නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.

මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.

Prey

ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

Prey Report

එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam

පාවිච්චි කරලා බලන්න 🙂

[Prey]

මගේ මීඩියා සෙන්ටරේ

මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් ලියන්න හිතුණා.

මේක බොහොම සරල එකක් විදියට තමයි වැඩ කරන්නෙ. අලුතෙන් මොනවත් ගත්තෙ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලම තමයි.

පරිගණකය: AMD Sempron 2500+ එකක්. (1.4GHz) – 1GB RAM, 40GB HDD (ඒකත් පරණ එකක්. හැබැයි දැනට පාවිච්චි වෙන්නෙ විස්සයි. අනිත් පාටිෂන් එකේ මැක් දාලා තියෙන්නෙ), NVIDIA GeForce FX 5200 ග්‍රැෆික් කාඩ් එකක්, සීඩී ඩ්‍රයිව් එකක් (DVD ඩ්‍රයිව් එකක් දාගන්න ‍ඕන වෙලාවක)

Bluetooth Remote
Bluetooth Remote
අනික් උපාංග: Creative 2.1 එකක් සද්ද වලට 😀 කීබෝඩ් නැතුව පහසුවෙන් පාලනය කරන්න Bluetooth ඩොන්ගල් එකක් සහ ජංගම දුරකථනය සමග මං හදාගත්තු HID Profile එකක්

මෘදුකාංග: වින්දොස් එක්ස්පී සහ XBMC

මං දැනට පාවිච්චි කරල තියෙන මීඩියා සෙන්ටර් මෘදුකාංග වලින් මං කැමතිම XBMC වලට තමයි. පහසුකම් ගොඩක් හොඳයි. ලස්සන තීම් වගයකුත් තියෙනව. ඒත් ගොඩක් ඒව හදලා තියෙන්නෙ HD වලට. ඒත් එක තීම් එකක් හම්බවුණා SD වලට හරියන විදියට හදපු. ඒ හින්ද අවුලක් නෑ. HD ඩිස්ප්ලේ එකක් තිබ්බනම් හැබැයි නියමෙට තියේවි. 😀

ටීවී එකට මේක හයි කරල තියෙන්නෙ නිකං Composite Video කනෙක්ෂන් එකකින්. ටීවී එක කොහොමත් SD හින්ද ඉතිං අවුලක් නෑ.

කරන්න පුළුවන් වැඩ: ෆිල්ම් බලන්න පුළුවන් කරදරයක් නැතුව. සිංදු අහන්නත් පුළුවන්. දැන් තියෙන කම්පියුටරේ එක්ක නෙට්වර්ක් කරල තියෙන හින්ද මේකෙ තියෙන ඒවත් කිසි කරදරයක් නැතුව බලන්න අහන්න පුළුවන්. තාම ඩීවීඩී ඩ්‍රයිව් එකක් දාලා නැති හින්ද අනික් මැසිමෙ ඩීවීඩී ඩ්‍රයිව් එකෙන් තමයි තැටි බලන්නෙ.

XBMC වලට හරියන්න හදපු HID Profile එක දැම්මට පස්සෙ ෆෝන් එකෙන් බ්ලූටූත් හරහා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි. XBMC වලට ප්ලගින්, ස්ක්‍රිප්ට් අම්බානක් එන හින්ද YouTube, Last.fm සහ විවිධ සේවා ගොඩක් ලබාගන්න පුළුවන්.

ඔන්න වීඩියෝ එකකුත් දැම්මා. මේක තියෙන තැන නම් සුද්ද කරලා දාන්න ඕන. කැලෑවක් වගේ 😀

පින්තූර:

XBMC SVN Repo Installer
XBMC SVN Repo Installer
XBMC Music
XBMC Music

පිස්සුව වැඩි වුණාවත්ද?

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ ගැන ආරංචි වෙන්නත් ඇති 😀

මේක පිළිවෙලකට අලුත් කරගන්නකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ. කොහොමහරි ඒකත් ඉවරයි. ඉතින් ඊටපස්සෙ මොකද කළේ? දැම්මා මැකින්ටොෂ්. ඕක කරගන්න තමයි ගොඩක්ම මග බලාගෙන හිටියෙ. ඒ වැඩෙත් ලස්සනට වුණා. නෑ. එහෙමමත් නෙවෙයි 😀 දෙතුන් පාරක් දාන්න වුණා පොඩි මැටි වැඩ ටිකක් කරන්න ගිය නිසා. 10.5.2 දැම්මට පස්සෙ වීඩියෝ වැඩ කළේ නෑ හරියට. ඒ කියන්නෙ කාඩ් එකේ ඩ්‍රයිවර් අවුලක්. හොයලා හොයලා අන්තිමට හම්බවුණු විසඳුමට 10.5.5 තියෙන්න ඕනලු. ඉතින් අන්තර්ජාලෙන් හොයාගත්ත පරණ ක්‍රමයකට 10.5.6 වලට යාවත්කාල කරන්න ගිහින් ඔක්කොම අලවුණා. මං ඉතින් නිකං හිටියෙ නෑ. ආයෙත් ට්‍රයි කළා. දෙතුන් පාරක් ඔහොම වුණාට පස්සෙ ආයෙ පොඩ්ඩක් හොයල බලද්දි 10.5.6 වලට යන්න පැච් වගයක් හම්බවුණා. ඒ ටික දැම්මට පස්සෙ වැඩේ හරිගියා. ඒකට වීඩියො ඩ්‍රයිවරේ දැම්මම ඒකත් වැඩ. Resolution මාරු කරද්දි පොඩි අලයක් එනවා. ඒක නම් රීස්ටාට් කරාම හරියනවා. එවෙලෙ මවුස් එකයි යතුරුපුවරුවයි වැඩ නොකර ගිය හින්දා ටිකක් තදවුණා. ඒකටත් පැච් එකක් දැම්මා 😀

ඉතින් මට දැන් වින්ඩෝස් එක්ස්පී ඇති වෙලා තියෙන හින්දා ඒකටත් මොකක්හරි කරන්න ඕන කියලා ඊයෙ විස්ටා දැම්මා. මල්ලි නම් ඕක දාන්න එපා මොකද එදාම අයින් කරන්න ඉඩ තියෙනවා කියලා. මාත් ඉතින් නෑ එහෙම වෙන්නෙ නෑ කිය කිය දැම්මා. මොකද වුණේ? කොහොමත් පැය කීපයක් ඇතුළත ඒක ඇතිවුණා 😀 ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා වින්ඩෝස් 7. මල්ලි ඒක දානවටත් කැමති වුණේ නෑ මොකද මේක බීටා එකක් හින්ද. මං ඉතින් නිදහසට කරුණු ගොඩක් ඉදිරිපත් කරා. පොර convince වෙන්නෙම නෑ. හික්. කොහොම වුණත් මං වින්ඩෝස් 7 වලට කැමතියි. එකම අවුලකට තියෙන්නෙ මේක බීටා හින්දා අගෝස්තු වල අල වෙන එක.

ඉතින් පහුගිය දවස් ටිකේ මෙහෙයුම් පද්ධති 4 දැන් තුනකට බැහැලා තියෙන්නෙ. මැක්, වින්ඩෝස් 7 සහ මින්ට්. මින්ට් නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ දැන්. හදිසියකට මිසක්.

ඔහොම තමයි ඉතින් මේ දවස් වල.

අද ටවුමට ගිහින් ආව. මේ දවස් වල දළදා ප්‍රදර්ශනේ හින්දා පුදුම සෙනගක් ඉන්නෙ. උදේ දහය එකොළහ වෙනකොට පෝලිම් පිරිලා ඉවරයි. මහා දිග පෝලිම්. ටවුමෙ වාහන තදබදයත් මේ දවස් වල ටිකක් වැඩියි. අද ඊයෙ එහෙම උදේ හොඳට පායනවා. මාර රස්නෙයි. ‍ඒත් හවස් වෙනකොට අනිවාර්යයෙන් වහිනවා.

ඉතිං ඔච්චර තමයි. ආයෙ වෙලාවක තව මොනහරි ලියන්නම්. 🙂

ෆයර්ෆොක්ස් සඳහා ක්‍රෝම් තේමාව – Chrome Theme for Firefox

ගූගල් ක්‍රෝම් බොහොම ලස්සන බව දැකලා ඇති නේදැ? කොහොම වුණත් මං දැනට ඒක ප්‍රාථමික බ්‍රවුසරය විදියට පාවිච්චි කරන්නෙ නෑ (තවම) ඒත් අපේ සුපුරුදු ෆයර්ෆොක්ස් සඳහා ඒ පෙනුම (බොහෝ දුරට) ගෙන එන්න පුළුවන් තේමාවක් ගැන දැනගන්න ලැබුණා.

‍ඒ ChromiFox මගින්. මේ තේමාව මගින් ක්‍රෝම් හි තියෙන පෙනුම ෆයර්ෆොක්ස් වෙත ලබාගන්න පුළුවන් (හපොයි ඒක දැන් කිව්වනෙ) නරකම නෑ.

Address Bar එකට ක්‍රෝම් පෙනුම ගන්න Locationbar2 කියන ඇඩෝනය පාවිච්චි කරන්න පුළුවන්. (මං ඒක නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරනවා.)

දැනට නම් මේ තේමාව ලබාගන්න Log in වෙන්න ඕන. ඒකට mozilla.org හි ලියාපදිංචි වෙන්න ඕන. නැතිනම් bugmenot පාවිච්චි කරන්න 😉

[ChromiFox] via Lifehacker

උණුසුම් පුවත්: Chrome අලයක්!

ඔන්න ඒකට නම් වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)

මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.

මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද? 😀

[Serious Security Flaw in Google Chrome]