සම්පත් වෙබ්කාඩ්

ඔන්න අද සම්පත් බැංකුවෙන් ඉල්ලපු වෙබ්කාඩ් එක අරන් ආවා. විසේසයක් නෑ. ඩොමේන් එකකුත් ගත්තා. (වෙන පොඩි වැඩකට – ළඟදිම ඒ ගැනත් කියන්නම්) හපොයි ලියන්න ගත්තු ගමන් විදුලිය නැතිවුණා නෙව.

කොහොම හරි මේ කාඩ්පත කළමනාකරණය කරන්න සම්පත් බැංකුවේ eWallet පාවිච්චි කරන්න පුළුවන් කියා තිබ්බ හින්දා ඒකෙ ගිණුමකුත් හදාගත්තා. කොහෙද ඒක හරියට වැඩ කරන්නෙ නෑනෙ. මේක පාවිච්චි කරපු කවුරුවත් ඉන්නවද? ඒක හරියට වැඩ කරනවද?

(ආ ඒ පාර විදුලිය ආවා)

පහුගිය දවස් ටිකේම යාළු මිත්‍රයො ඇහුවා මොකෑ ලියන්නෙ නැත්තෙ කියලා. හැබෑට බ්ලොග් එක තියෙනවා කියලත් අමතක වෙලා තිබුණෙ. ලියන්න හිතුණෙ නෑ. කාලෙන් කාලෙට එහෙම වෙනවා. 😀

මොබිටෙල් නැවත ලියාපදිංචිය

හැමදාම නැවත ලියාපදිංචි කරන්න මොබිටෙල් යද්දි කිලෝමීටරයක් විතර දිගට පෝලිමක් තියෙන නිසා හැමදාම වැඩේ අත ඇරලා ගෙදර එනවා. ඒත් අද ක්ලාස් තිබ්බා හින්දා කලින් ගියා වෙන වැඩකටත් එක්ක. ගියාට පස්සෙ දැනගන්න ලැබුණා පන්තිය අදට අවලංගු කරලා. මං ඉතින් වෙන කරන්න වැඩකුත් නොතිබුණු නිසා ගියා මොබිටෙල් එක පැත්තට. උදේ නවයට විතර හින්දා පෝලිමක් පෙනුණෙ නෑ. උඩ තට්ටුවට නැගලා බැලුවම ඇතුළේ විස්සක් විසිහපහක් හිටියා. මං ඉතින් ඇතුළේ පොඩ්ඩක් කැරකෙනකොට ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ඇහුවා ‘ආයෙ රෙජිස්ටර් කරන්නද?’ කියලා. මං ඉතින් ඔව් කිව්වම හැඳුනුම්පතේ කොපියක් අරන් එන්න කිව්වා. උඩ තට්ටුවේ පොටෝකොපි මැසිමක් (photocopier) නෑ වගෙයි. පල්ලෙහා තට්ටුවෙ නම් තියෙනවා වගේ මතකයි. ඉතින් මක් කොරන්නද ගිහිල්ලා කොපියක් අරගෙන ආවා.

ආවට පස්සෙ පොඩි පෝලිමක වාඩිවෙන්න වුණා. එතැන නම් වැඩි දෙනෙක් හිටියෙ නෑ. මං ඉතින් වාඩිවෙලා අයිපොඩ්ඩත් කනේ ගහගෙන සින්දු අහ අහ හිටිය. කොහොමහරි ඉතින් මගේ වාරේ ආවම එතැන හිටපු කෙනා ෆෝන් එකෙන්ම පින්තූරයක් ගත්තා. මගේ දුරකථන අංකයත් අහගෙන තව පෝරමයක් දුන්නා තඩි කාඩ්බෝඩ් කෑල්ලකුත් එක්ක.

අනිත් පෝලිමට ගියා. එතැන ඉඳන් කාඩ්බෝඩ් කෑල්ල උඩ පෝරමය තියාගෙන ඒක පිරෙව්වා. නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය etc.

ලියාපදිංචි කරන්න හතරදෙනෙක් විතර හිටියා. කොහොමහරි පුරවලා ඉවර වෙනකොටම ලියාපදිංචි කරගත්තු එක්කෙනෙක් නැගිටලා ගියා. මං එතැනට ගිහින් පෝරමය දුන්නා. ඉතින් කීබෝඩ් එකේ මොනවද කොටලා නොම්මරේ ආයෙමත් අහලා ලිපිනයත් ආයෙමත් අහලා පුංචි කාඩ් එකක නමයි හැඳුනුම්පත් අංකයයි සිම් අංකයයි ලියලා දුන්නා. ඒක තාවකාලික එකක්.

ම් ඉතිං එතරම් කරදරයක් නෑ. පැය බාගයක් විතර යන්න ඇති වැඩේට. හැබැයි වැඩේ ඉවරවෙනකොට පෝලිමක් හැදිලා වගෙයි. ඉතින් එතන දොරෙන් එන්න දුන්නෙ නෑ. අනිත් පැත්තෙ පඩිපෙළෙන් බැහැලා ආවා එළියට.

අද නම් පුදුම රස්නයක් තියෙන්නෙ. දාඩිය පෙරෙනවා. ඩෙවොන් එකෙන් අයිස් කෝපි එකක් දෙන්න කියලා කිව්වම දුන්නෙ උණු නෙස්කැෆේ එකක්. හපොයි 😀

වර්ඩ්ප්‍රෙස් 2.6.1

වර්ඩ්ප්‍රෙස් සඳහා නව යාවත්කාලීන කිරීමක් ඇවිත්. 2.6.1 මගින් විවිධ සැකසුම් හැටක් (60) පමණ සකසන බවයි ආරංචිය. දැන් ටිකකට කලින් යාවත්කාලීන කළා.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමේ වැඩකටයුතු කෙරීගෙන යනවා. මේ දවස් ටිකේ නම් අල්ලන්න බැරිවුණා. කොහොමහරි ඉක්මණට ඉවරයක් කරගන්න ඕන.

http://wordpress.org/development/2008/08/wordpress-261/

පිස්සාගේ අයිපොඩ් එක!

මොකට කියනවද ඉතින් මං අයිපොඩ් එකක් ගත්තනෙ! හික් 😀 කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි. මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක. මේක එකපාරටම ආපු හැඟීමක්. එකක් ගන්න තදටම අවශ්‍ය වුණා. කොහොම කොහොම හරි ගිගාබයිට් හතරක අයිපොඩ් නැනෝ එකක් ගත්තා දැන් දවස් දෙක තුනකට කලින්.

ඇත්තටම මේක මහ විකාර වැඩක් කියලා තමයි හැමෝම කිව්වෙ. මටත් ඉතින් තීරණයක් ගන්න‍ අමාරු නිසා දන්න හැමෝගෙන්ම ගන්නද එපාද කියලා ඇහුවා. ගොඩක් අය ඉතින් එපා කියලා තමයි කිව්වෙ. කොටින්ම කියනවනම් මල්ලිත් පැහැදිළි opinion එකක් දුන්නෙ නෑ. ඇත්තටම ඉතින් අපරාදෙ කියලත් හිතුණා. ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා. සිංගර් මෙගා එකේ තියෙනවා කියලා දැනගත්ත ගමන් ගිහින් ගත්තා එකක් 😛 මං මුලින් හිතාගෙන හිටියෙ Zen වගේ එකක් ගන්න.

ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා. ගොඩක් සිහින්. හැබැයි පිටුපස glossy ගතිය වැඩි නිසා තදට ඇඟිලි සලකුණු හිටිනවා. ගෙදර ගෙනැල්ලා වින්ඩෝස් මගින් තමයි අටවගත්තෙ. ප්‍රථම වතාවට iTunes ටිකක් වැඩිපුර පාවිච්චි කරලා බැලුවා. හැබෑටම ඒක වරදක් නෑ. මං ගාව තිබ්බෙ පරණ iTunes අනුවාදයක්. ඉස්සෙල්ලම අයිපොඩ් එකේ මෘදුකාංග යාවත්කාලීන කළ නිසා අලුත් iTunes අනුවාදයත් ගන්න සිදුවුණා.

මුල් වරට ක්‍රියාත්මක කරද්දි ඇතිවුණු හැඟීම පුදුමාකාරයි. මොකද අයිපොඩ් තිරයේ කියන්න බැරි තරම් විශිෂ්ට පෙනුමක් තිබුණු නිසා. ශබ්දයේ තත්ත්වයත් වරදක් නැහැ. මගේ ජංගම දුරකථනයට වඩා ගොඩක් හොඳ ශබ්ද තත්ත්වයක් තියෙනවා. අද පොඩි in-ear headphone එකකුත් ගත්තා. (ඒක නම් එතරම්ම හොඳ එකක් නෙවෙයි වගේ. ඒත් නුවර මේවා හොයාගන්න අමාරුයිනෙ 😛 ) කොහොම වුණත් මම උසස්ම තත්ත්වයේ ඒවා පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන කියන්න අමාරුයි.

ලිනක්ස් වලිනුත් පාවිච්චි කරලා බැලුවා. Mint මගින් හඳුනගෙන ස්වයංක්‍රීයවම Rhythmbox ක්‍රියාත්මක කළා. ලෙඩක් නැතිව ක්‍රියාත්මක වෙනවා වගෙයි 🙂

දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්. ආපු මුල් දවස් වල අයිපොඩ් නැනෝ එකේ cover flow පොඩ්ඩක් අල වෙලා තිබුණු බවක් වෙබ් අඩවි කිහිපයක දැක්කා. ඒත් මම අලුත් අප්ඩේට් එක දාපු නිසාද කොහෙද එහෙම දෝෂ දැක්කෙ නැහැ.

ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා 😆 ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො. පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.

ආ අර හිසරදය තත්ත්වය නම් අඩු වැඩි වෙනවා. කට්ටිය කියන්නෙ දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න කියලා. ඒත් යන්න කම්මැලියිනෙ 😀