ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි 😉 කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ.
අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් තිබ්බ ජාල අල ගොඩකුත් පැමිණිලි කිරීම් වලින් පස්සේ විසඳුවා. ඉතින් මොකද දැන් මේ ආයෙමත් මොබිටෙල් ගැන ලියන්නෙ? මගේ ට්විටර් එක එහෙම බලන අය නම් දන්නවත් ඇති දැන්. මොබිටෙල් ආයෙමත් අල වෙලා! දැන් Youtube පැත්තෙ ගිහින් විඩියො එකක් බලන්න ලෑස්ති වුණේ. විඩියෝ බැලිල්ල තියා පිටුවවත් හරියට ලෝඩ් වෙන්නෙ නෑ. ඉතින් ටිකක් තරහ ගිය නිසා මේක ලියල දාන්න හිතුවේ.
සාමාන්‍යයෙන් උදේට තරමක වේගයකින් සම්බන්ධතාවය වැඩ කළත් හවස හයෙන් පස්සේ නම් මේකෙ කිසිම දෙයක් කරන්න බැහැ. බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් කියල හිතන්නවත් බැරි තරමට මේකෙ වේගය අඩු වෙනවා. නිකං ඩයල් අප් වගේ. සමහර වෙලාවකට හිතෙනව ඩයල් අප් මීට වඩා හොඳයි කියලා 😀
ඉතින් මේ පාරත් පැමිණිලි කළා. ඉංජිනේරු අංශයෙන් දෙතුන් පාරක් කතාකරලා විස්තර ඇහුවත් තවම නම් කිසිම විසඳුමක් පැත්ත පළාතකවත් නෑ. හවස් වෙනකොට මේක රීඩයල් කරන එකයි, පිටු refresh කරන එකයි තමයි වැඩේ.
ටික දවසකට කලින් මේ පැත්තෙ ඉන්න යාලුවෙකුත් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තා. ඒත් මේකෙ අල හින්ද එයාගෙ වැඩෙත් මේකට බනින එක තමයි. දවසක් එකම තැනක තියල සම්බන්ධතා දෙක පරිගණක දෙකකින් ක්‍රියාත්මක වෙද්දි, මගේ එක තරමක් වේගයෙන් වැඩ කරත් ඒකෙ වේගය ගොඩක් අඩු තත්ත්වයක තිබුණ. එවෙලෙ කතා කරල පැමිණිල්ලක් දැම්ම, ඊටපස්සෙ මොනව වුණාද කියල නම් තාම දන්නෙ නෑ.
කොහොම කොහොම හරි මේ දවස්වල මොබිටෙල් පාවිච්චි කරන හැමෝගෙන්ම වගේ ඇහෙන්නෙ මැසිවිලි තමයි.
ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ මේ ළඟකදි ඉඳන් දෙන අලුත් උපහාර පැකේජ මේකට බලපානවා ඇති කියලයි. එක සම්බන්ධතාවයකට තවත් සම්බන්ධතා ගොඩකුත්, දත්ත සම්බන්ධතාවයකුත් තමයි මට මතක හැටියට මේ දවස්වල දෙන්නෙ. මං දන්න ගොඩක් උපහාර පාවිච්චි කරන අය මේවා ගත්තා කියල ආරංචියි. ජාලයට දරන්න බැරි තරම් සම්බන්ධතා දෙනකොට ඒක අල වෙන එක පුදුමයක් නෙවෙයිනෙ 😀
එහෙම තමයි ඉතින් මේ දවස් වල තොරතුරු. මොබිටෙල් අල. මෙච්චර දවස් හොඳට තිබ්බ ජාලෙට මක් වුණාද?








