මේ දවස්වල නොලියන්නෙ මොකද?

අනේ ඉතින් ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. ඇයි දෙයියනේ අම්බානක වැඩනේ. මැරතන් එකට සතියයි. පොඩි පොඩි වැඩ තොගයක්ම තියෙන නිසා මේක ගැන එච්චර අවධානයක් නෑ මේ දවස්වල. ඇයි ඒ මදිවට වැස්ස. වහින්න ගත්තම විදුලි කොටමින් වහිනවා. හවස් වෙනකොට නම් මෙලෝ දෙයක් කරන්න විදියක් නෑ. 😀

ඒකට කමක් නෑ. තව සතියකින් බ්ලොග් මැරතන් එක දුවනකොට නියමෙට තියේවි. ලිපි 96ක්! ඒකට ලියන්න දේවල් හොයාගන්නත් ඕන. ඔන්න ඉතින් මැරතන් එක නරඹන්න වැඩ කටයුතු ගොඩක් සූදානම් කරලයි තියෙන්නෙ. ඒ සියලුම ක්‍රම ගැන තව මොහොතකින් දැනුම් දෙන්නම් 🙂

සූදානමින් ඉන්න!

Firefox 3 Beta 5 Easter Egg!

මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.

ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ? 😉

තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla – දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.

මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 😆

Lifehacker මගිනි.

අද බසයේ ගෙදර ආපු හැටි

අහ් මේක නම් කියන්නම ඕන 😉 සාමාන්‍යයෙන් අපේ ගෙවල් පැත්තට එන බස් එන්නෙ වැව රවුම, ලේවැල්ල, සිරිමල්වත්ත හරහා. මේ දවස් වල වැව රවුමේ පාර හදන නිසා අද බස් එකේ කොන්දොස්තර කිව්වා ‘අද යන්නෙ වැව රවුමෙන් නෙමෙයි, ධර්මාශෝක මාවත පැත්තෙන්’ කියලා. හේතුව මේ ට්‍රැෆික් එක තමයි. ඉතින් අපි ආවෙ නැතෑ. කොහොම හරි ඇවිල්ලා ඇවිල්ලා ධර්මාශෝක මාවතටත් ආවා.

ඔන්න ඉතිං පාර දිගේ ගොඩක් දුර ගියාට පස්සෙ මෙන්න තවත් බ්ලොක් එකකට අහුවුණා. මං හිතන්නෙ ඒ පැත්තෙත් පාර හදනවා වෙන්න ඇති. විනාඩි දහයක් විතර හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර් ආයෙ බස් එක හරවගෙන ඇවිල්ලා අරුප්පල පැත්තෙන් ආවා. අපිත් ඉතින් ඇති යන්තම් කියලා සැනසුම් සුසුමක් හෙලනකොටම, අරුප්පල පිට්ටනිය ළඟ තවත් බ්ලොක් එකක්. අපි බැලුවා මේ මොකද කියලා. මුලින් හිතුවෙ වාහනයක්වත් හැප්පිලා වෙන්න ඇති කියලා. බලනකොට ඒ පාර පොඩි හින්දා වාහන වලට මාරුවෙන්න බැහැ 😀 හපොයි ඉතින් එතනත් පැය බාගයක් විතර ඔහේ බලාගෙන ඉඳලා කොහොම හරි පිටත් වුණා. අපි සිරිමල්වත්ත හරියට එනකොට අපට පස්සෙ එන බස් එකත් අපිව පහුකරගෙන ගියා. අනේ අනිච්චං මට හිතිච්ච දේවල්! ඒත් ඉතින් මොනවා කරන්නද? 😀 ලංකා‍වනෙ!

මහනුවර බ්ලොග් මැරතන් ප්‍රචාරක වැඩසටහන

අද හිතුණා හැමදාම ලියන මෘදුකාංග අරවා මේවා පැත්තකින් තියලා වෙනස් දෙයක් ලියන්න. හැමදාම එකම දේ ලියලම හරියන්නෙත් නෑනෙ. සිංහල බ්ලොග් මැරතන් එක ගැන කට්ටිය හැමෝම දන්නවනෙ දැන්? ඉතින් මේ වැඩසටහන ගැන පොඩි ප්‍රචාරයක් දෙන්න හිතාගෙන අද නුවර ටවුන් එකේ පොඩි ප්‍රචාරක වැඩසටහනක් දියත් කළා. අත්පත්‍රිකා සහ ස්ටිකර් ටිකක් මුද්‍රණය කරලා නුවර නගරයේ බෙදාහැරීම තමයි කළේ. අවාසනාවට මගේ කැමරාවත් හදන්න දීලා හින්දා ෆොටෝ ටිකක් ගන්න නම් ලැබුණේ නැහැ.

ආනන්දවර්ධන, කාලිංග, බුද්ධික සහ වරුණ නුවර ඇවිල්ලා හිටියා වැඩේට. ගුඩ්ෂෙඩ් එක පැත්තෙත්, මග දිගටත් අත්පත්‍රිකා/ස්ටිකර් බෙදාදුන්නා. කොහොම හරි තොගයක්ම බෙදාදෙන්න පුළුවන් වුණා. නුවර නෙට් කැෆේ වලිනුත්, පරිගණක ආයතන වලිනුත් හොඳ සහයෝගයක් ලැබුණා. ඒකත් ලොකු දෙයක්. පත්‍රිකා ගත්තු ගොඩක් අය ඒවා අවධානයෙන් කියවපු නිසා වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. මැරතන් එක විතරක්ම නෙමෙයි, බ්ලොග් කියන්නෙ මොනවද කියලා දැනගන්න එකත් මදිද?

හපොයි ලියන්න ගත්තට ලියන්න දෙයක් නෑනෙ බලාගෙන යනකොට මට ඉතින් මේවා ලියන එක එච්චර පහසු දෙයක් නෙවෙයි. වරුණ සහෝදරයා හෙට ලියාවි කියලා හිතෙනවා. එතකොටම කියවන්න බැරියැ හොඳ හොඳ විස්තර ටිකක්

කොහොම කොහොම හරි, බ්ලොග් මැරතන් එක බලන්න/ලියන්න එන්න – ඔබේ පැමිණීම + සහභාගිත්වය අපට ගොඩක් වටිනවා.

Update: හපොයි දැන් නම් කකුල් දෙක රිදෙනවා. ගොඩ කාලෙකට පස්සෙ මෙච්චර ඇවිද්දෙ 😆

Firefox 3 Beta 5 is here!!

ඔව් ෆයර්ෆොක්ස් බීටා 5 නිකුත් වෙලා! ඔබත් ෆයර්ෆොක්ස් හි බීටා අනුවාදයක් පාවිච්චි කරමින් නම් ඉන්නේ, දැන්ම Help මෙනුවේ Check for Updates මත ක්ලික් කරන්න. ස්වයංක්‍රීයවම අලුත් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වී ස්ථාපනය වේවි. ඒත් නැතිනම් මෙතැනින් ලබාගන්න.

අලුත් එකේ මම මුලින්ම දැක්ක ලොකුම විශේෂත්වය තමයි ගූගල් රීඩරයේ මතුවූ අමුතු ඉරි වගයක් දැන් නොපෙනීම. ඒක නම් ලොකු සැනසීමක් 😆

අලුත් විශේෂාංග පිළිබඳව සම්පූර්ණ Release Notes මෙතැනින් ලබාගන්න.

වැඩිදුර කියවීමට: ෆයර්ෆොක්ස් 3 සහය නොදක්වන Addons ධාවනය කරන හැටි / ෆයර්ෆොක්ස් 2 හා 3 එකවර ධාවනය කරන හැටි

All Hail Firefox! 😀

Update: ෆයර්ෆොක්ස් 3 බීටා 5 පෝර්ටබල් අනුවාදය නිකුත් කරලා! මේ අනුවාදය ෆයර්ෆාක්ස් 2 සමග කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතැනින් ලබාගන්න: portableapps.com