නොදන්නා ගීත හඳුනාගන්න Tunatic | Identify Music with Tunatic

Tunatic කියන්නේ මට ළඟදී හොයාගන්න ලැබුණු නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ අපට ඇසෙන ඕනෑම ඉංග්‍රීසි ගීතයක නම හා ගායකයා කවුදැයි සොයා දීමයි. මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට රේඩියෝ එකේ හදිසියකට ඇහෙන ගීතයක් කියන්නේ කවුද, ගීතය මොකක්ද කියලා හොයාගන්න අවශ්‍ය වුණොත් මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. අවශ්‍ය වෙන්නේ මයික් එකකුත් අන්තර්ජාල සම්බන්ධයකුත් විතරයි. පරිගණකයේ රේඩියෝ ටියුනර් එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Recording සැකසුම් වල Stereo Mix හෝ Mono Mix තෝරාගන්නට වෙනවා.

Tunatic

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම මැක් වල ධාවනය කරන්නට පුළුවන්.

[Tunatic]

ඔබේ ප්‍රොසෙසරයේ සියලු විස්තර දැනගන්නා හැටි | How to Get Info about your processor

CPU-Z

තමන් පාවිච්චි කරන ප්‍රොසෙසරයේ විස්තර දැනගන්න නම් System Properties පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඊට වඩා පුළුල් විස්තර ලබාගන්න අවශ්‍ය වුණොත් ඒක කරන්න හොඳම මෘදුකාංගය තමයි CPU-Z කියන්නේ. ප්‍රමාණයෙන් කිලෝබයිට් 512 ක් විතර වෙන මේ කුඩා මෘදුකාංගයට හැකියාව තිබෙනවා ඔබේ ප්‍රොසෙසරයේ, කෑෂ් මතකයේ, මව්පුවරුවේ හා මතකය පිළිබඳව තොරතුරු රැසක් ලබාගන්නට. ස්ථාපනය කරන්නට අවශ්‍ය නොවන කුඩා .exe ගොනුවකුත්, .ini ගොනුවකුත් පමණයි මෙය ධාවනය අවශ්‍ය වන්නේ. ඒ නිසා ෆ්ලෑෂ් ධාවකයකට පිටපත් කරගෙන ඕනෑ තැනක ගෙනයන්නත්, ඕනෑම වින්ඩෝස් ධාවනය වන පරිගණකයකින් එම පරිගණකයේ විස්තර ලබාගන්නත් ‍CPU-Z පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.

[CPU-Z]

විනැම්ප් හි Jump-to-File විශේෂාංගය | Jump-to-File in Winamp

Jump To File

මම ගීත රසවිඳින්න කැමතිම මෘදුකාංගය විනැම්ප්. අහ්, පුංචි කාලෙ ඉඳන්ම! මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින් තිබ්බ අපේ පරිගණකයට දාලා තිබුණු විනැම්ප් සංස්කරණය. විනැම්ප් 2 වෙන්න ඕන. සිංදු නම් වැඩිය තිබුණෙ නෑ. ඒත් මං ගොඩක් ආසාවෙන් ඒක පාවිච්චි කළේ. දැන් විනැම්ප් තියෙන්නේ 5.52 සංස්කරණයේ. විශේෂාංග අතින් දැන් විනැම්ප් ගොඩක් ඉදිරියට ඇවිත්.

Jump To File

විනැම්ප් වල මගේ ප්‍රියතම විශේෂාංගය තමයි Jump-To-File කියන්නේ. මම ඒකට කැමති වෙන්න හේතුවත් ඒකම තමයි මේ පහසුකම මගින් ඕනෑම ගීතයක් ඕනෑම වෙලාවක ඉතාමත් පහසුවෙන් මාරු කරගන්නට පුළුවන්. සාමාන්‍ය විදියට නම් Playlist එකක් පුරා අතින් හොයලා Play කරන්න වෙනවා. නැතිනම් iTunes, Foobar2000 වල වගේ සෙවුම් පහසුකම පාවිච්චි කරන්න වෙනවා. මං ඒ දෙකටම කැමති නැහැ. 🙂

විනැම්ප් වල Jump-To-File භාවිතය හරිම පහසුයි. තමන් වෙනත් වැඩක් කරමින් ඉන්නවා නම්, Alt+Tab මගින් විනැම්ප් වෙත මාරු ව

ෙලා යතුරුපුවරුවේ J යතුර ඔබන්න විතරයි තියෙන්නේ. එතකොට විනැම්ප් Jump-To-File කවුළුව විවෘත වෙනවා. ඉන්පස්සේ අපට අවශ්‍ය සිංදුවේ නමේ ඕනෑම කොටසක්, ගායකයා, ඇල්බමයේ නම වැනි දෙයක් ටයිප් කළ විගසම ඒ ගීතය තෝරා දෙනවා. ඉන්පස්සේ Enter කරන්නට විතරයි අවශ්‍ය. විනැම්ප් ඒ ගීතය වාදනය කරනවා. ඔබත් තවම පාවිච්චි කරන්නේ අර එපාකරපු jetAudio 😉 වගේ මෘදුකාංගයක් නම් වෙනසකටත් එක්ක විනැම්ප් පාවිච්චි කරලා බලන්න.

වින්ඩෝස් පාවිච්චි නොකරන වෙලාවට විනැම්ප් Taste එක තියෙන මෘදුකාංගයක් පාවිච්චි කරන්න තමයි මම කැමති. ඒ නිසා උබුන්ටු පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම Audacious තමයි. Jump-To-File විශේෂාංගය එයිනුත් ලබාගන්න පුළුවන්.

පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 2 කොටස | Cool Utilities to Clean your PC: Part 2

2. තැටි පිරිසිදුකරණය | Disk Cleaning

 

JDiskReport පාවිච්චි කරලා බැලුවද? දසුන් කියා තිබුණා තවත් ඒ වගේ මෘදුකාංගයක් වන SpaceMonger ගැන. ඒකත් ගොඩක් හොඳයි.දැන් පරිගණකය පිරිසිදු කිරීමේ මෘදුකාංග ටිකක් හොයලා බැලුවොත් හොඳයි. වින්ඩෝස් පාවිච්චි කරනකොට එකතුවෙන කුණු ගොඩවල් නිසා පරිගණකයේ වේගය සැලකිය යුතු විදියට අඩුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට වින්ඩෝස් සමග Disk Cleanup ලැබුණත් මෙමගින් කෙරෙන්නේ බොහොම සරල පිරිසිදු කිරීමක් විතරයි. මේ කටයුත්තට එන වෙනත් මෘදුකාංග වලින් සමහර වෙලාවට ඕන නැති කුණු ගොඩවල් ස්ථාපනය කරන නිසාත්, ඒ මෘදුකාංග ඉතා විශාල වීම නිසාත් අපට අවශ්‍ය කටයුත්ත හරියට ඉටු නොවෙන්න තිබෙන අවස්ථා වැඩියි.

මම දැන් ටික කලක ඉඳන් මේ වැඩේට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි CCleaner. මේ නමේ තේරුම Crap Cleaner කියන එකයි. 😀 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CCleaner කසළ සුද්ද කිරීම බොහොම ඉහළින් කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස්, ඔපෙරා, වින්ඩෝස් හි විවිධ අපද්‍රව්‍ය හා තවත් මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පිරිසිදු කිරීමත්, වින්ඩෝස් රෙජිස්ට්‍රිය පිරිසිදු කිරීමත් මෙමගින් පහසුවෙන්ම කරන්නට පුළුවන්. ඉතා විශිෂ්ට මෘදුකාංගයක් විදියට සම්මාන රැසක් ලබාගෙන ඇති මේ මෘදුකාංගය මෙගාබයිට් 2.6 ක පමණ ඉතා කුඩා ඩවුන්ලෝඩ් කිරීමක්.

[CCleaner]