ගූගල් ටෝක් ලැබ් අනුවාදය

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. 😀 යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! 😉

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. 😆

Google Talk Labs Edition

ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක තුනක් පාවිච්චි කළා. මම වැඩිපුරම කැමති Forecastfox එකට තමයි. Forecastfox ඒකට අවශ්‍ය කාලගුණ තොරතුරු ලබාගන්නෙ AccuWeather.com මගින්.

අපට ඕනෑ හැටියට අලුත් කාලගුණ වාර්තා, දැනට පවතින කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි සියල්ලම ලස්සනට ලබාදෙන්නෙ මේ පුංචි වැඩකාරයාට පුළුවන්. මං මේක පාවිච්චි කරන්න තවත් හේතුවක් තමයි අපේ මහනුවර පළාතත් හොයාගන්න පුළුවන් වුණු එක නිසා. කොහොම වුණත් ලංකාවේ කාලගුණ වාර්තා වලට වඩා මේකෙන් ගොඩක් හොඳ වාර්තා ලබාදෙනවා කියලා මට හිතෙනවා 😉

සාමාන්‍යයෙන් ලැබෙන අයිකන තේමාව ගොඩක් ලස්සනයි. ඒත් ඒකට කැමති නැතිනම් වෙනත් එකක් දාගෙන බලන්නත් පුළුවන්. තෝරගන්නා ගොඩක් තේමා තියෙනවා. මේකෙන් අපට රේඩාර් මගින් ලැබෙන පින්තූරත් නරඹන්නට පුළුවන්.
ස්ථාපනය කරගෙන බලන්න. ෆයර්ෆොක්ස් වැඩ කරන ඕනෑම තැනක වැඩ.

Forecastfox

මැරතන් ඇරඹුනා!

ඔන්න ඉතින් අපි ගොඩක් කල් ලකලෑස්ති වුණු සිංහල බ්ලොග් මැරතන් අද රාත්‍රියේ ඇරඹුණා. දැන් ඉතිං පැය 24ක් පුරා ලියන්නයි තියෙන්නෙ. හැකි විදියට හැකි දේවල් ලියන්නයි ලෑස්තිය. දැන් ඉතිං මැරතන් එක බලන්නයි තියෙන්නෙ!

අද උදේ ටවුමට ගිහින් වෙබ් කැමරාවකුත් අරගෙන ආවා ජොලියෙ ලියන්න. පරිගණකය තියෙන මේසයත් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා පරිගණකය ඇතුළත් සුද්ධ කළා. හපොයි තිබිච්ච දූවිලි ගොඩ! පිස්සු හැදෙනවා දැක්කම!

හවස ටිකක් නිදාගත්තා. වැඩිය නිදාගන්න හම්බවුණේ නෑ හැබැයි.

දැන් නම් පොඩි හිසරදයක් එනවා වගේ දැනෙනවා. කමක් නෑ ෆුල් ට්‍රයි දෙනවා කොහොමහරි දිගටම ඉන්න. 😀

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
– දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/