කකුල්

හදන්න දීලා මාස ගාණකට පස්සේ ඔන්න කැමරාව ආයෙ අතට හම්බවුණා. ඉතින් අද පරණ මෙමරි කාඩ් එකක් දාලා නිකං හොය හොය ඉඳිද්දි තමයි මේක හම්බවුණේ. මේක පෙබරවාරි මාසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ මලයා. අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකයි දාන්න කල්පනා කරේ. 😀


Kakul by ~malinthe on deviantART

මින්ට් සංසිද්ධිය

ඔන්න ඉතින් දැන් ඕන එකක් කියලා ලින්ක්ස් මින්ට් වැඩි වැඩියෙන් භාවිතා කරන්න පටන් අරන් තියෙන්නෙ. ඊයේ පෙරේදා දැනගන්න ලැබුණු ටිප් එකකට අනුව fontconfig එක නැවත සැකසූ නිසා දැන් අකුරු ටිකක් ලස්සන විදියකට පේනවා. මේක කරන්නෙ sudo dpkg-reconfigure fontconfig මගින්.

මට ලිනක්ස් පාවිච්චි කරන්න ගියාම ලොකුම අවුල තමයි හොඳ තීම් එකක් හොයාගන්න තිබ්බ අමාරුව. කොහොම වුණත් මේ පාර හොඳ තීම් එකක් හොයාගන්න පුළුවන් වුණා. මේකෙ නම NiteLite Gnome.

අ‍නේ ඉතින් දෙයියනේ කියලා මින්ට් වල ඉඳන් වැඩ පටන්ගත්තට පස්සෙ ස්කෑනරේ ආයෙමත් වැඩ කරන්නෙ නෑ. දෙතුන් පාරක් හදාගන්න ට්‍රයි කරලා අතඇරලා දැම්මා. ඕන එකක් කියලා ගිම්ප් වලින් වැඩකරන්න බැලුවා ඒක හරිගියෙත් නෑ. ආයෙ රීබූට් කරලා වින්ඩෝස් වලට එන්න වුණා ෆොටෝෂොප් වෙතම 😀 වෙන නම් ඉතින් එච්චරම අවුල් නෑ. ෆයර්ෆොක්ස් ගාටනවා. ඒත් අන්තිමේදී හොයාගත්තා ලිනක්ස් මගේ මැසිමේ හරියට වැඩ නොකරන්න හේතුව. හේතුව මැසිම කසිකබලක් වීම තමයි.

දැන් මේ ස්කෑන් කරපු ගොනු වගයක් හරියට ප්‍රින්ට් කරගන්න බැරුව දඟලලා ආයෙ වින්ඩෝස් වලට ආවා. ACDSee මගින් ඒක නියමෙට කරගන්න පුළුවන් වුණා. හයියෝ 😀

ඉතිං මේක ලිව්වෙ අලුත් තීම් එක ගැන කියන්න තමයි. වෙන විසේසයක් නෑ. කොහොම වුණත් දැන් මින්ට් වල අකුරු පේන විදියට මං අම්බානක ආසයි. මැක් ගතියක් තියෙනවා.

බලාගෙන යනකොට මං එක්ස්පී වල මුහුණතට පුරුදු වෙලා වගෙයි. ඒකයි ලිනක්ස් හෝ විස්ටා වල වැඩිවෙලා ඉන්න බැරි. (ඔව් විස්ටා දාලත් හරියකට පාවිච්චි කරේ නෑ.) මං තීම් එක, වෝල්පේපරේ, අකුරු පේන විදිය ගැන ඕනවටත් වඩා හිතනවා. දැන් නම් ඒක ටිකක් කරදරකාරී විදියට වැඩිවෙලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නෙ. විසඳුමක් නැතිවෙයිද?

වර්ඩ්ප්‍රෙස් 2.6.5

වර්ඩ්ප්‍රෙස් 2.6.5 නිකුත් කළා. මෙමගින් එක් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් සහ තවත් ගැටළු කිහිපයක් විසඳා තිබෙනවා. සියලු පරිශීලකයන් 2.6.5 වෙත යාවත්කාල කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නෙ. ඔබ සිංහල අනුවාදය පාවිච්චි කරනවා නම් එහි නව අනුවාදයත් http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්.

තවත් විශේෂ කාරණයක්. වර්ඩ්ප්‍රෙස් 2.6.4 නමින් සාවද්‍ය අනුවාදයක් පැතිර ගියා නිසා 2.6.4 නිකුත් කෙරෙන්නේ නැහැ. 2.6.4 වශයෙන් නිළ අනුවාදයක් නැහැ. කෙටියෙන් කියනවා නම් 2.6.4 වෙත යාවත්කාල කරන්න එපා. එහෙම එකක් නැහැ 😀

ජංගම දුරකථනයට සිංහල දැමීම

ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් සිංහලනෙ) ට්‍රයි කරා ‍ඩයලොග් එකේ සිංහල බ්‍රවුසරය ගන්න. කොහෙද ඒක ගන්න දන්න හැම දේම කළා. හරියන පාටක් නෑ.

මං ගත්තු Sony Ericsson G502 A2 මත දුවන එකක් හින්දා මේ ළඟක් වෙනතුරුම ඒකෙ filesystem එකට යන්න විදියක් තිබුණෙත් නෑ. ඒත් මේ ළඟදි වාසනාවට වගේ a2uploader කියලා මෘදුකාංගයක් නිකුත් කරලා තිබුණා. මේක පාවිච්චි කරලා ෆෝන් එකේ ෆයිල්සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මාත් රිංගුවා ඒක ඇතුළට. ඉතින් වැඩ ගොඩයි. ෆ්ලෑෂ් මෙනු ටිකක් දැම්මා, අලුත් කැමරා ඩ්‍රයිවරයක් දැම්මා… එච්චර තමයි ඉතින් 😀 මේකට වැඩිය mods නිකුත් කරලා නැහැ භාවිතය අඩු නිසා.

එතකොට තමයි ෆොන්ට් දාන අදහස ආවෙ. මුලින්ම සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක් දාලා බැලුවා. වැඩේ ගොඩ. ඒත් ඉංගිරිසි අකුරු පේන්න නෑ 😀 ඊටපස්සෙ දසුන් අයියා කිව්ව නිසා ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දැම්මා. (වින්ඩෝස් වලට එන්නෙ) එතකොට නම් මෙන්න ඉංගිරිසිත් වැඩ. ඒත් ඉතින් ජාවා වැඩසටහන් වල අකුරු මහා විසාල වුණු නිසා වැඩේ අතඇරියා.

ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා බැලුවා ඇයි මේ ජාවා වැඩසටහන් වල විතරක් සයිස් එක ලොකු වෙන්නෙ කියලා. බැලින්නම් ඒකට පාවිච්චි වෙන්නෙ වෙන ෆොන්ට් එකක්. ඉතින් මොකද කරේ ඒ ෆොන්ට් එක පිටපත් කරගෙන ෆොන්ට්ලැබ් මගින් සිංහල අකුරු ටික දැම්මා ඒකට. ඊටපස්සෙ වැඩ. දැන් සිංහල තියෙන්නෙ ජාවා වැඩසටහන් වලට විතරයි. ඒත් මදෑ.

කොහොම වුණත් වැඩේ සීයට සීයක්ම සාර්ථක නෑ. මොකද සිංහල පේන විදිය අන්තිම සවුත්තුයි. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණකයකට සිංහල පැච් එකක් ස්ථාපනය නොකර ෆොන්ට් එක විතරක් දැම්මම පේන විදියට තමා දැනට පේන්නෙ. Something is better than nothing කියන්නෙ නිකං නෙවෙයිනෙ. කලින් තිබ්බෙ කොටු ගොඩක් විතරයි. දැන් ඉතිං යන්තමට හරි කියවන්න පුළුවන්නෙ 😀 ඒත් ඉතින් සිංහල හරියට පේන්න මොකක්හරි කරන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න.

Opera Mini on G502
Opera Mini on G502
Gmail Mobile on G502
Gmail Mobile on G502

පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩමුළුව

ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද?

වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි.

මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු යෙදුම් නොසපයන ආකාරයේ තොරතුරු සපයන්නකි.

ලර්න් ඒශිආ / සර්වෝදය එක්දින වැඩ මුළුව (නොවැම්බර් 25, 2008)
(සහභාගිත්වය අය කිරීමකින් තොරව )
උදෑසන 8.30 සිට 11.30 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේදී

කොළඹින් බැහැර සිට පැමිනෙන්නන් උදෙසා පෙර දින රැය සර්වෝදය මූලස්ථානයේදී නවාතැන් පහසුකම් සැපයිය හැක.

මීට සහභාගි වීමට නම් ඔබ:
මාස තුනක් වත් පවත්වාගෙන ගිය බ්ලොග් සටහනක හිමිකරුවකු හෝ වසරක වත් පළපුරුද්ද ඇති නැණසල/ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවකු විය යුතුයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සමඟ විමසන්න:
චානුක වත්තේගම chanuka(ඇට්)hotmail.com