eBay කතා

මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ 😀 හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ.

ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං ගාව කලින් තිබුණෙ නුවරින් ගත්තු Phillips එකක්. ගාන නම් හොඳටම වැඩියි. ඒත් වෙන ගන්න දෙයක් මෙහෙ තිබුණෙ නෑ. ebay එකෙන් ගන්න අදහසක් තිබුණෙත් නෑ ඒ දවස්වල. කොහොමහරි ඉතින් ඔය ගත්තු එක ගොඩක් කල් පාවිච්චි කරා. කැඩුණා. ආයෙත් ගන්න වුණේ ඒ වර්ගෙම තමයි. 🙁

ඉතින් මොකද කරේ, හොයන්න පටන් ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. In-ear තමයි ගන්න ඕන. නැත්තං බස් එකක එහෙම යද්දි මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ, ඇහෙන්න සද්දෙ වැඩි කරාම කන් දෙකත් ඉවර වෙන එකනෙ වෙන්නෙ. ඉතින් ‍ඔහොම හොයන අතරේ හම්බවුණා Skullcandy කියල බ්‍රෑන්ඩ් එකක්. Review නම් හොඳයි. ඉතින් මුලින් තෝරගත්තු Smokin වර්ගෙ එකක් ගන්න ලෑස්ති වෙලා, ඊට වඩා Ink’d කියන එක හොඳයි කියල තිබුණ නිසා ඒකක් ගන්න හිතාගත්ත.

ඉතින් ebay එකට ගිහින් ඕක ටයිප් කරාම හෙන ලැයිස්තුවක් ආවා.  සාමාන්‍යයෙන් අඩුවට තිබුණත් ගෙන්නගන්න යන වියදම දැක්කම වැඩේ අත්හරින්න තමයි හිතුණෙ. ඊටපස්සෙ තමයි Sort by කියන කෑල්ල දැක්කෙ. ඉතින් Price + Shipping: Lowest First දුන්නා 😀 හිතේ තිබුණු චකිතය හින්ද වැඩි ආරස්සවට කියල හිතල Top-rated Sellers විතරක් පෙන්නන්න කියලත් දැම්ම.

ඉතින් හොඳ එකක් තෝරගත්තා. මිළදී ගත්තා. ඉතින් ඒ වෙලාවෙ ඇතිවුණු ජොලිය හින්ද ෆෝන් එකට කේස් එකකුත්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ර් එකකුත් ගත්තා.

Skullcandy Ink'd

දැන් ඉතින් ඕක එනකල් බලාගෙන ඉන්නත් එපැයි. කොහොමහරි ඇමරිකාවෙ ඉඳන් ඉයර්ෆෝන් එක එන්න සති කීපයක් යයි කියල හිතාගෙන හිටිය. ඒත් හරියටම සතියකින් කේස් එකයි, ඉයර්ෆෝන් එකයි එවල කියල වැටිල තිබුණ.

කොහොමහරි ඉතින් සතියකට පස්සෙ බඩු ඇවිල්ල තිබුණ. 😀

ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ කේස් එක. ඒක හොංකොං වලින් හින්ද Free Shipping. ඒකට ගියෙ රුපියල් දෙසීයක් විතරයි 😀 හොඳ තත්ත්වයක තිබුණ. හරියට ෆිට් වෙනවා. කිසිම අවුලක් නෑ.

අල වුණු ඉයර්බඩ් එක
අල වුණු ඉයර්බඩ් එක

ඊටපස්සෙ ඉයර්ෆෝන් එක. ඒක තමා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ. සති‍යෙන් ආපු එක ගැනත් පුදුමයි. ඉතින් දඩිබිඩි ගාලා (එක්කෙනෙක් නම් මේ දඩිබිඩි කියන එකට හිනාවෙනව 😛 ) ගලවල අරගෙන ෆෝන් එකට හයි කරල සින්දුවක් දැම්මා. හැක්? මේ මොකද? පැත්තකින් සද්දෙ ඇහෙනවා. අනිත් පැත්ත එහෙම්පිටින්ම අවුල්. මං ඒක අරගෙන ඉයර්බඩ් එක ගලවල බැලුවම තමයි දැක්කෙ වෙලා තියෙන දේ. ඒක තැලිල ඇතුලට ගිහින්.

එවෙලෙ ඇතිවෙච්ච හැඟීම් නම් ඉතින් කියලා වැඩක් නෑ. මාර අප්සට් එක. වීරයා වගේ ඕඩර් කරල  දැන් අලයක්නෙ හම්බවෙලා තියෙන්නෙ. මං හිමින් සීරුවෙ මල්ලිට කිව්ව ඒක අප්සට් වෙලා කියලා 😀

දැන් ඉතින් මොනව කරන්නද, අප්සට් එකේම ebay එක පැත්තට ගිහින් එවපු එක අවුල් කියල seller ට මැසේජ් එකක් යැව්වා. ඒකෙ return බාරගන්නෙ නෑ කියල තිබුණ නිසා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

කොහොමහරි ඉතින් රෑ වෙලා ඊමේල් බලද්දි පිළිතුරක් ඇවිල්ල තිබුණා.

එවපු එකට හානි වෙලා තිබීම ගැන සමාව ඉල්ලලා, මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව කියල තමයි පණිවිඩේ තිබුණෙ. ඇත්තටම එවෙලෙ නම් පුදුම හිතුණා. 😀

ඉතින් අද තමයි අලුත් එක ආවේ. මේකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නියමෙට වැඩ.

ඕක තමයි ඉතින් මගේ පළමු ebay අත්දැකීම. කොහොම වුණත් ස්ක්‍රීන් ප්‍රොටෙක්රේ නම් තාම ආවෙ නෑ. 😛

Opera Mini 5 Beta

මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ.

මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් නැතුවම නෙමෙයි. ඉතින් මේ අඩුපාඩු ටිකක් හදපු අලුත් බීටා අනුවාදයක් තියෙනව කියල දැනගත්ත. ඉතින් මොකද කරේ අනිත් වැඩ පැත්තකින් තියල ඒක දාගෙන බැලුව.

පෙනුම නම් ගොඩක් හොඳයි. කොටින්ම කියනවනම් iPhone එකේ සෆාරි වල පෙනුමට සමානයි. කලින් අනුවාදයට වඩා ගොඩක් දියුණු කරල තියෙනව. සාමාන්‍ය ඔපෙරා අනුවාදයේ එන Speed Dial එකක්, මුරපද කළමනාකරණ වැඩසටහනක්, ටැබ්ස්!!! ඒ විතරක්ම නෙවෙයි. ස්පර්ශක තිර තියෙන දුරකථන වලට තවත් පහසුකම් ලැබෙනවා.

ඉතින් අදම දාගෙන බලන්න. Opera Mini 5 Beta 😀

මෙන්න ඔබේ ආස්වාදය උදෙසා ගත්තු පින්තූර ටිකක්:

මගේ මීඩියා සෙන්ටරේ

මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් ලියන්න හිතුණා.

මේක බොහොම සරල එකක් විදියට තමයි වැඩ කරන්නෙ. අලුතෙන් මොනවත් ගත්තෙ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලම තමයි.

පරිගණකය: AMD Sempron 2500+ එකක්. (1.4GHz) – 1GB RAM, 40GB HDD (ඒකත් පරණ එකක්. හැබැයි දැනට පාවිච්චි වෙන්නෙ විස්සයි. අනිත් පාටිෂන් එකේ මැක් දාලා තියෙන්නෙ), NVIDIA GeForce FX 5200 ග්‍රැෆික් කාඩ් එකක්, සීඩී ඩ්‍රයිව් එකක් (DVD ඩ්‍රයිව් එකක් දාගන්න ‍ඕන වෙලාවක)

Bluetooth Remote
Bluetooth Remote
අනික් උපාංග: Creative 2.1 එකක් සද්ද වලට 😀 කීබෝඩ් නැතුව පහසුවෙන් පාලනය කරන්න Bluetooth ඩොන්ගල් එකක් සහ ජංගම දුරකථනය සමග මං හදාගත්තු HID Profile එකක්

මෘදුකාංග: වින්දොස් එක්ස්පී සහ XBMC

මං දැනට පාවිච්චි කරල තියෙන මීඩියා සෙන්ටර් මෘදුකාංග වලින් මං කැමතිම XBMC වලට තමයි. පහසුකම් ගොඩක් හොඳයි. ලස්සන තීම් වගයකුත් තියෙනව. ඒත් ගොඩක් ඒව හදලා තියෙන්නෙ HD වලට. ඒත් එක තීම් එකක් හම්බවුණා SD වලට හරියන විදියට හදපු. ඒ හින්ද අවුලක් නෑ. HD ඩිස්ප්ලේ එකක් තිබ්බනම් හැබැයි නියමෙට තියේවි. 😀

ටීවී එකට මේක හයි කරල තියෙන්නෙ නිකං Composite Video කනෙක්ෂන් එකකින්. ටීවී එක කොහොමත් SD හින්ද ඉතිං අවුලක් නෑ.

කරන්න පුළුවන් වැඩ: ෆිල්ම් බලන්න පුළුවන් කරදරයක් නැතුව. සිංදු අහන්නත් පුළුවන්. දැන් තියෙන කම්පියුටරේ එක්ක නෙට්වර්ක් කරල තියෙන හින්ද මේකෙ තියෙන ඒවත් කිසි කරදරයක් නැතුව බලන්න අහන්න පුළුවන්. තාම ඩීවීඩී ඩ්‍රයිව් එකක් දාලා නැති හින්ද අනික් මැසිමෙ ඩීවීඩී ඩ්‍රයිව් එකෙන් තමයි තැටි බලන්නෙ.

XBMC වලට හරියන්න හදපු HID Profile එක දැම්මට පස්සෙ ෆෝන් එකෙන් බ්ලූටූත් හරහා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි. XBMC වලට ප්ලගින්, ස්ක්‍රිප්ට් අම්බානක් එන හින්ද YouTube, Last.fm සහ විවිධ සේවා ගොඩක් ලබාගන්න පුළුවන්.

ඔන්න වීඩියෝ එකකුත් දැම්මා. මේක තියෙන තැන නම් සුද්ද කරලා දාන්න ඕන. කැලෑවක් වගේ 😀

පින්තූර:

XBMC SVN Repo Installer
XBMC SVN Repo Installer
XBMC Music
XBMC Music

Android ඔබේ පරිගණකයේත්!

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද 😀

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ 😀

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously 😛 ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

ජංගම දුරකථන කතා

ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක් 😀

G502
G502

ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා සන්තෑසියක් වුණා. බස් එකේ යන අතරතුර ඒක හොරකමකට ලක්වුණා 🙂 අප්පච්චිත් එක්ක මොකක්හරි වැඩකට යන්න‍ පේරාදෙණිය බස් එකක නැග්ග අතරතුර තමයි ඕක වුණේ. බස් එකේදි හිටගෙන ඉඳිද්දිත් සාක්කුවේ ෆෝන් එක තිබ්බ බව මතකයි. කොහොමහරි බස් එකෙන් බැහැලා ටික වෙලාවකට පස්සෙ අම්මගෙ නම්බර් එක බලන්න කියලා ෆෝන් එක හොයද්දි තමයි ඒක නැති බව තේරුණේ.

ඒ වෙලාවට එන හැඟීම මාර අමුතුයි. හදගැස්ම වැඩිවෙනව. ෆෝන් එක ඉවරයි නේද කියල හිතෙනව. හපොයි කියල හිතෙනව. ඔහොම තමයි ඉතින් 😀 මං ඉතින් අප්පච්චිගෙ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරලා බැලුවා. වෙනක කරන්න දේකුත් නෑනෙ. රිංග් වෙනව. ඒත් ගන්නෙ නෑ. ඔහොම කිහිප සැරයක්ම ට්‍රයි කරලා බැලුවා ඒත් ඒක ගත්තු භූතයා ඕෆ් කරන්න ඇති.

දැන් ඉතින් ඒක ඉවරටම ඉවරයි කියලා හිතුණු හින්ද මං මුලින්ම කරේ නෙට් කැෆේ එකකට දුවපු එක. ගිහිල්ලා මගේ ඊමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ඔක්කොගෙම මුරපද ටික වෙනස් කළා. ඊටපස්සෙ කෙලින්ම මොබිටෙල් එකට දිව්ව. එවෙලෙම සිම් එක අක්‍රිය කරලා දාලා රුපියල් සීයක් දීලා එවෙලෙම ඒ අංකයටම සිම් එකක් ගත්ත. ඊටපස්සෙ ෆෝන් කඩ දෙක තුනකට ගිහිල්ල බැලුව K850 එකක් හොයාගන්න තියෙයිද කියලා. තිබ්බෙ නෑ. ඉතින් ඔහොම කැරකි කැරකි ඉඳලා අප්පච්චිගෙ යාලුවෙක් ගාවට ගියා. එයා දන්න තැනකට කතාකරල ඒ පැත්තට ගිහින් බලද්දි වෙලාවට තිබ්බ බඩු. ඉතින් K850 එකත් අරගෙන ආවා ගෙදර.

ඉතින් දුකයි සතුටයි මිශ්‍ර වුණු හැඟීමක් තමයි තිබ්බෙ. කලින් එක නැතිවුණු එක ගැන නම් ගොඩක් දුකයි. හොඳ ෆෝන් එකක්. හොඳට වැඩ කරා. එතරම් හොඳ කැමරාවක් නොතිබුණත් ගොඩක් හොඳ පින්තූර ගොඩක් ගත්ත. අවශ්‍ය හැම මොහොතකම හොඳින් සේවය ලබාදුන්නා.

ඉතින් අලුත් එක ගෙදර ගෙනත් MyPhoneExplorer එකේ පිහිටෙන් පරණ පණිවිඩ, දුරකථන අංක ආදිය ආයෙමත් අලුත් එකට හුවමාරු කළා. Sony Ericsson වලට මං ගොඩක් කැමති වෙන්න හේතුවක් තමයි මේ වැඩසටහනත්.

මේකෙ 5mp කැමරාවක් සහ xenon ෆ්ලෑෂ් එකක් තියෙන හින්ද මං මේකට දැන් ගොඩක් කැමතියි. ඡායාරූප වුණත් නරකම නෑ. හැබැයි කලින් එකේ තරම් saturation නැති හින්ද වෙන camdriver එකක් දැම්ම. දැන් නම් අවුලක් නෑ.

ඉතින් ඊයෙ මේකෙත් පොඩි ලෙඩක් ආව. ඉස්සරහ ස්පීකරේ වැඩ කරන්නෙ නැතුව ගියා. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවත් හරියන පාටක් නෑ. ඉතින් හවස් වෙලා ගියා ගත්තු තැනටම හදාගන්න පුළුවන්ද බලන්න. එතනට යනකොට ගොඩක් හවස් වුණු හින්දා එතන අය කිව්වෙ නැතෑ හෙට උදේට එන්න කියලා. ඉතිං කොරන්න දෙයක් නෑනෙ. ආයෙමත් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අතපත ගගා ඉන්නකොට මෙන්න ඒක වැඩ කරන්න ගත්ත!

හික් බස් එකේ අම්බානක හිරවෙලා දාඩිය පෙරාගෙන පැයක් විතර කාලේ නාස්ති කරේ අපරාදෙ කියලා හිතුණා. මොනව කරන්නද ඉතින් ඔහොම තමා ජීවිතේ. 😀

අදට මෙච්චරයි.