ඊයේ නියම දවසක්!

මේ දවස් දෙක තුනකට හිටු කියලා ලියනව මං 😀 අදත් ලියන්න යන්නෙ ඊයෙ වුණු සිදුවීම් ගැන (දෙසැම්බර් 19, 2009) ඉතින් ඊයේ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙන් සංවිධානය කරපු පළමු සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම තිබුණෙ. මේක පැවැත්වුණෙ එක්සෙල් ලෝකයෙ.

ඉතින් කලින් දවසෙ මොබිටෙල් එකෙන් ගත්තු ටිකට් එකත් අරගෙන උදේම ගියා ස්ටේසමට. Deeps ටත් ටිකට් ගන්න කලින් දවසෙ පැය ගානක් ට්‍රයි කරා. ඒත් සම්පත්නෙට් එකේ තියෙන ලොකු අල කීපයක් නිසා අන්තිමට ඒ වැඩේ හරිගියේ නෑ. උදේ ඇවිල්ල ටිකට් ගන්න හිටියත් ඒ වැඩෙත් හරිගියෙ නෑ. ඉතින් අන්තිමට deeps බස් එකේ ආවෙ. මං ඉතිං දුම්රියෙ ගියා. ‍ඉතින් ඔහොම යන අතරතුර හුරුපුරුදු මූණක් දැක්ක. බැලින්නම් ඒ ප්‍රභාෂ්. ඉතින් පොරත් එක්ක කතාකර කර ආව කොළඹට. අතරමගදි දුම්රියේ තියෙන භෝජන රථයෙන් කිරි තේ සහ ප්ලේන්ටි බිව්වා 😀

එළ තේ!
එළ තේ!

ඉතින් අපි කොටුවට ආවට පස්සෙ ප්‍රභාෂ් හවස තියෙන දුම්රියට ටිකට් ගන්න බැලුවා. ඒත් අපට කවුන්ටරේ හොයාගන්න බැරුව ඒ වැඩේ අතඅරින්න වුණා. 😛

Deeps ගෙ බස් එක පරක්කු හින්ද මමයි ප්‍රභාෂුයි අන්තිමට එක්සෙල් ලෝකෙට ආව. අපි එනකොට වැඩිය කට්ටිය ඇවිල්ල හිටියෙ නෑ. කොහොමහරි ටික වෙලාවකින් බුද්ධික අයියයි සූ අක්කයි ආව. ඉතින් අපි කට්ටියම ගිහින් උපකරණ උස්සගෙන එනකොට කාලිංග, තිලිණ, ඉන්දරේ ඇතුළු කට්ටියත් ආව.

ඉතින් අපි උපකරණ ටික අටවන්න පටන්ගත්තා. මේ වෙනකොට අපේ මිත්‍රයො ටික ටික එන්න පටන් අරගෙනයි තිබුණෙ. Deeps ටික වෙලාවකට පස්සෙ ආවෙ.

පුටු කැමරාව සහ විකාශන මෙහෙයුම් පුටුව
පුටු කැමරාව සහ විකාශන මෙහෙයුම් පුටුව

ඉතින් හමුවීම ලයිව් ස්ට්‍රීම් කරන්න ustream එකේ එකවුන්ට් එකක් හැදුව. මට වැරදිලා වැරදි ලින්ක් එක ට්විට් කරල පස්සෙ තමයි දැක්කෙ 😀 ඉතින් අන්තිමට හරි එක දාල, වෙබ්කැම් එකක් පුටුවක් මත අටවල තමයි සජීවි විකාශය දුන්නෙ. පුටු කැමරාව එහාට මෙහාට කිරීම ප්‍රභාෂ් බාරගත්ත. කොහොමහරි ස්ට්‍රීම් කරන ගමන් රැකෝඩ් කරගත්ත. කොලිටිය නම් ටිකක් අඩුයි ඒ වුණාට එතරම්ම අවුලක් නෑ. තව මයික් දෙක තුනක් තිබ්බනම් හැමෝම කතාකරන ඒව හරියට පටිගත කරගන්න තිබුණ. ලබන සැරේ ඒ අවුල් හදාගන්න බැරියැ. මෙන්න මෙතනට ගියානං අපි රැකෝඩ් කරපු වීඩියෝ කීපයක් බලන්න පුළුවනි.

මෙහෙයුම් මේසය

ඉතින් කොහොමහරි හමුවීමේ වැඩකටයුතු ටික නියමෙට සිද්ධ වුණා. කාලිංග සංසදේ අරමුණු ආදිය ගැන පැහැදිළි කළා. බ්ලොග්කරුවෝ තමන්ගෙ බ්ලොග් ආදිය ගැන හැඳින්වීම් කළා. දසුන් යුනිකේත ගැන කෙටි පැහැදිළි කිරීමක් කළා. ඔය විදියට ඉතින් වැඩසටහන ගලාගෙන ගියා. මං සුපුරුදු පරිදි පොටෝ අම්බානකුත් ගත්ත.

ඒ කටයුතු අහවර වුණාට පස්සෙ කට්ටිය කන්න ගියා. ඒකත් ලේසි වුණේ නෑ 😀 සෙනසුරාද හින්ද සෙනග වැඩියි. වාඩිවෙන්න තැන් අල්ලගත්තෙත් බොහොම අමාරුවෙන්. කොහොමහරි ඒකත් ඉවර කරලා ගෲප් පොටෝ කීපෙකුත් ගත්ත.

මේ ක්‍රමයේ දෝස

ඉතින් මට කෝච්චිය අල්ලන්නත් යන්න තිබුණු හින්ද මමයි ප්‍රභාෂුයි deeps මකරයි කට්ටියගෙන් සමුගෙන පිටත් වුණා. බස් එකේ යන අතරමග ආයෙමත් චෙක් කරන්න නවත්තපු හින්ද කෝච්චිය මිස් වෙයි කියල හිතුණ. ඒත් කොහොමහරි වෙලාවට ආව. අනිත් කට්ටිය බස් එකකින් පිටත් වුණා.

නුවරට එනකොට හවස් වෙලා. deeps ලා එතකොටත් බස් එකේ. නුවරට වැස්ස. කුඩයකුත් නොතිබුණු හින්ද වැස්සෙ තෙමි තෙමිම බස් එක තියෙනවද බලන්න ආව. සෙනග වැඩි හින්ද ඩෙවෝන් එක පැත්තට ගිහින් කෝපි එකකුත් බීල (තේ නෙවෙයි) ආයෙ ආව බස් තියෙනවද බලන්න. එතකොට තව එකක් ඇවිල්ල. ඒකෙ නැගල ගෙදර ආව.

ගත්තු පොටෝ අප්ලෝඩ් කරන්න ටික වෙලාවක් ගියා මොබිටෙල් අල හින්ද. ඒක තාමත් එහෙමම තමයි. අද උදේ නම් මොබිටෙල් එකේ ඉංජිනේරුවක් කතාකරල අල හරිද ඇහුව. ඒත් වෙනසක් නෑනෙ. දැනුත් අප්සට් හින්ද මේ ඩයලොග් ප්‍රීපේඩ් එකකින් සම්බන්ධ වෙන්නෙ. මේක නම් නියමෙට වැඩ. හිතුණොත් මොබිටෙල් එක විසිකරල ඩයලොග්ම පාවිච්චි කරනව 😀

එහෙම තමයි ඉතින් දවස. හැබැහින් නොදැකපු යාලුවො ගොඩක් මුණගැහුනු එක ගැන ගොඩක් සතුටුයි. කතාබහ කරල දැන අඳුනගෙන… මීට කලින් අන්තර්ජංජාලෙන් කතා කරපු අය හැබැහින් හම්බවුණාම කොච්චර සතුටක්ද 🙂 වැඩසටහන ගැන වැඩි දෙයක් ලිව්වෙ නෑ මොකද මේක කියවන ඔක්කොම වගේ ආපු නිසා 😉 ෆොටෝ නම් එකසිය ගානක් ගත්තා. ඔක්කොම මෙතන දාන්න බැරි එකයි අවුල. ඒ හින්ද තෝරගත්ත දෙක තුනක් විතරයි දැම්මෙ. ඒ වුණාට ඔක්කොම මෙතැනින් බලාගන්න පුළුවනි.

අපි! පොටෝ එක හසිතගෙන්

මොබිටෙල් ටිකට්, දේශපාලන රැලි සහ ප්‍රවාහන අල

අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ.

ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා ගාස්තුවකුත්, ඒ ගන්න කෝල් එකට විනාඩියකට රුපියල් අටකුත් ගෙවන එක ටිකක් අප්සට් වගේ කියලා හිතුණා. ඒ වුණාට මේක ට්‍රයි නොකර බෑනෙ. ඉතින් මොකද කරේ ඒ නම්බර් එකට කෝල් එකක් අරගෙන හොයල බැලුව.

මං මුලින් හිතුවෙ මේකෙ ඇත්තෙ මොකක්හරි ස්වයංක්‍රීය පද්ධතියක් වෙන්න ඇති කියලා. බලාපොරොත්තු වුණේ ස්වයංක්‍රීය පද්ධතියකින් ටිකට් එක වෙන් කරලා mms මගින් වගේ ටිකට් එක ‍දුරකථනයට එන මොකක්හරි… එහෙම විදියක් තිබ්බ නම් නියමයි. ඒත් මේකෙ ටිකට් එකක් වෙන්කරගන්න නම් පාරිභෝගික සේවා නිළධාරියෙකුට කතාකරන්න ඕන. කොහොමහරි ගත්තු එකේ නිකන් ඉන්න බැරි හින්ද විස්තර ටිකක් ඇහුව. ඒ අස්සෙ ක්‍රෙඩිට් ඉවරවෙලා කෝල් එක කට් වුණා 😀

ඉතින් මේ සෙනසුරාදා කොළඹ යන්න වෙන හින්ද ජොලියටත් එක්ක මේකෙන්ම ටිකට් එක වෙන්කරගන්න හිතුණා. අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන ඒකෙන් කතාකරා. කොහොමහරි වැඩේ හරි. ටිකට් වෙන් කළා. දුරකථන අංකයයි, අයිතිකාරයගෙ නමයි අරව මේවයි, ටිකට් එක ගන්න එන එක්කෙනාගෙ හැඳුනුම්පතේ අංකයයි… ඒ ටිකත් දුන්න. කතාකරපු නිළධාරිනිය එකම දේ කිය කිය ටික වෙලාවක් හිටියා. ඒගොල්ලන්ට නම් මොකද, අපට‍නෙ ඕවට තදවෙන්නෙ. විනාඩියකට අටක්නෙ 😀

කොහොමහරි වෙන් කරල ඉවර වුණාට පස්සෙ අංක දෙකක් ලැබුණ. ඔය අංකය ගෙනිහිල්ල මොබිටෙල් ශාඛාවකින් හරි දුම්රිය ස්ථානයෙන් හරි ටිකට් එක ගන්න ඕන.

DSC06294
තදබදේ

ඉතින් අද උදේම යන්න කියලා හිතාගෙන හිටියෙ ඊයෙ කොණ්ඩෙ කපාගන්නත් එක්කම. දවල් ජනාධිපතිවරණ රැලියක් තියෙන හින්දා ඒකට කලින් ගෙදර එන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ වුණාට අද නැගිටින්න පරක්කු වුණා. කොහොමහරි දවල් වෙලා තමයි ගෙදරින් පිටත් වුණේ. වැව රවුම හරියෙ ඉඳන්ම වාහන තදබදේ. කොළ පාට කොඩි ගහපු බස් කීපයකුත්, ආධාරකරුවො කට්ටියකුත් දැක්කා. බන්ධනාගාරය හරියට එනකොට තවත් කොළ පාට බස් එකක්. තදබදය වැඩියි. මාකට් එක හරියට ඇවිදගෙන එනකොට රතිඤ්ඥා, පෙළපාලි ආදිය තිබුණ. මට ඉතින් ඕවගෙන් වැඩක් නැති හින්ද නරඹන්නො අතරින් රිංගලා KCC එක පැත්තට ගියා.

DSC06295
මොබිටෙල් ටිකට්

කොහොමහරි මොබිටෙල් එකට ඇතුල් වෙනකොට සිකියුරිටි බුවෙක් මගෙන් ඇහුවා සර් මොකක්ද කරගන්න ඕන කියලා. මං කිව්ව ‘ට්‍රේන් ටිකට්’ එක ගන්න ඕන කියල. මේ මනුස්සයා අන්දමන්ද වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්නවා. ‘ට්‍රේන් ටිකට්? සර් මෙහෙන් ඒව ගන්න බෑනෙ’ කිව්වෙ නැතෑ. මං ඉතින් ෆෝන් එක පෙන්නලා ‘ඇයි දැන් ෆෝන් එකෙන් බුක් කරන්න පුළුවන්නෙ’ කියල කිව්ව. මේ මනුස්සය තාම අන්දමන්ද වෙලා. ඊටපස්සෙ එතන හිටපු මැනේජර් කෙනෙකුටද කොහෙද කතා කරල ඇහුව ‘සර් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්ද?’ කියලා. ඒ මනුස්සයා මගෙ ළඟට ඇවිත් ‘පුළුවන් සර් අන්න අතනට යන්න’ කියල කිව්වා. මං ඉතින් කවුන්ටර් එකට යන අතර මැනේජර් (හරි කවුරුහරි) සිකියුරිටි බුවාට කියනව ඇහුණා ‘දැන් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්නෙ’ කතාවක්. හිත යටින් හිනාවෙවී කවුන්ටරයට ආව. එතන මනුස්සයට කිව්වට පස්සෙ තව කවුන්ටර් එකකට දැම්ම. එතැනින් අයිඩී එකයි, යොමු අංක දෙකයි ඉල්ලගෙන කොහාටද ගිහින් මෙන්න මේ සුවිසල් ටිකට් දෙක ගෙනල්ල දුන්න 😀

ඉතින් ඒකත් සාක්කුවේ ඔබාගෙන ටවුමෙ පොඩි රවුමක් ගහල, ආදි කාලෙ ෆෝන් එකක් හොයන්න ට්‍රයි එකකුත් දීල, ලේසර් ප්‍රින්ටර් වල ගණන් ටිකක් හොයාගෙන, අම්මලවත් හම්බවෙලා ගෙදර එන්න ලෑස්ති වුණා. වෙනදා බස් තියෙන තැන අද බස් නෑ. මාකට් එක ඉස්සරහ රැලිය. කට්ටිය හුරේ කියනව කෑගහනව etc. මට ඉතින් ඒවගෙන් වැඩක් නෑනෙ. අවශ්‍යතාවය ඉක්මණට ගෙදර එන්න. ඉතින් බස් තියෙන්නෙ කොයි ලෝකෙද කියලා හොයන්න දේශපාලන සපෝටර්ලා අස්සෙන් රිංගලා ආවා බන්ධනාගාරය පැත්තට. ඔක්කොම බස් ඒ පැත්තෙන් යන්නෙ. ඒත් නවත්තන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරිවුණා. අව්වයි, රස්නෙයි, දාඩියයි! මෙහෙම උඩ බලාගෙන ඉන්න බැරි හින්ද ත්‍රීවීලර් බුවෙකුට කතාකරල ඒකෙ නැගල ගෙදර ආවා. නැත්තං තාම ටවුන් එකේ 😀

මේ දවස් වල ජීවිතේ

කොහොමද ඉතින්? ආයෙමත් මේ ලියන්නෙ බොහොම කාලෙකට පස්සෙ. පහුගිය දවස් වල පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියෙ. ලියන්න දේවල් කොච්චර තිබුණත්, වැඩ කටයුතු හින්ද ලියන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ලියන්න තරම් හිතක් තිබුණෙත් නෑ. ඉතිං දැන් ඕන එකක් කියලා ලියන්න කල්පනා කරේ. අද ටිකක් සනීපත් නෑ. උණ හෙම්බිරිස්සාව අරව මේව තමයි. මේ දවස් වල ඒව හැදෙන එකත් ටිකක් අප්සට්නෙ. බෙහෙතුත් අරගෙන ආවා.

DSC05886සුදාරක මල්ලිලගෙ සාහිත්‍ය උළෙල ගැන ලියන්න හිතාගෙන හිටිය. ඒත් ලියන්න ලැබුණෙ නෑ. ඒ ගැන නම් කවුරුවත් දන්නවා ඇති. ෆේස්බුක් එකට ෆොටෝස් එහෙමත් දාල තිබුණනෙ.

eAsia ගැන ලියන්නත් හිටිය ඒත් බැරිවුණා. ඒකෙත් හැබැයි ෆොටෝ තොගයක් ගත්තා, ෆේස්බුක් එකේ තියෙනව දකින්න ඇති.

IMG_0293කොහොමහරි ඒ දෙකම නියම අත්දැකීම් වුණා. හැබැහින් නොදැකපු යාලුවෝ ගොඩක් හම්බවෙන්න ලැබුණු එක හිතට ලොකු සතුටක්. නියම දවස් ටිකක් 🙂

මොබිටෙල්, කාලෙකට පස්සෙ අල ගොඩක් භාජනය වුණා. දිගින් දිගටම පැමිණිලි කරාට හරියටම ගැටලුව විසඳුවේ නෑ. කොහොමහරි අද ඉඳලා සම්බන්ධතාවය idle වෙලාවට WCDMA වලත්, සම්බන්ධතාවය භාවිතා වෙනකොට HSDPA වලටත් මාරුවෙනවා. මේක හින්දවත් ගැටලු විස‍ඳෙයිද කියලා බලමු. අද නම් එච්චරම අවුලක් පේන්න නෑ.

ගූගල් වේව් එක පැත්ත පළාතෙ ගියේ නෑ කාලෙකින්. කොහොමහරි තව ආරාධනා 18ක් දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න 😀

මදැයි, මුකුත් ලියන්න හිතෙන්නෙත් නෑ. ආයෙ ලියන්න හිතුණොත් ලියනවා. දැනට මෙච්චරයි 😀

දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!

DSC05814 කාලෙකට පස්සේ දුම්රියක යන ගමන් බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුණෙ. උදේ පාන්දරම නැග්ග කොළඹ එන්න. සුදාරක මල්ලි‍ලගෙ ‍සාහිත්‍ය උළෙලට එන්න කියල. කියන්න තරම් විශේෂ දේවල් මුකුත් නෑ, අද අව්ව නම් හොඳට පායලා තියෙනවා. පාන්දරම ඇහැරුණු හින්ද පොඩි නිදිමතකුත් නැත්තෙම නෑ, ඒත් අද නම් නින්ද ගියේ නෑ වැඩිය.

උදේ නැගිටපු‍ වෙලාව ඉඳන් නුවරින් පිටට එනකල්ම මොබිටෙල් ජංජාලය වැඩ කරේ නෑ. සම්බන්ධ වුණත් කිසිම දත්ත හුවමාරුවක් නොවෙන හින්ද එපාවෙලා හිටියෙ. කොහොමහරි දුම්රිය නුවරින් පිටට ආවම මේක හරියට වැඩ කරන්න පටන්ගත්තා‍.  ඔය තියෙන්නෙ ප්‍රතිඵලය තමයි. ගත්තු තැන නම් මතක නෑ. කොහොම වුණත් තවමත් හවස් වෙනකොට මොබිටෙල් පිස්සු නටන එක නැවතිලා නෑ. හදනවා කියල ආරංචියක් නම් ආවා. ඒත් දැනට නම් වෙනසක් නෑ. තිබ්බටත් වඩා අල වෙලා කියන්න පුළුවන් 😀

කොහොමහරි, ගූගල් වේව් ගැන දැන් නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ. පාවිච්චි කරල බලන්න උද්‍යෝගයෙන් හිටියත් අන්තිමට ලැබුණට පස්සෙ එතරම් වැඩක් නෑ කියල හිතුණ. ඒ දවස්වල ටිකක් වේගයෙන් වැඩකරපු එක දැන් පුදුම විදියට ගාටනව. මොනවහරි ටයිප් කරන්න ගියත් ඒකට යන වෙලාව දැක්කම වේව් දමල ගහන නිකං ඉන්නයි හිතෙන්නෙ. ‍ඒ වුණාට වේව් එකේ ලිනක්ස් ගැන එහෙම හොඳ සංවාදයක් ගිහිල්ල තිබුණ. මේක චැට් කරන්න යොදාගන්නෙ නැත්තං හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙයි 😀 මොනව වුණත් ඔක්කොටම කලින් මේකෙ තියෙන අල ටික ගලවන්න වේවි.

ඉතින් මට කාවවත් වේව් වලට ආරාධනා කරන්න බැරුව හිටියෙ මොකද ගූගල් එකෙන් මට ඉන්වයිට් දීල තිබුණෙ නැති හින්දා. කොහොමහරි මේ ඊයෙ පෙරේදා ඒ වැඩෙත් හරිගිහිල්ල තිබුණ. ට්විටර් එකෙන් ඉල්ලපු කීප දෙනෙකුටත් දුන්න. දැන් කොහොමහරි දොළොස් දෙනෙකුට ගූගල් වේව් ආරාධනා ලබාදෙන්න පුළුවන්. රැල්ලත් එක්ක ගහගෙන යන්න ඕන නම් 😀 නෑ නෑ ගූගල් වේව් හෙවත් රැල්ල ඕන නම් ඉතින් පහළින් කමෙන්ට් එකක් දාන්න.

The Fall of Mobitel?

ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි 😉 කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ.

අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් තිබ්බ ජාල අල ගොඩකුත් පැමිණිලි කිරීම් වලින් පස්සේ විසඳුවා. ඉතින් මොකද දැන් මේ ආයෙමත්‍ මොබිටෙල් ගැන ලියන්නෙ? මගේ ට්විටර් එක එහෙම බලන අය නම් දන්නවත් ඇති දැන්. මොබිටෙල් ආයෙමත් අල වෙලා! දැන් Youtube පැත්තෙ ගිහින් විඩියො එකක් බලන්න ලෑස්ති වුණේ. විඩියෝ බැලිල්ල තියා පිටුවවත් හරියට ලෝඩ් වෙන්නෙ නෑ. ඉතින් ටිකක් තරහ ගිය නිසා මේක ලියල දාන්න හිතුවේ.

සාමාන්‍යයෙන් උදේට තරමක වේගයකින් සම්බන්ධතාවය වැඩ කළත් හවස හයෙන් පස්සේ නම් මේකෙ කිසිම දෙයක් කරන්න බැහැ. බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් කියල හිතන්නවත් බැරි තරමට මේකෙ වේගය අඩු වෙනවා. නිකං ඩයල් අප් වගේ. සමහර වෙලාවකට හිතෙනව ඩයල් අප් මීට වඩා හොඳයි කියලා 😀

ඉතින් මේ පාරත් පැමිණිලි කළා. ඉංජිනේරු අංශයෙන් දෙතුන් පාරක් කතාකරලා විස්තර ඇහුවත් තවම නම් කිසිම විසඳුමක් පැත්ත පළාතකවත් නෑ. හවස් වෙනකොට මේක රීඩයල් කරන එකයි, පිටු refresh කරන එකයි තමයි වැඩේ.

mobitelටික දවසකට කලින් මේ පැත්තෙ ඉන්න යාලුවෙකුත් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තා. ඒත් මේකෙ අල හින්ද එයාගෙ වැඩෙත් මේකට බනින එක තමයි. දවසක් එකම තැනක තියල සම්බන්ධතා දෙක පරිගණක දෙකකින් ක්‍රියාත්මක වෙද්දි, මගේ එක තරමක් වේගයෙන් වැඩ කරත් ඒකෙ වේගය ගොඩක් අඩු තත්ත්වයක තිබුණ. එවෙලෙ කතා කරල පැමිණිල්ලක් දැම්ම, ඊටපස්සෙ මොනව වුණාද කියල නම් තාම දන්නෙ නෑ.

කොහොම කොහොම හරි මේ දවස්වල මොබිටෙල් පාවිච්චි කරන හැමෝගෙන්ම වගේ ඇහෙන්නෙ මැසිවිලි තමයි.

ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ මේ ළඟකදි ඉඳන් දෙන අලුත් උපහාර පැකේජ මේකට බලපානවා ඇති කියලයි. එක සම්බන්ධතාවයකට තවත් සම්බන්ධතා ගොඩකුත්, දත්ත සම්බන්ධතාවයකුත් තමයි මට මතක හැටියට මේ දවස්වල දෙන්නෙ. මං දන්න ගොඩක් උපහාර පාවිච්චි කරන අය මේවා ගත්තා කියල ආරංචියි. ජාලයට දරන්න බැරි තරම් සම්බන්ධතා දෙනකොට ඒක අල වෙන එක පුදුමයක් නෙවෙයිනෙ 😀

එහෙම තමයි ඉතින් මේ දවස් වල තොරතුරු. මොබිටෙල් අල. මෙච්චර දවස් හොඳට තිබ්බ ජාලෙට මක් වුණාද?