විභාගේ සහ අලුත් අඩවි

ඔන්න ඊයේ විභාගෙත් ඉවර වුණා. ලිව්වට ටිකක් අප්සට් වගේ. කරන්න දෙයක් නෑනෙ. 😀 අද ඉතින් ගියා කොළඹ අලුත් වෙබ් අඩවි දෙක දියත් කරන්න. දියත් කිරීම ගැන විස්තර පසුව කියන්නම්. දැන් නම් මාර මහන්සියි. ගෙට ගොඩ වුණු ගමන් 😀 හොඳවැයින් තේකක් බොන්නයි යන්නෙ. එතකල් අලුත් අඩවි දෙකට ‍ගිහින් එන්න. මැගී ආච්චිගේ හෑල්ල සහ Lankacomics

වැස්ස

ඔන්න ඉතින් අද පන්ති ඉවරවුණා. දැන් ඉතින් අඟහරුවාදා විභාගෙ. සමහරක් ඒවා හරියකට පාඩම් කරලත් නෑ ඒත් ඉතින් මක් කොරන්නද 😀

පහුගිය දවස් ටිකේම රස්නෙයි රස්නෙයි කිය කිය හිටියා මතක ඇතිනෙ. ඔන්න ඉතින් අද ඒකට හරියන්න වැස්සා නියමෙට. හැමදාම පෝරණුවක් වගේ රස්නෙ හින්දා කුඩ ගෙනියන්නෙත් නෑ. පන්තිය ඉද්දි තමයි වැස්ස පටන්ගත්තෙ. අද හවස් වෙනකල්ම තිබ්බ හින්දා හිතුවෙ ඉවර වෙනකොට වැස්ස ටිකක් අඩුවේවි කියලා. මොන?

මක් කොරන්නද ඉතින් පන්තියෙන් එළියට එනකොටත් අපරාදෙ කියන්න බෑ හොඳට වහිනවා. මට ආයෙ ඔතනට වෙලා උඩ බලාගෙන ඉන්න කම්මැලි නිසා ඕන කෙහෙල්මලක් කියාගෙන ආවා පාරට. තෙමි තෙමී ඇවිදගෙන ආවා. මං සාමාන්‍යයෙන් පයින්ම ටවුමට යන්නෙ හැමදාම. ඒත් ඉතින් වැස්ස ටිකක් තද හින්දා බස් එකකට නැග්ගා.

වෙන ඉතින් ‍විසේස දෙයක් නෑ. මගෙ පෙරගෙවුම් සම්බන්ධතාවයෙන් ගිය මාසෙ මෙගාබයිට් විස්සකට වැඩිය ඩවුන්ලෝඩ් කරපු හින්දා මේ මාසෙට මෙගාබයිට් 200ක් නොමිලේ ලැබිලා. ඉතින් ලෝබ නැතුව අරහෙ මෙහෙ යන ගමන් ඊමේල් බලන්නයි ebuddy හරහා චැට් කරන්නයි පුරුදු වෙලා.

වෙන ඉතින් ලියන්න විසේස දෙයක් නෑ. ළඟදිම අලුත් වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න 😀

මෙහෙයුම් පද්ධති යුද්දේ සහ Zoundry

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙ මෙහෙයුම් පද්ධති එක්ක හෙණ යුද්දයක් කරන්න වුණා නොවැ. මේකයි වුණේ. පෙරේදා (ද ඊට කලින් දවසෙද? හරියටම මතක නෑ) වින්ඩෝස් ක්‍රියාත්මක කරලා අන්තර්ජාලෙට සම්බන්ධ වෙන්න හැදුවා. කොහෙද හරිගියේ නෑනෙ. මොකක්ද අල ලෙඩක් ආවා. ගොඩදාන්න දන්න සෙල්ලං ඔක්කොම දැම්මා ඒත් හරිගියේම නෑ. අන්තිමට දාපු සෙල්ලමත් එක්ක තිබුණු ‍ජනේලේ එහෙමපිටින්ම අල පාත්තියක් වුණා. හපොයි ඉතින් මක් කොරන්නද. එදා ඉතින් තිබ්බ වැඩ ටික එතැනින් කරගෙන ආයෙ මින්ට් එකට ඇවිත් ජාලෙට සම්බන්ධ වෙලා අවශ්‍ය කටයුතු කරගත්තා. (මින්ට් එකට නම් පින්සිද්ද වෙන්න ඕන මේ දුන්නු සහයෝගෙට 😛 )

ඉතින් දවසේ වැඩ ඉවර වෙලා ලෑස්ති වුණා වින්ඩෝස් ගොඩ දාන්න. රෙපෙයාර් එකක් දැම්මා. හපෝයි මෙන්න 34 දෝසය ආවා. (මිනිත්තු 34 දී හිරවීම) ඒකටත් ඉතිං දන්න කියන ඔක්කොම කරලා බැලුවා ඒත් හරිගියේ නෑ. 🙁

අන්තිමේදී ඉතින් කරන්නම දෙයක් නැති හින්දා අකමැත්තෙන් වුණත් නැවත මුල ඉඳන් ස්ථාපනය කරන්න තීරණය කළා. Documents and Settings ඔක්කොම ටික වෙන තැනකටත් පිටපත් කරගත්තා මින්ට් පාවිච්චි කරලා. ඊටපස්සෙ වෙනසකටත් එක්ක කියලා දැම්මා විස්ටා. 😀 එතරම්ම අවුලක් වුණේ නෑ ඒත් කොච්චර වුණත් එක්ස්පී නැතුව බැරි නිසා (සහ විස්ටා මගේ මැසිමෙ ඉබි ගමනින් යන හින්දා) නැවතත් එක්ස්පී දාන්න ගියා. ඒ පාර ස්ථාපනය වෙන්නෙ නෑ තැටියෙ ලෙඩක් වගෙයි. දෙතුන් පාරක් ට්‍රයි කරලා පරණ තැටියකිනුත් දාන්න බැලුවා. ඒත් පරණ එකෙන් දාන්න බෑ මොකද මගේ දෘඪ තැටිය ඒකෙන් අඳුනගන්නෙ නැති හින්දා. අලුත් තැටියට nlite භාවිතයෙන් ඩ්‍රයිවරය දාලා තිබ්බෙ. ඉතින් ඒකත් හරිගියේ නැති තැන නිකමට වගේ මින්ට් එකට ගිහින් තැටිය සුද්ද කරලා ආපහු දාන්න ගත්තා.‍ මෙන්න බොලේ වැඩ! 😀

ඉතිං ආපහු ඔක්කොම ස්ථාපනය කරලා යාවත්කාලීන කරලා ඔන්න දැන් අවුලක් නැතුව වැඩ. හැබැයි මේ අල ජංජාලය හින්දා පොඩි දේවල් ටිකක් ඉගෙනගන්නත් ලැබුණා. එකක් තමා dualboot තියෙද්දි ආපහු වින්ඩෝස් දාලා මින්ට් වලට යන්න බැරිවුණු නිසා live තැටියකින් grub පරණ තත්ත්වයට ගන්න හැටි. (http://ubuntuforums.org/showthread.php?t=224351)

මේක ලියන්නෙ Zoundry වල ඉඳන්. පේන හැටියට නම් හොඳයි වගේ. අපේ මිත්‍ර මධුරංගගෙ නිර්දේසයක් නොවැ 😉

ම් මං දැන් මේ පළතුරක් කමින් හිටියෙ. මේකට කියන්නෙ කාබරංකා (ද කොහෙද) මං අහලා තියෙනවා විදි දෙක තුනකටම කියනවා. අත්තම්මා එහෙම කියන්නෙ මෙහෙම තමා. මේක නම් පැණි රසයි. නියමයි 😀 (පින්තූරේ සුළු වශයෙන් අප්සට්. ෆෝන් එකෙන්නෙ ගත්තෙ. අඳුරු තැන් වල ගන්නකොට මේක අන්තිමයි. හැබැයි හොඳට ආලෝකය තියෙනකොට නම් එතරම් අවුලක් නෑ.)

kabaranka.jpg

මේ දවස් ටිකේම පන්ති යනවා විබාගෙ අත ළඟටම ඇවිල්ලා නිසා. ඒත් ඉතින් පාඩම් කිරීම තමයි අම්බානක අතපසු වෙලා තියෙන්නෙ. හිහි. මං හිතන්නෙ මට පාඩම් කිරීම එතරම් හරියන දෙයක් නෙවෙයි. ඉස්සර වුණත් පාඩම් කරලා නෑනෙ.

සමනළයා

අදත් ටවුමට යන්න වුණා පොඩි වැඩ වගයකට. මෙහේ උෂ්ණත්වය ගැන නම් ආයෙ කියන්නෙ නෑ මොකද කියලා වැඩක් නැති හින්දා. කොහොම හරි ඉතින් ඇවිදලා ඇවිදලා ඇවිත් බස් එකේ ඉඳගත්තා ආපහු ගෙදර එන්න.

අහම්බෙන් දැක්කා බස් එකේ වීදුරු දෙකක් අතරේ සමනළයෙක් හිරවෙලා හිටි හැටි. මං ඌව එළියට ගන්න ට්‍රයි එකක් දුන්නා. වීදුරුව එහාට මෙහාට කරලා බැලුවා. හයියෙන් අදින්නත් බයයි මොකද උගේ තටු කැඩුණොත් හෙණ ජංජාලයක් වෙන හින්දා. කොහොම හරි සීරුවෙන් වීදුරුවක් එහාට කරාට පස්සෙ ඌ එළියට ආවා. මං ඌට යන්න කිව්වට ගියේ නෑ. එතනටම වෙලා හිටියා. පිස්සු. මං අනිත් පැත්තෙන් වීදුරුවට තට්ටුවක් දැම්මා එතකොටවත් එළියට යයිද කියලා ඒත් ගියේ නෑ. වීදුරුව උඩටම වෙලා තමයි හිටියෙ.

කොහොම හරි ඉතින් බස් එක පිටත් වුණා. මං අයිපොඩ්ඩා කනේ ගහගෙන සිංදු ටිකක් අහ අහ හිටියෙ. ඔහොම ටික දුරක් යද්දි මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු නංගි කෙනෙක් අර වීදුරුව ඇරියා. හපොයි අර සමනළයා ආයෙමත් වීදුරු දෙක මැද හිරවෙලා. ඌ වෙර වීරිය දාලා එළියට එන්න හැදුවත් වැඩේ හරියන්නෙ නෑ. ඉඩ මදියි. මං වීදුරුව එහා මෙහා කරන්න හැදුවත් ඒක හෙලවෙන්නෙත් නෑ. තව ටිකක් ඉඳලා වීදුරුව එහාට කරනකොට ඌ මැරෙයි කියලා බයකුත් දැනුණා. කොහොමහරි දඟලලා ආයෙමත් ඌව එළියට ගත්තා. ආයෙත් යන පාටක් නෑ. වීදුරුව උඩට වෙලා බලාගෙන ඉන්නවා. කොහොමහරි ටික වෙලාවක් ගියාට පස්සෙ පියාඹලා යන්න ගියේ නැතෑ. හෙහ්, පිස්සු සමනළයෙක්.

අවුරුදු දෙකක බ්ලොග් ලිවිල්ල

මං දන්නෙත් නෑ හැබැයි මං බ්ලොග් ලිවිල්ල පටන් අරන් දැන් අවුරුදු දෙකකුත් පහුවෙලා 😀 ඊයේ මම බ්ලොග් එකේ පරණම පිටුවට ගිහින් බැලුවා. (මේක කලින් තිබ්බෙ Blogger එකේ, පස්සෙ තමයි මෙතැනට ගෙනාවෙ) අගෝස්තු 11 තමයි මුලින්ම ලියලා තියෙන්නෙ. දැන් නම් ඒවා දකිනකොටත් හිනා යනවා. මං ඒවට කොච්චර අකමැතිද කියනවා නම් මකන්නයි ලෑස්ති වුණේ. ඉස්සර නම් මෘදුකාංග, ඉඟි උපක්‍රම ආදිය ගැන ලිව්වට දැන් ඒවා ලිවීම සම්පූර්ණයෙන්ම වගේ නැවතිලයි තියෙන්නෙ. දැන් ඉතින් එදිනෙදා තොරතුරු තමයි ගොඩක් වෙලාවට ලියවෙන්නෙ.

කොහොම වුණත් මං ඒ දවස් වල බ්ලොග් ලියන්න ගන්නකොට තවත් සිංහල බ්ලොග් තිබුණෙ බොහොම ස්වල්පයයි. දැන් දකින්නත් සතුටුයි සින්ඩිකේටරයේ විතරක් බ්ලොග් 150 කට ආසන්න ගණනක් තියෙනවා. අවුරුදු දෙකක් ඇතුළත සිංහල බ්ලොග්කරණය කොච්චර ඉදිරියට ඇවිල්ලද?

මේ බ්ලොග් එක නිසා ජීවිතේට කොච්චර අත්දැකීම් ලැබුණද කියලා දන්නෙ ඉතින් මමම තමයි. අලුතින් යාලුවො හම්බවුණා, හිටපු යාලුවො නැතිවුණා, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කළා, බැනගත්තා, ගහ මරාගත්තා (භෞතිකව නෙවෙයි 😀 ), සමාජය පිළිබඳ පොඩි අවබෝධයක් ලබාගත්තා….. අත්දැකීම් සමුදායක්.

ඉතින් මේ සටහන ලියන්නෙ හිතේ තියෙන සන්තෝසෙට. අද බ්ලොග් කියවනයට අලුත් පෙනුමක් ගේන්න අලුත් තේමාවක් හැදුවා. ඒ සෆාරි ෆීඩ් කියවනය අනුසාරයෙන්. ඒකට සහය දුන්නු තිළිණටත්, හර්ෂණටත් ස්තූතිවන්ත වෙන්න ඕන. අදට මෙපමණයි.