යුද්දෙට යන්න

මේක කාලෙකට කලින් සිදුවෙච්ච දෙයක්. අපි දවසක් කොළඹ ගිහින් එන ගමන තමයි මේ සිදුවීම දැක්කේ. කොයි හරියෙද වුණේ කියලා මතක නෑ. අපි ආපු බස් එක overtake කරගෙන හමුදා ලොරියක් ගියා. එතකොට බස් එක නවත්තලයි තිබුණේ. ඒ නවත්තලා තිබුණු තැන තිබුණු පුංචි කඳු ගැටයක් උඩ හිටගෙන හිටපු පොඩි මල්ලි කෙනෙක් මෙහෙම කෑගැහුවා: “අයියා යුද්දෙට යන්න අපිත් එනවා” ඒ මල්ලිගෙ මූණ සතුටෙන් පිරිලා, සිනහව ඉතිරෙනවා ඇස් වලින්. මට එවෙලේ දැනුණ හැඟීම පුදුමාකාරයි.

මම පවර්ඩීවීඩී අත්හැර දැමූ හැටි

මං ඒ කාලෙ බොහොම ආසාවෙන් පාවිච්චි කරපු මෘදුකාංගයක් තමයි පවර්ඩීවීඩී. කොටින්ම කියනවා නම් මම ඒකට සිංහල භාෂා පැකේජයකුත් හැදුවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඒත් මේ ළඟකදි මං ඒක සම්පූර්ණයෙන්ම අතහැරියා.

දැන් මම පාවිච්චි කරන්නෙ VLC සහ මීඩියා ප්ලේයර් ක්ලැසික් තමයි. මේ මෘදුකාංග දෙක නියමෙට ඩීවීඩී ධාවනය කිරීම කරන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. දෙකම පාවිච්චි කරන්නෙ අවස්ථාවෙ හැටියට තමයි. මීඩියා ප්ලේයර් ක්ලැසික් එකට AC3Filter මගින් ලැබෙන සහය නිසා ඩීවීඩී වල ශබ්ද ගොඩක් හොඳින් ලබාගන්න පුළුවන්. මං ගාව තියෙන්නෙ ස්ටීරියෝ ස්පීකර් නිසා (සබ්වූෆරයක් තිබුණත්)

මීඩියා ප්ලේයර් ක්ලැසික්: http://sourceforge.net/projects/guliverkli
AC3Filter මෙතැනින් ලබාගන්න පුළුවන්: http://ac3filter.net/projects/ac3filter

නිදිමත ඩබල් වී යන වෙලාවේ

දැන් නම් මාර නිදිමතයි. නිදිමත ඩබල් වගෙයි. ඒ වුණාට මීට වඩා නිදිමතින් හිටපු වෙලාවල් තියෙනවා 😀

ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට. මම හිතාගෙන හිටියේ නම් ෆුල් ජොලියේ ලියන්න පුළුවන් වේවි කියලා – ඒත් මාර සීරියස් වැඩක්නෙ බලාගෙන යනකොට. ලේසි නැහැ. ඇයි දෙයියනේ පැය 24ක්! පිස්සු හැදෙනවා! 😀

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ 😉

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

DivX/Xvid වීඩියෝ සඳහා උපසිරැසි

දැන් ලංකාවට චිත්‍රපටි වල ඩීවීඩී එන එක අම්බානක අඩුයි කියලා ආරංචි තියෙන නිසාත්/ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන නිසාත් ගොඩක් අය අන්තර්ජාලයෙන් චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන්න පෙළඹෙනවා. මට නම් ඩවුන්ලෝඩ් කරන්න වාසනාවක් නෑ – ඒත් ඉතින් වාසනාව තියෙන අයටයි මේක.

සාමාන්‍යයෙන් DivX/Xvid චිත්‍රපටයක් ලබාගත්තාට පස්සේ ඒකට උපසිරැසි දාගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ උපසිරැසි අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. .srt ගොනුව වශයෙන් තමයි ‍තියෙන්නෙ. opensubtitles.org මේවා හොයාගන්න නියම තැනක්.

මේ උපසිරැසි චිත්‍රපටයට එක්කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි VLC මීඩියා ‍ප්ලේයර් එක පාවිච්චි කරන එක. (http://www.videolan.org/vlc)  VLC දැනට ලොව පුරා ජනප්‍රිය බොහෝ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මක නියම මීඩියා ප්ලේයර් එකක්.

අනිත් ක්‍රමය තමයි DirectVobSub – මේක උපසිරැසි පෙන්වන්නට හැකියාව තිබෙන DirectShow Filter එකක්. මේක ගොඩක් හොඳින්ම වින්ඩෝස් මීඩියා ‍ප්ලේයර්, මීඩියා ‍ප්ලේයර් ක්ලැසික් සහ තවත් ප්ලේයර් සමග පාවිච්චි කරන්නට පුළුවන්. ඩීවීඩී වලට වඩා මේ ක්‍රමයේ තියෙන වාසිය අපට කැමති විදියට අකුරු රටා, සෙවණැලි, ෆොන්ට්, අවුට්ලයින්, පෙන්වන තැන ආදිය වෙනස් කරමින් අපට අවශ්‍ය විදියට උපසිරැසි සකසගන්න පුළුවන්.

කෝපි එක බීලා ඉවරයි. නිදිමතයි දැන් හෙණට.