ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක් 😀
ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා සන්තෑසියක් වුණා. බස් එකේ යන අතරතුර ඒක හොරකමකට ලක්වුණා 🙂 අප්පච්චිත් එක්ක මොකක්හරි වැඩකට යන්න පේරාදෙණිය බස් එකක නැග්ග අතරතුර තමයි ඕක වුණේ. බස් එකේදි හිටගෙන ඉඳිද්දිත් සාක්කුවේ ෆෝන් එක තිබ්බ බව මතකයි. කොහොමහරි බස් එකෙන් බැහැලා ටික වෙලාවකට පස්සෙ අම්මගෙ නම්බර් එක බලන්න කියලා ෆෝන් එක හොයද්දි තමයි ඒක නැති බව තේරුණේ.
ඒ වෙලාවට එන හැඟීම මාර අමුතුයි. හදගැස්ම වැඩිවෙනව. ෆෝන් එක ඉවරයි නේද කියල හිතෙනව. හපොයි කියල හිතෙනව. ඔහොම තමයි ඉතින් 😀 මං ඉතින් අප්පච්චිගෙ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරලා බැලුවා. වෙනක කරන්න දේකුත් නෑනෙ. රිංග් වෙනව. ඒත් ගන්නෙ නෑ. ඔහොම කිහිප සැරයක්ම ට්‍රයි කරලා බැලුවා ඒත් ඒක ගත්තු භූතයා ඕෆ් කරන්න ඇති.
දැන් ඉතින් ඒක ඉවරටම ඉවරයි කියලා හිතුණු හින්ද මං මුලින්ම කරේ නෙට් කැෆේ එකකට දුවපු එක. ගිහිල්ලා මගේ ඊමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ඔක්කොගෙම මුරපද ටික වෙනස් කළා. ඊටපස්සෙ කෙලින්ම මොබිටෙල් එකට දිව්ව. එවෙලෙම සිම් එක අක්‍රිය කරලා දාලා රුපියල් සීයක් දීලා එවෙලෙම ඒ අංකයටම සිම් එකක් ගත්ත. ඊටපස්සෙ ෆෝන් කඩ දෙක තුනකට ගිහිල්ල බැලුව K850 එකක් හොයාගන්න තියෙයිද කියලා. තිබ්බෙ නෑ. ඉතින් ඔහොම කැරකි කැරකි ඉඳලා අප්පච්චිගෙ යාලුවෙක් ගාවට ගියා. එයා දන්න තැනකට කතාකරල ඒ පැත්තට ගිහින් බලද්දි වෙලාවට තිබ්බ බඩු. ඉතින් K850 එකත් අරගෙන ආවා ගෙදර.
ඉතින් දුකයි සතුටයි මිශ්‍ර වුණු හැඟීමක් තමයි තිබ්බෙ. කලින් එක නැතිවුණු එක ගැන නම් ගොඩක් දුකයි. හොඳ ෆෝන් එකක්. හොඳට වැඩ කරා. එතරම් හොඳ කැමරාවක් නොතිබුණත් ගොඩක් හොඳ පින්තූර ගොඩක් ගත්ත. අවශ්‍ය හැම මොහොතකම හොඳින් සේවය ලබාදුන්නා.
ඉතින් අලුත් එක ගෙදර ගෙනත් MyPhoneExplorer එකේ පිහිටෙන් පරණ පණිවිඩ, දුරකථන අංක ආදිය ආයෙමත් අලුත් එකට හුවමාරු කළා. Sony Ericsson වලට මං ගොඩක් කැමති වෙන්න හේතුවක් තමයි මේ වැඩසටහනත්.
මේකෙ 5mp කැමරාවක් සහ xenon ෆ්ලෑෂ් එකක් තියෙන හින්ද මං මේකට දැන් ගොඩක් කැමතියි. ඡායාරූප වුණත් නරකම නෑ. හැබැයි කලින් එකේ තරම් saturation නැති හින්ද වෙන camdriver එකක් දැම්ම. දැන් නම් අවුලක් නෑ.
ඉතින් ඊයෙ මේකෙත් පොඩි ලෙඩක් ආව. ඉස්සරහ ස්පීකරේ වැඩ කරන්නෙ නැතුව ගියා. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවත් හරියන පාටක් නෑ. ඉතින් හවස් වෙලා ගියා ගත්තු තැනටම හදාගන්න පුළුවන්ද බලන්න. එතනට යනකොට ගොඩක් හවස් වුණු හින්දා එතන අය කිව්වෙ නැතෑ හෙට උදේට එන්න කියලා. ඉතිං කොරන්න දෙයක් නෑනෙ. ආයෙමත් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අතපත ගගා ඉන්නකොට මෙන්න ඒක වැඩ කරන්න ගත්ත!
හික් බස් එකේ අම්බානක හිරවෙලා දාඩිය පෙරාගෙන පැයක් විතර කාලේ නාස්ති කරේ අපරාදෙ කියලා හිතුණා. මොනව කරන්නද ඉතින් ඔහොම තමා ජීවිතේ. 😀
අදට මෙච්චරයි.