Google Talk Contacts අලය

ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ එකතු වුණේ නෑ. දැන් ඉතින් ට්විටර් එකෙයි, ෆේස්බුක් එකෙයි පණිවිඩ දමමින් කට්ටියට මාව එකතු කරන්න කියමින් හිටියෙ.

ඉතින් කාටහරි මාව Google Talk එකේ පේන්නෙ නැත්තං පටස් ගාලා පහළ තියෙන Add බොත්තම ක්ලික් කරලා මගේ ඊමේල් ඇඩරස් එක දාලා එකතු කරන්න. මගෙන් ඉල්ලීමක් ඇවිල්ල තියෙනව නම් ඒත් ඉතින් පිළිගන්න. 🙂

දැනට එපමණයි. තැන්කු වේවා! ජයවේවා! 😀

2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි 🙂

වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!

ඔන්න කාලෙකට පස්සෙ වර්ඩ්ප්‍රෙස් වෙත අලුත් අනුවාදයක් ඇවිල්ල තියෙනව. 2.8 තමයි ඒ. අද උදේ තමයි දැක්කෙ අලුත් එක නිකුත් කරලා කියලා. එතකොට තමයි පත්තු වුණේ. මොකද එතකොටත් පරිවර්තන වැඩ ඉවර වෙලා තිබ්බෙ නෑ. තව තුන්සිය ගානක් ඉවර කරන්න තිබ්බ. ඉතින් මං ටවුමට දුවලා ගිහින් කොණ්ඩෙත් කපාගෙන ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා ඉවරකරලා නිකුත් කරන්න කටයුතු කළා.

පෙනෙන හැටියට නම් 2.8 ගොඩක් හොඳයි. කලින් තිබ්බට වඩා හොඳට විජට්ටු කළමනාකරණය පිළිවෙලකට සකසලා තියෙනව. ප්ලගින කළමනාකරණයත් ටිකක්‍ වෙනස්.

සිංහල අනුවාදය ගන්න ඕන නම් http://si.wordpress.org වෙත යන්න. කෙලින්ම යාවත්කාල කරන්නත් පුළුවන්. දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනව යාවත්කාල කරත් යාවත්කාල කිරීමක් තියෙන බවට පණිවිඩයක් එන එක. ඒක ගැන තවමත් හොයමින් ඉන්නෙ. ඒත් භාවිතයට නම් ඒක ගැටළුවක් වෙන එකක් නෑ. අවුල් තියෙනව නම් වහාම දැනුම් දෙන්න 😉

ඒ වගේම තවත් වීශේෂ දැනුම්දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ගොඩක් අය කාලයක් බලාගෙන ඉඳපු wordpress.com සඳහා සිංහල නිකුත්කිරීම! http://si.wordpress.com

දැනට ටික දවසක් වෙනව මේක සිද්ධ වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නම් නෑ තවම. හේතුව .org සඳහා සකසපු ගොනු වලින් තමයි මේක දැනට යාවත්කාල කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන වචන වලට පරිවර්තන කටයුතු ඉවර කරන්න ඕන. කොහොම වුණත් පාලක පැනලයේ ගොඩක් කොටස් සිංහලෙන් දකින්න පුළුවන්. දැන් ඉතින් සිංහල පාවිච්චි කරන්න ඕන නම් Profile එ‍කට ගිහින් Interface Language එක සිංහල බාසාවට මාරු කරගන්න. 🙂

All Hail WordPress! 😀

මගේ පොටෝ බ්ලොග් එක

මං ඉතිං ඡායාරූප ගන්න හරිම ආසයිනෙ. ඒ හින්ද ඉතින් යාලුවො කිහිප දෙනෙකුත් කිව්ව දේවල් වලට සවන් දීලා තීරණය කළා ඡායාරූප බ්ලොග් එකක් පටන්ගන්න. තාම ඉතින් ‍ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නෙ. හරිහමන් කැමරාවකුත් නෑ. අර හොරෙකුට පින්සිද්ද වෙන්න ගත්තු ෆෝන් එකෙන් තමයි දැනට පින්තූර දාන්නෙ.

දැනටමත් පින්තූර කිහිපයක් දාලා තියෙන්නෙ. බොහෝ දුරට දිනපතාම අප්ඩේට් වේවි. ඉතින් ඒ පැත්තට ගිහින් බලන්න. අදහස් කියන්නත් අමතක කරන්න එපා. 🙂

Malinthe’s Photoblog

ජංගම දුරකථන කතා

ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක් 😀

G502
G502

ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා සන්තෑසියක් වුණා. බස් එකේ යන අතරතුර ඒක හොරකමකට ලක්වුණා 🙂 අප්පච්චිත් එක්ක මොකක්හරි වැඩකට යන්න‍ පේරාදෙණිය බස් එකක නැග්ග අතරතුර තමයි ඕක වුණේ. බස් එකේදි හිටගෙන ඉඳිද්දිත් සාක්කුවේ ෆෝන් එක තිබ්බ බව මතකයි. කොහොමහරි බස් එකෙන් බැහැලා ටික වෙලාවකට පස්සෙ අම්මගෙ නම්බර් එක බලන්න කියලා ෆෝන් එක හොයද්දි තමයි ඒක නැති බව තේරුණේ.

ඒ වෙලාවට එන හැඟීම මාර අමුතුයි. හදගැස්ම වැඩිවෙනව. ෆෝන් එක ඉවරයි නේද කියල හිතෙනව. හපොයි කියල හිතෙනව. ඔහොම තමයි ඉතින් 😀 මං ඉතින් අප්පච්චිගෙ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරලා බැලුවා. වෙනක කරන්න දේකුත් නෑනෙ. රිංග් වෙනව. ඒත් ගන්නෙ නෑ. ඔහොම කිහිප සැරයක්ම ට්‍රයි කරලා බැලුවා ඒත් ඒක ගත්තු භූතයා ඕෆ් කරන්න ඇති.

දැන් ඉතින් ඒක ඉවරටම ඉවරයි කියලා හිතුණු හින්ද මං මුලින්ම කරේ නෙට් කැෆේ එකකට දුවපු එක. ගිහිල්ලා මගේ ඊමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ඔක්කොගෙම මුරපද ටික වෙනස් කළා. ඊටපස්සෙ කෙලින්ම මොබිටෙල් එකට දිව්ව. එවෙලෙම සිම් එක අක්‍රිය කරලා දාලා රුපියල් සීයක් දීලා එවෙලෙම ඒ අංකයටම සිම් එකක් ගත්ත. ඊටපස්සෙ ෆෝන් කඩ දෙක තුනකට ගිහිල්ල බැලුව K850 එකක් හොයාගන්න තියෙයිද කියලා. තිබ්බෙ නෑ. ඉතින් ඔහොම කැරකි කැරකි ඉඳලා අප්පච්චිගෙ යාලුවෙක් ගාවට ගියා. එයා දන්න තැනකට කතාකරල ඒ පැත්තට ගිහින් බලද්දි වෙලාවට තිබ්බ බඩු. ඉතින් K850 එකත් අරගෙන ආවා ගෙදර.

ඉතින් දුකයි සතුටයි මිශ්‍ර වුණු හැඟීමක් තමයි තිබ්බෙ. කලින් එක නැතිවුණු එක ගැන නම් ගොඩක් දුකයි. හොඳ ෆෝන් එකක්. හොඳට වැඩ කරා. එතරම් හොඳ කැමරාවක් නොතිබුණත් ගොඩක් හොඳ පින්තූර ගොඩක් ගත්ත. අවශ්‍ය හැම මොහොතකම හොඳින් සේවය ලබාදුන්නා.

ඉතින් අලුත් එක ගෙදර ගෙනත් MyPhoneExplorer එකේ පිහිටෙන් පරණ පණිවිඩ, දුරකථන අංක ආදිය ආයෙමත් අලුත් එකට හුවමාරු කළා. Sony Ericsson වලට මං ගොඩක් කැමති වෙන්න හේතුවක් තමයි මේ වැඩසටහනත්.

මේකෙ 5mp කැමරාවක් සහ xenon ෆ්ලෑෂ් එකක් තියෙන හින්ද මං මේකට දැන් ගොඩක් කැමතියි. ඡායාරූප වුණත් නරකම නෑ. හැබැයි කලින් එකේ තරම් saturation නැති හින්ද වෙන camdriver එකක් දැම්ම. දැන් නම් අවුලක් නෑ.

ඉතින් ඊයෙ මේකෙත් පොඩි ලෙඩක් ආව. ඉස්සරහ ස්පීකරේ වැඩ කරන්නෙ නැතුව ගියා. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවත් හරියන පාටක් නෑ. ඉතින් හවස් වෙලා ගියා ගත්තු තැනටම හදාගන්න පුළුවන්ද බලන්න. එතනට යනකොට ගොඩක් හවස් වුණු හින්දා එතන අය කිව්වෙ නැතෑ හෙට උදේට එන්න කියලා. ඉතිං කොරන්න දෙයක් නෑනෙ. ආයෙමත් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අතපත ගගා ඉන්නකොට මෙන්න ඒක වැඩ කරන්න ගත්ත!

හික් බස් එකේ අම්බානක හිරවෙලා දාඩිය පෙරාගෙන පැයක් විතර කාලේ නාස්ති කරේ අපරාදෙ කියලා හිතුණා. මොනව කරන්නද ඉතින් ඔහොම තමා ජීවිතේ. 😀

අදට මෙච්චරයි.