ජීමේල් වෙතින් අලුත් ආරක්ෂක විශේෂාංග

ජීමේල් මගින් අලුත් ආරක්ෂක විශේෂාංග ටිකක් එකතු කරලා. ඔබේ ගිණුමටත් එකතු වෙලාද බලන්න ජීමේල් හි පහළම බලන්න. එතැන තියෙනවා නම් Last Account Activity කියලා එකක් ඔබටත් ඒ විශේෂාංග ලැබිලයි තියෙන්නෙ. මේ මගින් කෙරෙන්නෙ ඔබේ ජීමේල් ගිණුම විවෘත වෙලා තියෙන අනික් තැන් පෙන්වීම සහ ජීමේල් ගිණුමේ භාවිතය පිළිබඳව සටහන් තබාගැනීම තමයි.

දැන් හිතන්න කැෆේ එකකින් ජීමේල් ගිණුමට ප්‍රවේශ වෙලා ඒකෙන් signout වෙන්නෙ නැතුව ගෙදර ගියා කියලා. එතැන පැහැදිළිවම ආරක්ෂක ගැටලුවක් තියෙනවා නේද? ඇයි එතැනින් කවුරුහරි අපේ පණිවිඩ බැලුවොත් එහෙම? 😆 මේ වගේ වෙලාවකදී ගෙදරින් ජීමේල් වලට පිවිසිලා ජීමේල් විවෘත වෙලා තියෙන අනෙක් තැනේ සැසියෙන් signout වෙන්න මේ විශේෂාංගය මගින් පුළුවන්.

ඔබේ ජීමේල් ගිණුමට තවත් කවුරුහරි හොට දානවද කියලා බලාගන්නත් මේක හොඳ ක්‍රමයක්. මොකද ජීමේල් වෙත ප්‍රවේශ වුණු සියලුම වෙලාවල් මේ මගින් සටහන් කර තියෙන නිසා. ප්‍රවේශ වුණු ආකාරයත් (POP3, SMTP, ජංගම දුරකථනය සහ බ්‍රවුසරය මගින්), දිනය සහ වේලාවත් පිළිවෙලට සටහන් කෙරෙනවා.

මේ විශේෂාංගය තවමත් ලැබිලා නැතිනම් තව ටික දවසකින් ලැබේවි.

චැහ් මාර තිබහක් තියෙන්නෙ. වතුර බිව්වට තිබහ යන්නෙ නෑ වගේ. තේකකුත් තියෙනවා බොන්න කම්මැලියි 😀

[Remote sign out and info to help you protect your Gmail account]

තවත් අධෝරක්ත පින්තූර

විශ්වගේ ඉටිපන්දම් එළියෙන් ගත් පින්තූර ටික බලලා මමත් ඉටිපන්දම් එළියෙන් තවත් පින්තූර ටිකක් ගත්තා. ප්‍රසාන් කිව්ව වැඩේ නම් හරිගියේ නැහැ. ඒ පින්තූර ෆ්ලිකර්හි තියෙනවා. එතැනින් බලාගන්නත් පුළුවන්. මේ මුල් පින්තූරයට ආලෝකය ඉටිපන්දමකින්.

IR

මේකට ආලෝකය IR LED එකකින්.

IR

ප්‍රින්ටරේ යකා නැටීම

හික් යූටියුබ් එකට වීඩියෝ ටිකක් දාන්න හිතුණා සුදාරක මලයගේ නිදාගැනීමේ වීඩියෝ එක දැක්කට පස්සෙ. හැබැයි බලාගෙන යනකොට දාන්න දෙයක් නෑ. ඉතින් මං මට හිනායන වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන්නෙ මගේ ප්‍රින්ටරේ වැඩිම වේගයෙන් මුද්‍රණය කරනකොට කඩදාසි විසිකරන හැටි 😛

අධෝරක්ත කැමරාව

මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද? 😆 වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.

ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක තමයි. ඊටපස්සෙ කළු පැහැයෙන් තියෙන ෆිල්ම් කෑල්ලක් තියලා පරණ විදියටම හදපු එකයි කළේ. ප්‍රතිඵලය දැක්කම මටත් පුදුම හිතුණා.

මේ ඉන්නෙ මම. ඇත්තටම ඇඳගෙන ඉන්නෙ නිල් පාට ටීෂර්ට් එකක්. ඒත් පේන්නෙ අමුතු විදියට නේද? 😀

මේ තියෙන්නෙ රුපියල් සීයේ නෝට්ටුවක ඉදිරිපස සහ පිටුපස. හෙහ් මේක හොර නෝට්ටු අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?

තව පින්තූර ටිකක් පස්සෙ දාන්නම්.

මෙන්න තව එකක්. මේ ඉන්නෙ මගේ මලයා. ඔය අතේ තියෙන්නෙ ඇන්ටනාවේ දුරස්ථ පාලකය. ඒකෙන් නිකුත් වෙන්නෙත් අධෝරක්ත කිරණයක්නෙ. චැහ් මාර එළියක්නෙ තියෙන්නෙ 😛

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා.

කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, ඡේද, වගන්ති පහසු ක්‍රමයකට හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීම තමයි. සාමාන්‍යයෙන් චැට් මෘදුකාංගයකට මහා දිග වචන තොගයක් ලියන එක යවන කෙනාටත්, ලබාගන්න කෙනාටත් ලොකු කරදරයක්. ‍විශේෂයෙන්ම ලබන කෙනාට. මොකද අර පුංචි චැට් කවුළුව ඇතුළේ මහා දිග හෑල්ලක් කියවන්න ගියාම එපාවෙන නිසා. ඒ කරදරයෙන් බේරෙන්න TinyPaste හොඳ ක්‍රමයක්.

tinypaste.com වෙබ් අඩවියට ගියාම ඔබට පෙනේවි Paste Bin එකක්. මෙතැනට අවශ්‍ය දේ පිටපත් කරලා submit මත ක්ලික් කරාම ඔබට ලැබෙනවා කෙටි ලිපිනයක්. දැන් ඔබට කරන්න තියෙන්නේ ඒ ලිපිනය අවශ්‍ය කෙනාට ලබාදෙන එක විතරයි. ඒ ලිපිනයට ගියාම ඔබ කලින් පිටපත් කළ ලේඛනය පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

වැඩේ තවත් පහසු කරගන්න ඒ මගින් ‍ෆයර්ෆොක්ස් සඳහා ඇඩෝනයකුත් ලබාදෙනවා. ඒකත් ඒ අඩවියෙන්ම ලබාගන්න පුළුවන්. ඇඩෝනය ස්ථාපනය කළාට පස්සේ අපට අවශ්‍ය ඡේදය තෝරගෙන right-click කළාම මතුවන මෙනුවෙන් TinyPaste selected text මත ක්ලික් කරන්න පුළුවන්. එතකොට ස්වයංක්‍රීයවම අවශ්‍ය කටයුත්ත සිදුවේවි.

මෙන්න උදාහරණයක්: http://tinypaste.com/9ff58 😉

TinyPaste