නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.

මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.

Prey

ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

Prey Report

එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam

පාවිච්චි කරලා බලන්න 🙂

[Prey]

iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!

කාලයක් බලාගෙන ඉඳල  ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන.  කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා.

ඉතින් සති කීපයක්ම මේ වැ‍ඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර වෙලා අන්තිමේදි වැඩේ අත්හරින තත්ත්වයටම ආවා. අන්තිමේදි මොකද කරේ, ඇපල් වලට සිංහල ෆොන්ට් එකක් හදපු නිකලස්ට කතාකරා. මං නික්ගෙ ෆොන්ට් එකෙන් Arial එකට කොපි කරල හදපු ෆොන්ට් එක එයාටම දුන්නා. නික් ඒකට අවශ්‍ය script එක දාල දුන්නා. මේ ෆොන්ට් එක ෆෝන් එකට දාල බැලුවම වැඩේ ගොඩ! පුදුම සතුටක් තමයි එවෙලෙ ඇතිවුණේ. මං ඒක දැකපු ගමන් කෑගහපු හැටි ඇහුණනම් කට්ටිය බිම පෙරලි පෙරලි හිනාවේවි 😀

කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න 😉

මේ තියෙන්නෙ අයි‍ෆෝන් එකේ දැන් සිංහල පේන විදිය තමයි. සමහර තැන් වල තාම පොඩි පොඩි අවුල් එනවා. ඒවා ඉදිරියේදි හදාගන්න පුළුවන් වේවි.

යතුරුපුවරුවක් හදාගන්නත් ඕන සිංහල ටයිප් කරන්න. කරන විදිය ගැන තාම අදහසක් නෑ. කන්වර්ටර් එකකින් නම් කරගන්න පුළුවන්. ටිකක් එහෙම කරල බැලුවා. සාර්ථකයි.

ඉතින් මේ තොරතුරු අස්සෙ අද සූර්යග්‍රහණයකුත් වුණානෙ. දවල් ට්විටර් එකේ සද්දෙ ඇහෙනකොට තමයි ගිහින් බැලුවෙ. ඊටපස්සෙ මල්ලිත් එක්ක කැමරාවක් අටවලා ෆොටෝ ටිකක් ගත්තා. වටපිටාව බොහෝ දුරට අඳුරු වුණා. උෂ්ණත්වයත් අඩුවුණා. නියම අත්දැකීමක්.

කැමරාව අටවගත්තෙ පරණ කැසට් එකක් කඩලා ගත්ත ටේප් වලින් 😀

මගේ ෆොටෝ බ්ලොග් එක ආයෙමත් පටන්ගත්ත. ගිහිල්ල බලන්න: malinthe.info

Mac OS ගැන කතා

ඔන්න ඉතිං දීර්ඝ විරාමයකට පස්සෙ ආයෙමත්. පහුගිය දවස් ටිකේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණු නිසා සහ ලියන්න තරම් හිතක් නොතිබුණු නිසා කිසිම දෙයක් ලියවුණේ නෑ. අද ඉතිං මොනවහරි ලියන්න ඕන කියලා හිතුණා.

මගේ අනිත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නෙ නැතුව ගියා. ඒකට හයිකරලා තිබ්බ 40GB දෘඪ තැටියේ තමයි මං මැක් දාලා තිබ්බෙ. ඉතින් ඒක ආයෙමත් මගේ මැසිමට දැම්මා. ඒ හින්දා මේ දවස් දෙක තුනේ මැක් පාවිච්චි වුණා වැඩියි.

මට දැනට ‍තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මැක් වල සිංහල හරියටම වැඩ කරන විදියට හදාගන්න එක. දැනට තියෙන තත්ත්වය නරකම නෑ. නිකලස් හදපු ෆොන්ට් එකේ තිබුණු පොඩි අඩුපාඩු ටිකක් ගැන මමයි දසුන් අයියයි දන්වලා තියෙන්නෙ. ඒකෙ තියෙන අවුල් ටිකත් හැදේවි කියලා බලාපොරොත්තු වෙනවා. යතුරුපුවරුවේ අවුල් වගයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල ටයිප් කරගන්න පුළුවන් වුණත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒක හදන්න දසුන් අයියත් ට්‍රයි එකක් දුන්නා. ඒත් වැඩේ හරියටම හරිගියේ නෑ. ෆොන්ට් එක හරියටම හැදෙනකල් ඒක පරක්කු කරන්න වෙයි වගේ.

ඉතින් ඊයෙ මැක් එකේ රවුම් ගගහ ඉන්නකොට මතක් වුණා බොලේ මං මේකට සිංහල ෆයර්ෆොක්ස් දැම්මෙ නෑ නේද කියලා 😀 මැක් වල මෘදුකාංග ස්ථාපනය කරන එක බොහොම පහසු වැඩක්. ඒ හින්දා මං සිංහල අනුවාදය බාගෙන දාලා බැලුවා. මටම පුදුමයි! මැක් වල අකුරු රෙන්ඩර් කරන විදිය කියන්න බැරි තරම් ලස්සන හින්දා ෆයර්ෆොක්ස් හරිම ලස්සනට පේනවා.

Menus
Menus
Menus
Menus
Preferences
Preferences
Posted in Mac

පිස්සුව වැඩි වුණාවත්ද?

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ ගැන ආරංචි වෙන්නත් ඇති 😀

මේක පිළිවෙලකට අලුත් කරගන්නකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ. කොහොමහරි ඒකත් ඉවරයි. ඉතින් ඊටපස්සෙ මොකද කළේ? දැම්මා මැකින්ටොෂ්. ඕක කරගන්න තමයි ගොඩක්ම මග බලාගෙන හිටියෙ. ඒ වැඩෙත් ලස්සනට වුණා. නෑ. එහෙමමත් නෙවෙයි 😀 දෙතුන් පාරක් දාන්න වුණා පොඩි මැටි වැඩ ටිකක් කරන්න ගිය නිසා. 10.5.2 දැම්මට පස්සෙ වීඩියෝ වැඩ කළේ නෑ හරියට. ඒ කියන්නෙ කාඩ් එකේ ඩ්‍රයිවර් අවුලක්. හොයලා හොයලා අන්තිමට හම්බවුණු විසඳුමට 10.5.5 තියෙන්න ඕනලු. ඉතින් අන්තර්ජාලෙන් හොයාගත්ත පරණ ක්‍රමයකට 10.5.6 වලට යාවත්කාල කරන්න ගිහින් ඔක්කොම අලවුණා. මං ඉතින් නිකං හිටියෙ නෑ. ආයෙත් ට්‍රයි කළා. දෙතුන් පාරක් ඔහොම වුණාට පස්සෙ ආයෙ පොඩ්ඩක් හොයල බලද්දි 10.5.6 වලට යන්න පැච් වගයක් හම්බවුණා. ඒ ටික දැම්මට පස්සෙ වැඩේ හරිගියා. ඒකට වීඩියො ඩ්‍රයිවරේ දැම්මම ඒකත් වැඩ. Resolution මාරු කරද්දි පොඩි අලයක් එනවා. ඒක නම් රීස්ටාට් කරාම හරියනවා. එවෙලෙ මවුස් එකයි යතුරුපුවරුවයි වැඩ නොකර ගිය හින්දා ටිකක් තදවුණා. ඒකටත් පැච් එකක් දැම්මා 😀

ඉතින් මට දැන් වින්ඩෝස් එක්ස්පී ඇති වෙලා තියෙන හින්දා ඒකටත් මොකක්හරි කරන්න ඕන කියලා ඊයෙ විස්ටා දැම්මා. මල්ලි නම් ඕක දාන්න එපා මොකද එදාම අයින් කරන්න ඉඩ තියෙනවා කියලා. මාත් ඉතින් නෑ එහෙම වෙන්නෙ නෑ කිය කිය දැම්මා. මොකද වුණේ? කොහොමත් පැය කීපයක් ඇතුළත ඒක ඇතිවුණා 😀 ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා වින්ඩෝස් 7. මල්ලි ඒක දානවටත් කැමති වුණේ නෑ මොකද මේක බීටා එකක් හින්ද. මං ඉතින් නිදහසට කරුණු ගොඩක් ඉදිරිපත් කරා. පොර convince වෙන්නෙම නෑ. හික්. කොහොම වුණත් මං වින්ඩෝස් 7 වලට කැමතියි. එකම අවුලකට තියෙන්නෙ මේක බීටා හින්දා අගෝස්තු වල අල වෙන එක.

ඉතින් පහුගිය දවස් ටිකේ මෙහෙයුම් පද්ධති 4 දැන් තුනකට බැහැලා තියෙන්නෙ. මැක්, වින්ඩෝස් 7 සහ මින්ට්. මින්ට් නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ දැන්. හදිසියකට මිසක්.

ඔහොම තමයි ඉතින් මේ දවස් වල.

අද ටවුමට ගිහින් ආව. මේ දවස් වල දළදා ප්‍රදර්ශනේ හින්දා පුදුම සෙනගක් ඉන්නෙ. උදේ දහය එකොළහ වෙනකොට පෝලිම් පිරිලා ඉවරයි. මහා දිග පෝලිම්. ටවුමෙ වාහන තදබදයත් මේ දවස් වල ටිකක් වැඩියි. අද ඊයෙ එහෙම උදේ හොඳට පායනවා. මාර රස්නෙයි. ‍ඒත් හවස් වෙනකොට අනිවාර්යයෙන් වහිනවා.

ඉතිං ඔච්චර තමයි. ආයෙ වෙලාවක තව මොනහරි ලියන්නම්. 🙂

මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ ඩ්‍රයිවරයක් හොයාගත්ත. දැන් වීඩියෝ වැඩ කරනව. ශබ්දත් අවුලක් නෑ. Ethernet බොහොම අමාරුවෙන් හදාගත්ත ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. Wireless නම් වැඩ කරන්නෙම නෑ තවම.

සිංහල නම් බොහෝ දුරට වැඩ කරනවා. සිංහල keylayout එකකුත් හොයාගෙන දැම්මා. ඒකත් දෝෂ සහිතව වැඩ. මේ ගැන විස්තර ටික ඔක්කොම දුන්නා දසුන් අයියට. ඉදිරියේදි මේ ගැටළු විසඳන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

මැක් වලට එන මෘදුකාංග ගොඩක් නියමයි. මං සාමාන්‍යයෙන් දාන්න ඕන ෆයර්ෆොක්ස් සහ VLC දැම්මා. මේකෙ මෘදුකාංග ස්ථාපනය කිරීම ගොඩක් වෙලාවට පහසුයි. අපට කරන්න තියෙන්නෙ .dmg ගොනුව බාගෙන ඒකෙ තියෙන වැඩසටහන් ගොනුව Applications‍ ෆෝල්ඩරයට දාන එක විතරයි.

චැට් කටයුතු සඳහා iChat තිබුණත් මං Adium දාලා බැලුවා. ඒක නම් නියම මෘදුකාංගයක්.

iTunes නම් පුදුම හිතෙන විදියට වැඩ කරනවා. වින්ඩෝස් වලදි නම් මට පේන්න බැරිම මෘදුකාංගයක් තමයි. ඒත් මැක් වලදි ගොඩක් වේගවත්. Cover Flow එහෙම හිතන්නවත් බැරි තරම් වේගයෙන් වැඩ.

ඉතින් දැනට එපමණයි. මැක් වල සිංහල තවත් ටිකක් දියුණු වුණාට පස්සෙ ඊළඟ ලිපිය මැක් එකකින්ම ලියන්න හීනයක් තියෙනවා. 😀

iTunes Coverflow
iTunes Coverflow
My Blog in Firefox (Mac)
My Blog in Firefox (Mac)