නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.

මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.

Prey

ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

Prey Report

එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam

පාවිච්චි කරලා බලන්න 🙂

[Prey]

Android ඔබේ පරිගණකයේත්!

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද 😀

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ 😀

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously 😛 ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!

වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එ‍ක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.

සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/

අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/

මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):

WordPress 2.6 Theme Preview

හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි. 😉

EnSiTip Beta for Firefox 3 is here!

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta

යුනිකෝඩ් -> අභය පරිවර්තකය

LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා.

FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල දැනට ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම ෆොන්ට් එකතුව. ලිනක්ස් වලදී මේ ෆොන්ට් වලින් ටයිප් කිරීම කලින් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් මේ මගින් ලිනක්ස් වලදී අභය වැනි ෆොන්ට් යොදාගෙන ටයිප් කිරීමත් පහසු වෙනවා. ඒ වගේම යුනිකෝඩ් වලින් ලියූ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් මුද්‍රණ කටයුතු වලට යොදාගන්නට පුළුවන් වේවි. මේක අටවගන්න හිතුණෙ පහුගිය දවස්වල මාත් කුබුන්ටු දාගත්ත නිසා 😀

මෙතැනින් පිවිසෙන්න: http://converter.malinthe.com

මෙය FMAbhaya ආකා‍රයේ වෙනස් ෆොන්ට් සඳහාත් (FMMalithi, FMBindumathi, FMBasuru ආදිය) සඳහාත් පහසුවෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්. අකුරු ටික කොපි කරගෙන ෆොන්ට් එක මාරු කළාම හරි.