නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.

මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.

Prey

ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

Prey Report

එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam

පාවිච්චි කරලා බලන්න 🙂

[Prey]

Android ඔබේ පරිගණකයේත්!

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද 😀

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ 😀

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously 😛 ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more

හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ 😀

ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි ක්‍රමේකින් වැඩියෙන් බාගන්න පුළුවන් විදි ගැන. ඉතින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩේට පොඩ්ඩක් අත තියලා බලන්න හිතුණා. වැඩේ තියෙන්නෙ මෙහෙට ඩයලොග් 3G සිග්නල් නැති එක තමයි.

එහෙම වුණත් ඕන කෙහෙල්මලක් කියලා මං Mobile Partner එකෙන් WCDMA Only දාලා බැලුවා. ඩයලොග් WCDMA සම්බන්ධ වෙනවා හැබැයි signal strength එකක් නෑ 😀 මෙතන තිබ්බ විදියට අවශ්‍ය වැඩ ටික කරලා සම්බන්ධ වෙලා බැලුවා. මෙන්න බොලේ වැඩ.

මං රුපියල් පනහේ එක තමා දාලා බැලුවේ. ඒකෙන් පැය දෙකක් විතර වැඩ ගන්න පුළුවන්නෙ. ඉතින් උබුන්ටු දාලා තිබ්බ එක resume කරලා දැම්මා. කලින් පොඩ්ඩක් බාලා තිබ්බෙ. ඉතින් පැය දෙක ඇතුළත ඒකයි, Guns N’ Roses ලගේ ඇල්බම් එකකුයි බාගත්තා.

Dialog Prepaid Broadband
Dialog Prepaid Broadband

අද මොබිටෙල් නම් හොඳට ගාටනව. ආරංචි කීපයක් ආව SLT එකේ අවුලක් කියලත්. කොහොම වුණත් ඩයලොග් මගින් ලැබුණු වේගය නම් වරදක් නෑ (stable ගතියක් නම් පේන්න නෑ තමයි) ඒත් සිග්නල් ඇත්තෙත් නැති හින්ද ඒකට සමාව දෙන්න පුළුවන්ද? මොඩම් එක නම් අම්බානක රත් වුණා. මොබිටෙල් එකෙනුත් මේ වගේ වේගයක් එනවනම් නියමයි 😀

ඉතින් උබුන්ටුත් දාලා බැලුවා. වරදක් නෑ. E220 එක ආරම්භයේදීම හොයාගෙන අවශ්‍ය සේවා සපයන්නා තෝරගන්න එහෙම අවශ්‍ය පහසුකම් තියෙනවා. Mac වල තියෙන Growl වගේ notification පද්ධතියක් දැක්කා. තව ‍වැඩිපුර තිම් වගයකුත් තිබ්බා. ඉතින් ඔච්චර තමයි. වැඩිය අතපත ගාන්න ගියේ නෑ. ඉන්ස්ටෝල් කරන්න විදියකුත් නෑනෙ. අලුත් හාඩ් ඩිස්ක් එකක් ගන්න වෙයි ව‍ගේ.

මෙන්න අපේ මොබිටෙල් එක අද හැසිරෙන හැටි:

පිස්සාගේ මින්ට් කෑම

මොකට කියනවද මට නම් තියෙන්නෙ අමුතුම පිස්සුවක් තමා. වෙන මොකක්වත් නෙවෙයි මෙහෙයුම් පද්ධති පිස්සුව. පහුගිය සති දෙක තුනට මෙහෙයුම් පද්ධති බර ගාණක් දාන්න ඇති. වින්ඩෝස් එක්ස්පී තියෙන අතරේ උබුන්ටු දැම්මා. ඒකට කේඩීඊ දාලා ආයෙ එපාවෙලා කුබුන්ටු දැම්මා. ඊටපස්සෙ ඒක එහෙමම තියෙද්දි අනිත් දෘඪ තැටියට විස්ටා දැම්මා. ඒකත් එපාවුණා. ඊටපස්සෙ ෆෙදෝරා දැම්මා. ඒක නම් හරියට පාවිච්චි කරලා බැලුවේ නෑ.

ඔන්න ඉතින් අද දැම්මා ලිනක්ස් මින්ට් 😀

මුලින්ම දැක්ක දේ තමයි ලස්සන 😉 කලින් ආරංචි වෙලා තිබ්බෙ මින්ට් ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒක හැබෑව. කිසිම අවුලක් නෑ. ලයිව් තැටිය දාලා පොඩ්ඩක් අරවා මේවා පරික්ෂා කරලා බැලුවා. ආරංචි වුණ හැටියට මේක උබුන්ටු මතලු පදනම් වෙලා තියෙන්නෙ. (ඒත් මට උබුන්ටු එක්ක වැඩ කරන්න බැරිවුණා හරියට)

කොහොම හරි හිතට අල්ලපු හින්දා කුබුන්ටු වෙනුවට මේක ස්ථාපනය කළා. එම්පී3, ෆ්ලෑෂ්, ජාවා ආදියත් පෙරනිමියෙන්ම වැඩ. වැඩිය දේවල් අන්තර්ජාලයෙන් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක ලොකු සැනසීමක් මොකද මට මොබිටෙල් M3 නිසා ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් වහ කන්න වෙන හින්දා 😉

Huawei මොඩමය වැඩ. wvdial වලින් තමයි සම්බන්ධ වෙන්නෙ. ස්ථාපනය කළාට පස්සෙ EnvyNG මගින් nvidia ඩ්‍රයිවර් ස්ථාපනය කළා. සිංහල අකුරු වල පොඩි අවුල් තිබ්බ නිසා සිංහලත් වෙනම ස්ථාපනය කළා. ඒකට පාවිච්චි කළේ උබුන්ටු සඳහා එන ඒවමයි. කොහොම වුණත් වැඩි දෙයක් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. Audacious දැම්මා මං ඒකට ගොඩක් ආස නිසා. දැන් tvtime දානවා. දැනට නම් ගොඩක් හිතට අල්ලලා තියෙන්නෙ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ. මට අමුතු පිස්සුවක්නෙ තියෙන්නෙ 😉

Linux Mint

මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම

මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.

මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.

අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.

මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?

මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ 😉 කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.

ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.

අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි 😀

සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. 😀