Google Chrome

ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා.

අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම අතපත ගාලා බැලුවෙ නෑ දැන් පන්තියට දුවන්න ඕන.

මං දැනට screenshot ටිකක් දානවා. වැඩි විස්තර සඳහා චිත්‍රකතාවට යන්න. ලබාගන්න http://www.google.com/chrome වෙත යන්න. විශේෂාංග ගැන දැනගන්න මෙතැනට යන්න.

මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම

මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.

මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.

අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.

මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?

මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ 😉 කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.

ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.

අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි 😀

සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. 😀

Windows XP Service Pack 3

Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි.

වින්ඩෝස් සඳහා සර්විස් පැක් 3 අප්‍රේල් 29 දින නිළ වශයෙන් නිකුත් කරන්නට නියමිතයි. ඒත් ඊට කලින්ම මයික්‍රොසොෆ්ට් මගින් එය නිෂ්පාදකයන් වෙත නිකුත් කරලා ඇති බවයි ආරංචිය. ඔබටත් එය ලබාගන්නා තෙක් ඉවසිල්ලක් නැතිනම් දැන් සොෆ්ට්පීඩියා හා මේජර්ගීක්ස් මගින් එය ලබාගන්නට පුළුවන්. 😉 මේ සර්විස් පැක් 3 හි අවසන් නිළ සංස්කරණයයි.

MajorGeeks හා Softpedia මගින් ලබාගන්න.

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ 😉

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

ගූගල් ටෝක් ලැබ් අනුවාදය

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. 😀 යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! 😉

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. 😆

Google Talk Labs Edition