන කෙහෙල්මලක් කියලා a2uploader එකේ පිහිටෙන් (දෙයියො සිහිකරගෙන) ඒක ෆ්ලෑෂ් කරා. ක්‍රියාත්මක කළා. මෙන්න බොලේ වැඩ! ඉතිං තව මොනවද 😀

ඉතිං අලුත් එක ඇතුලෙ රවුම් ගගහ ඉන්නකොට දැක්කා වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් කියලා. මේකෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා ඉතිං වැඩකුත් නෑ. ඒත් ඉතින් something is better than nothing නෙ. පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා ඒකත් වැඩ. කාලිංගගෙන් කෝල් එකක් ගෙන්නගත්තා, මූණ පෙනේ. 😀 මොබිටෙල් එකේ 555 ට අරගෙනත් බැලුවා. ඒකත් වැඩ.

අනික් විශේෂම දේ තමයි වේගය. Interface එක දැන් ගොඩක් වේගවත්. කලින් වගේ ගාටන්නෙ නෑ. ඒක නම් ඉතින් ලොකු සහනයක්.

ඉතින් ‍ෆොන්ට් ටිකත් ආයෙ හදලා සිංහලත් දාගත්තා. නැත්තං වැඩක් කරන්න බෑනෙ. ඉතින් ඔච්චර තමයි 😛

new_menu
G502 New Menu
G502 Video Calling
G502 Video Calling

iPhone 3G is here!?

iphoneඅලුත්ම: ඒක වෙබ් අඩවියෙන් ඉවත් කරලා 😀

මේක නම් එනවා දැක්කෙ නෑ. ආරංචි හැටියට දැන් ඩයලොග් එකෙන් iPhone 3G ගන්න පුළුවන්ලු. අද ඩයලොග් වෙබ් අඩවිය පැත්තෙ ගිය වෙලාවෙයි දැක්කෙ. මේකට තමා බලාගෙන හිටියෙ – ඒත්! ගාන දැක්කම නම් හැබැයි ටිකක් හරි නෑ වගේ. 89,000ක් කියල තමා තියෙන්නෙ. හරි නෑ වැඩේ. 🙁
ඇමරිකාවෙ නම් AT&T එකෙන් බොහොම සුළු ගාණකටනෙ දෙන්නෙ. AT&T එකේ ගණන්: $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

වැඩි විස්තර: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html

Update: They’ve removed it.

Didn’t see this coming. Looks like Dialog is giving us the iPhone 3G  Saw this in their website today. The price is a bit high at 89,000. Didn’t like that of course 🙁 AT&T is giving this for a far more small price. $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

More Info: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html

ජංගම දුරකථනයට සිංහල දැමීම

ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් සිංහලනෙ) ට්‍රයි කරා ‍ඩයලොග් එකේ සිංහල බ්‍රවුසරය ගන්න. කොහෙද ඒක ගන්න දන්න හැම දේම කළා. හරියන පාටක් නෑ.

මං ගත්තු Sony Ericsson G502 A2 මත දුවන එකක් හින්දා මේ ළඟක් වෙනතුරුම ඒකෙ filesystem එකට යන්න විදියක් තිබුණෙත් නෑ. ඒත් මේ ළඟදි වාසනාවට වගේ a2uploader කියලා මෘදුකාංගයක් නිකුත් කරලා තිබුණා. මේක පාවිච්චි කරලා ෆෝන් එකේ ෆයිල්සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මාත් රිංගුවා ඒක ඇතුළට. ඉතින් වැඩ ගොඩයි. ෆ්ලෑෂ් මෙනු ටිකක් දැම්මා, අලුත් කැමරා ඩ්‍රයිවරයක් දැම්මා… එච්චර තමයි ඉතින් 😀 මේකට වැඩිය mods නිකුත් කරලා නැහැ භාවිතය අඩු නිසා.

එතකොට තමයි ෆොන්ට් දාන අදහස ආවෙ. මුලින්ම සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක් දාලා බැලුවා. වැඩේ ගොඩ. ඒත් ඉංගිරිසි අකුරු පේන්න නෑ 😀 ඊටපස්සෙ දසුන් අයියා කිව්ව නිසා ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දැම්මා. (වින්ඩෝස් වලට එන්නෙ) එතකොට නම් මෙන්න ඉංගිරිසිත් වැඩ. ඒත් ඉතින් ජාවා වැඩසටහන් වල අකුරු මහා විසාල වුණු නිසා වැඩේ අතඇරියා.

ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා බැලුවා ඇයි මේ ජාවා වැඩසටහන් වල විතරක් සයිස් එක ලොකු වෙන්නෙ කියලා. බැලින්නම් ඒකට පාවිච්චි වෙන්නෙ වෙන ෆොන්ට් එකක්. ඉතින් මොකද කරේ ඒ ෆොන්ට් එක පිටපත් කරගෙන ෆොන්ට්ලැබ් මගින් සිංහල අකුරු ටික දැම්මා ඒකට. ඊටපස්සෙ වැඩ. දැන් සිංහල තියෙන්නෙ ජාවා වැඩසටහන් වලට විතරයි. ඒත් මදෑ.

කොහොම වුණත් වැඩේ සීයට සීයක්ම සාර්ථක නෑ. මොකද සිංහල පේන විදිය අන්තිම සවුත්තුයි. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණකයකට සිංහල පැච් එකක් ස්ථාපනය නොකර ෆොන්ට් එක විතරක් දැම්මම පේන විදියට තමා දැනට පේන්නෙ. Something is better than nothing කියන්නෙ නිකං නෙවෙයිනෙ. කලින් තිබ්බෙ කොටු ගොඩක් විතරයි. දැන් ඉතිං යන්තමට හරි කියවන්න පුළුවන්නෙ 😀 ඒත් ඉතින් සිංහල හරියට පේන්න මොකක්හරි කරන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න.

Opera Mini on G502
Opera Mini on G502
Gmail Mobile on G502
Gmail Mobile on G502

පිස්සාගේ අයිපොඩ් එක!

මොකට කියනවද ඉතින් මං අයිපොඩ් එකක් ගත්තනෙ! හික් 😀 කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි. මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක. මේක එකපාරටම ආපු හැඟීමක්. එකක් ගන්න තදටම අවශ්‍ය වුණා. කොහොම කොහොම හරි ගිගාබයිට් හතරක අයිපොඩ් නැනෝ එකක් ගත්තා දැන් දවස් දෙක තුනකට කලින්.

ඇත්තටම මේක මහ විකාර වැඩක් කියලා තමයි හැමෝම කිව්වෙ. මටත් ඉතින් තීරණයක් ගන්න‍ අමාරු නිසා දන්න හැමෝගෙන්ම ගන්නද එපාද කියලා ඇහුවා. ගොඩක් අය ඉතින් එපා කියලා තමයි කිව්වෙ. කොටින්ම කියනවනම් මල්ලිත් පැහැදිළි opinion එකක් දුන්නෙ නෑ. ඇත්තටම ඉතින් අපරාදෙ කියලත් හිතුණා. ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා. සිංගර් මෙගා එකේ තියෙනවා කියලා දැනගත්ත ගමන් ගිහින් ගත්තා එකක් 😛 මං මුලින් හිතාගෙන හිටියෙ Zen වගේ එකක් ගන්න.

ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා. ගොඩක් සිහින්. හැබැයි පිටුපස glossy ගතිය වැඩි නිසා තදට ඇඟිලි සලකුණු හිටිනවා. ගෙදර ගෙනැල්ලා වින්ඩෝස් මගින් තමයි අටවගත්තෙ. ප්‍රථම වතාවට iTunes ටිකක් වැඩිපුර පාවිච්චි කරලා බැලුවා. හැබෑටම ඒක වරදක් නෑ. මං ගාව තිබ්බෙ පරණ iTunes අනුවාදයක්. ඉස්සෙල්ලම අයිපොඩ් එකේ මෘදුකාංග යාවත්කාලීන කළ නිසා අලුත් iTunes අනුවාදයත් ගන්න සිදුවුණා.

මුල් වරට ක්‍රියාත්මක කරද්දි ඇතිවුණු හැඟීම පුදුමාකාරයි. මොකද අයිපොඩ් තිරයේ කියන්න බැරි තරම් විශිෂ්ට පෙනුමක් තිබුණු නිසා. ශබ්දයේ තත්ත්වයත් වරදක් නැහැ. මගේ ජංගම දුරකථනයට වඩා ගොඩක් හොඳ ශබ්ද තත්ත්වයක් තියෙනවා. අද පොඩි in-ear headphone එකකුත් ගත්තා. (ඒක නම් එතරම්ම හොඳ එකක් නෙවෙයි වගේ. ඒත් නුවර මේවා හොයාගන්න අමාරුයිනෙ 😛 ) කොහොම වුණත් මම උසස්ම තත්ත්වයේ ඒවා පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන කියන්න අමාරුයි.

ලිනක්ස් වලිනුත් පාවිච්චි කරලා බැලුවා. Mint මගින් හඳුනගෙන ස්වයංක්‍රීයවම Rhythmbox ක්‍රියාත්මක කළා. ලෙඩක් නැතිව ක්‍රියාත්මක වෙනවා වගෙයි 🙂

දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්. ආපු මුල් දවස් වල අයිපොඩ් නැනෝ එකේ cover flow පොඩ්ඩක් අල වෙලා තිබුණු බවක් වෙබ් අඩවි කිහිපයක දැක්කා. ඒත් මම අලුත් අප්ඩේට් එක දාපු නිසාද කොහෙද එහෙම දෝෂ දැක්කෙ නැහැ.

ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා 😆 ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො. පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.

ආ අර හිසරදය තත්ත්වය නම් අඩු වැඩි වෙනවා. කට්ටිය කියන්නෙ දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න කියලා. ඒත් යන්න කම්මැලියිනෙ 😀

වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!

වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එ‍ක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.

සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/

අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/

මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):

WordPress 2.6 Theme Preview

හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි. 😉