සෆාරි යෑම | Going on a Safari

ඔන්න අද චාමර අයියගෙ උපදේශය අනුව දැම්මා සෆාරි. කලින් පාවිච්චි කරලා තිබුණත් සිංහල හරියට වැඩ කළේ නැති හින්දා වැඩි කලක් පාවිච්චි කරේ නැහැ. මේ ළඟදි අප්ඩේට් කළ බව ආරංචියි. හැහ්, සිංහල ටයිප් කරනකොට පොඩි ලෙඩක් නම් තියෙනවා. කමක් නැහැ.

Safari 

මට නම් ගොඩක්ම ආසා හිතුනේ සිංහල අකුරු පේන විදිය. Anti Aliasing. මාර ලස්සනයි. මං ස්ක්‍රීන්ෂොට් එකකුත් අප්ලෝඩ් කරන්නම්. වේගයෙත් වෙනසක් දැනෙනවා. ෆයර්ෆොක්ස් ට වැඩිය වේගයෙන් ‍පිටු ලෝඩ් වෙනවා. තව ටික දවසක් පාවිච්චි කරලා බලලා අලුත් තොරතුරු ලියන්නම්. 

ෆයර්ෆොක්ස් 3 සහය නොදක්වන Addons ධාවනය කරන හැටි

Firefoxෆයර්ෆොක්ස් 3 බීටා 4 දැනට ඇවිල්ලා තියෙන හින්දා ආයෙමත් බල බල ඉන්නෙ නැතුව මමත් ඉන්ස්ටෝල් කරගත්තා. මේ දවස් වල නම් පාවිච්චි කරන්නෙ ඒකම තමයි. බීටා නිසා ලෙඩ දෙක තුනක් නැතුව නෙවෙයි. ඒත් ෆයර්ෆොක්ස් වෙත ලබා දීලා තියෙන අලුත් පෙනුමට මම ගොඩක් කැමතියි.

ෆයර්ෆොක්ස් 3 අවසන් අනුවාදය ළඟදීම නිකුත් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නෙ.

කොහොම හරි, පාවිච්චි කරලා බලන්න තියෙන ආසාව නිසා ෆයර්ෆොක්ස් 3 ඉන්ස්ටෝල් කරගත්තා. ෆයර්ෆොක්ස් 2 Profile එකට හානියක් නොවී ෆයර්ෆොක්ස් 3 ධාවනය කරන ක්‍රමයකුත් ලැබුණු නිසා දැනට ප්‍රශ්නයක් නැහැ. ‍ඒ ගැන මම කලින් ලියලා ඇති. මෙතැනින් ඒ ලිපිය ලබාගන්න පුළුවනි. මේ ක්‍රමය නිසා එකවරම ෆයර්ෆොක්ස් 2 හා 3 ධාවනය කරන්න පුළුවන්.

ඊළඟට ආපු ලොකුම ප්‍රශ්නෙ Addons. මම කැමති ඒවා තොගයක්ම තිබුණත් සමහරක් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සඳහා සහය දක්වන්නෙ නැහැ. මේ ප්‍රශ්නයටත් විසඳුමක් හොයාගත්තා.

ඒකට කරන්න තියෙන්නෙ Extension ගැලපුම් පරික්ෂාව අක්‍රිය කරන එකයි. කරන්නෙ මෙහෙමයි:

  • මුලින්ම අලුත් ටැබ් එකක් විවෘත කරලා about:config යන්න ටයිප් කර එන්ටර් කරන්න.
  • I’ll be careful, I promise! මත ක්ලික් කරන්න 😀
  • දැන් පරණ about:config එකටම ඒවි. මෙතැන රයිට් ක්ලික් කර New -> Boolean මත ක්ලික් කරන්න.
  • දැන් මතුවන කවුළුවේ extensions.checkCompatibility යන්න ටයිප් කර OK මත ක්ලික් කරන්න.
  • ඉන්පසුව මතුවන කවුළුවේ false ක්ලික් කර OK මත ක්ලික් කරන්න.
  • කලින් කළ විදියටම extensions.checkUpdateSecurity නමින් තවත් එකක් සාදා එයත් false ලෙස සකසන්න.

දැන් ෆයර්ෆොක්ස් 3 නැවත ආරම්භ කළාට පස්සේ පැරණි addons සාමාන්‍ය විදියටම ස්ථාපනය කරගන්නට පුළුවන් වේවි. හැබැයි පරිස්සමින්. මොකද මේ වැඩේ හින්දා ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් වෙන්නත් පුළුවන්. මට නම් checkUpdateSecurity එක නැවත true වෙත සකසන්න වුණා ක්‍රෑෂ් වුණ නිසා.

බැරිවෙලාවත් මේ වැඩෙන් පස්සේ ෆයර්ෆොක්ස් ලෙඩ දෙන්න ගත්තොත්, ඒක සකසගන්න ඔබේ ෆයර්ෆොක්ස් profile ෆෝල්ඩරයට ගිහින් (ඒක සාමාන්‍යයෙන් වින්ඩෝස් වල නම් තියෙන්නෙ C:\Documents and Settings\Your Name\Application Data\Mozilla\Firefox\Profiles කියන ෆෝල්ඩරයේ) එතැන ෆයර්ෆොක්ස් 3 සඳහා යොදාගන්න Profile ෆෝල්ඩරය විවෘත කරන්න. එතැන තියෙන prefs.js කියන ගොනුව නෝට්පෑඩ් මගින් විවෘත කරන්න.

එතැනින් මෙන්න මේ සැකසුම් දෙක සොයාගන්න.

user_pref(“extensions.checkCompatibility”, true);
user_pref(“extensions.checkUpdateSecurity”, true);

හොයාගෙන true කියන අගය false ලෙස සකසා save කර වසා දමන්න. ඉන්පස්සේ ෆයර්ෆොක්ස් 3 ආරම්භ කරන්න. දැන් නම් ප්‍රශ්නයක් නැති වේවි.

ඒත් ලෙඩ දෙන්න ගත්තොත් (හපොයි 🙄 ) තව වැඩක් කරන්න පුළුවන්. ෆයර්ෆොක්ස් 3 ආරක්ෂක ප්‍රකාරයෙන් ආරම්භ කරලා සියලුම addons ක්‍රියාවිරහිත කරන එක. මේකට දැන් ඔබ පාවිච්චි කරන්නෙ ‍ෆයර්ෆොක්ස් 2 හා 3 දෙකම ධාවනය කරන ක්‍රමය නම්, ඒ අලුත් Shortcut එකේ පිටපතක් අරන් – එහි Properties වෙත ගිහින් Target වෙත -safe-mode යන අලුත් වදන ඇතුල් කරන්න. දැන් ඉතින් OK මත ක්ලික් කරලා ඒ shortcut එකෙන් ෆයර්ෆොක්ස් විවෘත කරන්න.

හපොයි, මේක හිතුවාටත් වැඩිය දිග වැඩිවුණා. මෙච්චර ලෙඩ ගොඩකට අත දාන්නෙ නැතුව නිකං හිටියා නම් හොඳයි කියලා සමහරවිට හිතෙනවත් ඇති. ඒත් ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ? මමත් දැන් ඔය හොඳට පාවිච්චි කරන්නෙ? ඔන්න ඔහෙ ට්‍රයි එකක් දීලා බලන්න. කෝකටත් ඔය Profile ෆෝල්ඩරයේ පිටපතක් තියාගන්න. 8)

All Hail Firefox!

ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක් – ClockX

ClockX

ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකටත් හොඳවයින් ඔරලෝසුවක් දාගන්න වෙලාව හරි 🙂

මේක ටික කලකට කලින් හොයාගන්න ලැබිච්ච නියම මෘදුකාංගයක්. නම ClockX. විශේෂාංග ගොඩයි. දැන් කියන්න යන්නේ ඒ ගැන.

මේක සාමාන්‍ය ඔරලෝසුවක්. ඩෙස්ක්ටොප් එකේ ක්‍රියාත්මක වෙන ඇනලොග් ඔරලෝසුවක්. ඔරලෝසු වලට කැමති පින්තූර යොදාගන්න පුළුවන්. png, bmp වර්ග වල. සාමාන්‍ය භාවිතයේදී වැයවෙන්නේ මෙගාබයිට් 4ක් විතරයි. මම නම් මේකට ගොඩක්ම කැමති ඒකේ තියෙන උසස් තත්ත්වයේ අන්තර්ක්‍රියා නැත්නම් advanced window options නිසා.

මේ ඔරලෝසුව ක්‍රියාත්මක කරනකොට අපට අවශ්‍ය විදියට ඒ කවුළුව සකසගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේක ඩෙස්ක්ටොප් එක මත තියනවනම්, ඩෙස්ක්ටොප් එකට පින් කරන්නත්, සැමවිටම ඉහළින් තියන්නත්, ඒ මත ක්ලික් කරනකොට ඔරලෝසුව ක්ලික් නොවී ඊට යටින් තියන අයිතමය ක්ලික් වෙන්නත්, වැරදීමකින් හෝ ඔරලෝසුව එහාමෙහා වීම නවත්තන්නත් විශේෂාංග රැසක්ම මෙහි තියෙනවා. විනිවිද පෙනන භාවය, මවුසය ඒ මතින් යනවිට විනිවිද පෙනන භාවය වෙනස් කරන්නත් පුළුවනි.

ඊට අමතරව කැලැන්ඩරයකුත්, එලාම් ක්‍රමයකුත් මෙහි තියෙනවා. සාමාන්‍ය ඔරලෝසුවක් වගේම තමයි. එලාම් එක නියමිත වෙලාවට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ධාවනය කරන්නත්, පරිගණකය වසාදමන්නත්, ඕනෑම සංගීත ගොනුවක් හෝ වීඩියෝ ගොනුවක් ධාවනය කරවන්න පුළුවනි.

සාමාන්‍යයෙන් ඔරලෝසු සඳහා පින්තූර 30ක් විතර ලැබෙනවා. තවත් පැකේජයක් තියෙනවා තවත් පින්තූර අවශ්‍යනම්. එතැනින් තවත් පින්තූර 170ක් පමණ ලබාගන්නට පුළුවනි.

[ClockX]

ඔරලෝසුව දාගන්න කලින්: ඔබේ පරිගණකයට ලොව නිවැරදිම වෙලාව ලබාගන්න හැටි

ෆොටෝෂොප් CS4? Photoshop CS4?

Stonehenge

Cybernet වෙත නිර්නාමික ලෙස එවූ පණිවිඩයක Photoshop CS4 (Codename: Stonehenge) පිටපතක් ‘ලීක්’ වී ඇති බව සඳහන් කර තිබුණා. ලිපිය ලියූ රයන්ට අනුව දැනටමත් බිට්ටොරන්ට් අඩවි වල මෙහි Setup සොයාගන්නට ඇති බව ආරංචිය. රයන්ට ලිපිය එවූ තැනැත්තා ඒ සමග තිර පිටපතක්ද එවා තිබුණා (Screenshot) ඉහළින් දැක්වෙන්නේ එයයි.

Cybernetnews මගිනි.

CPU උෂ්ණත්වය බලාගන්න CoreTemp | Check your CPU Temp with CoreTemp

CoreTemp

CoreTemp Tray

ඔබේ ප්‍රොසෙසර ධාවනය වන උෂ්ණත්වය දැනගන්න සාමාන්‍ය මෘදුකාංග කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මම දෙක තුනක් පාවිච්චි කරලා තියෙනවා ඒත් ඒවායේ පහසුකම් අනවශ්‍ය විදියට වැඩියි. (Bloated) අද How-To-Geek හි සඳහන් කර තිබුණා මේ කටයුත්තට ගැළපෙන නියම මෘදුකාංගයක් ගැන. නම CoreTemp. මට නම් පේන්න තිබුණු ලොකුම විශේෂත්වය මේක හිතන්න බැරි තරම් කුඩා මෘදුකාංගයක් වීම තමයි. සාමාන්‍ය ධාවනයේදී කිලෝබයිට් 800ක් පමණයි මේ මෘදුකාංගයට වැයවෙන්නේ. Startup ෆෝල්ඩරයට පිටපත් කළොත් වින්ඩෝස් ආරම්භ වෙනකොට ස්වයංක්‍රීයවම ආරම්භ වෙන්නට සකසන්න පුළුවන්.

Update: මේක මගේ එකේ වැඩකරන්නේ නැහැ.

[CoreTemp]

How-To-Geek මගිනි.