විශිෂ්ට වෝල්පේපර සඳහා Interfacelift

අනේ වෙලාවකට ටවුමෙ ඇවිදිද්දි සමහරුන්ගෙ කම්පියුටර් දකිනකොට දුක හිතෙනවා. ඇයි හැම තැනම දකින්න තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සමග එන සාමාන්‍ය කසිකබල් Bliss වෝල්පේපරය විතරයි. ගොඩක් අය වෙන එකක් දාගන්න වැඩි කැමැත්තක් නැති පාටයි. ඔව් ඉතින් හොඳ වෝල්පේපර හොයාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. අන්තර්ජාලයේ ඕනෑතරම් වෝල්පේපර තිබ්බට ගොඩක් ඒවා කසිකබල්. දැක්කම එපාවෙනවා. ගොඩක් ඒවා දැක්කම අර තියෙන එක හොඳයි කියලා හිතෙන්නෙ.

දැන් ඉතින් මදෑ මේ කියෙව්වා. මෙන්න නියම වෝල්පේපර අඩවියක්. ඇත්තටම ගොඩක් හොඳ වෝල්පේපර තොගයක් මෙතැනින් ලබාගන්න පුළුවන්. මේක නිකං කිව්වට හරියන්නෙ නෑ. ගිහිල්ලම බලන්න ඕන. 😀

වෝල්පේපර විතරක් නෙවෙයි. මෙතැනින් අයිකන්, තීම්ස් හෙවත් තේමා තොගයක්ම ලබාගන්න පුළුවන්.

ඔන්න ඒකෙ වෝල්පේපරයක එක thumbnail එකක් දැම්මා. ගිහිල්ලා බලන්න තව කොච්චර ඒවා හොයාගන්න පුළුවන්ද බලන්න 😉

Interfacelift

චැහ් දැන් නම් ඇස් දෙක රිදෙනවා. LCD මොනිටරයක් ගත්තනම් හොඳයි කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

මයික්‍රොසොෆ්ට් මහත්වරු

මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. අද ගියා කම්පියුටරේජ් එකට වෙබ්කැම් එක ගන්න. ඒගොල්ලො දැන් ව්‍යාජ මෘදුකාංග විකුණන්නේ නැහැ. ඔරිජිනල් ඒවා පමණයි. ඒ නිසා එතැන ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිං‍හලෙන් ගහන්න ගියාම එපාවෙනවා) එකේ ලොකු පෝස්ටරයක්. පෝස්ටරේ ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පාවිච්චි කිරීමේ වාසි.

හරියටම මතක නැහැ. මෙහෙම එකක් තිබුණා: ව්‍යාජ මෘදුකාංග ඔබේ දත්ත විනාශ කරයි! අපොයි භයානකයි නේද? 😀 ඒකෙ දාලා තියෙනවා ඉතින් තවත් විස්තර ගොඩක්. අප්ඩේට් කරන්න ලේසියි, හොඳ සපෝට් එකක් තියෙනවා ආදී වශයෙන්. ඒත් මට හොඳටම මතක හිටියේ මෙන්න මේක: විනාශකාරී වෛරස් වලින් ආරක්ෂාව!

හපොයි කවදා ඉඳන්ද මයික්‍රොසොෆ්ට් ‍එකේ මෘදුකාංග වලට වෛරස් වලින් ආරක්ෂාව ලැබුණේ? දන්නෝ දනිත්! 😆

මැරතන් දිවිල්ල

ෂැක් ලියන්න ගත්තට කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැනෙ! 😀 දැන් නම් බඩගින්නකුත් එනවා. නිදිමත නම් එතරම් තද නැහැ ඒ හින්දා ගාණක් නැහැ. කාලිංග අයියා දාලා තියෙන්නෙ රේඩියෝ එකක් – ඒකෙ සින්දු අහමින් ලියනවා ඔළුවට එන එක එක ඒවා. චැහ් විනාඩි 15 මදියි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් අපේ IRC චැනලය නම් මාර ජොලි. හැමෝම වගේ ජොලි කතා කිය කියා පිස්සු නටමින් ඉන්නෙ! සුදාරක මලයා විහිළු කර කර ඉන්නෙ ඔය. අනේ ලියන්න දෙයක් නෑනේ!!! මොකද කරන්නෙ?

ගූගල් ටෝක් ලැබ් අනුවාදය

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. 😀 යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! 😉

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. 😆

Google Talk Labs Edition

ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක තුනක් පාවිච්චි කළා. මම වැඩිපුරම කැමති Forecastfox එකට තමයි. Forecastfox ඒකට අවශ්‍ය කාලගුණ තොරතුරු ලබාගන්නෙ AccuWeather.com මගින්.

අපට ඕනෑ හැටියට අලුත් කාලගුණ වාර්තා, දැනට පවතින කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි සියල්ලම ලස්සනට ලබාදෙන්නෙ මේ පුංචි වැඩකාරයාට පුළුවන්. මං මේක පාවිච්චි කරන්න තවත් හේතුවක් තමයි අපේ මහනුවර පළාතත් හොයාගන්න පුළුවන් වුණු එක නිසා. කොහොම වුණත් ලංකාවේ කාලගුණ වාර්තා වලට වඩා මේකෙන් ගොඩක් හොඳ වාර්තා ලබාදෙනවා කියලා මට හිතෙනවා 😉

සාමාන්‍යයෙන් ලැබෙන අයිකන තේමාව ගොඩක් ලස්සනයි. ඒත් ඒකට කැමති නැතිනම් වෙනත් එකක් දාගෙන බලන්නත් පුළුවන්. තෝරගන්නා ගොඩක් තේමා තියෙනවා. මේකෙන් අපට රේඩාර් මගින් ලැබෙන පින්තූරත් නරඹන්නට පුළුවන්.
ස්ථාපනය කරගෙන බලන්න. ෆයර්ෆොක්ස් වැඩ කරන ඕනෑම තැනක වැඩ.

Forecastfox