නව වර්ඩ්ප්‍රෙස් අනුවාදය | The New WordPress is here!

ඔව් වර්ඩ්ප්‍රෙස් 2.5 නිකුත් වෙලා. අද උදේ අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. මුලින්ම දැකපු වෙනස අලුත් අනුවාදයේ Dashboard එක නම් ගොඩක් දුරට දැන් වෙනස් බව තමයි. යාවත්කාලීන කිරීම එතරම් අපහසු කාර්යයක් වුණේ නෑ. ඒ වුණත් කෝකටත් පරණ ගොනු සියල්ලේම පිටපතක් තියාගන්න එක හොඳයි. අලුත් විශේෂාංග මොනවදැයි තවමත් හොයා බැලුවේ නෑ, කොහොම වුණත් ප්ලගින්ස් ස්වයංක්‍රීයව යාවත්කාලීන කරන ක්‍රමයක් නම් තියෙනවා. තවත් විස්තර පසුවට. සම්පූර්ණ විස්තර WordPress අඩවියේ.

සෆාරිය ගැන අදහස් | Thoughts on Safari

Safariඇපල් සෆාරි අද ස්ථාපනය කළා. ටිකක් පාවිච්චි කරලා බැලුවා. මං මේකෙ ගොඩක්ම කැමති රෙන්ඩරින් වලට තමයි. හරිම ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිංහල අකුරු එක්ක. කොහොම වුණත්, මේක දිගටම පාවිච්චි කරන එක ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ.

කොහොමහරි, මං දැන් කියන්නම් මං ඒකට වැඩිය කැමති නැත්තෙ ඇයි කියලා. ඉස්සෙල්ලම ගත්තොත් තීම් එක. ඇපල් මැක් තීම් එක ගොඩක් ලස්සනයි. ඒත් මේකත් එක්ක ඇපල් එකේ ඒ නියම තීම් එකම එන එකට මම කැමති නෑ. අඩුම තරමේ ඒක මාරු කරගන්නවත් විදියක් තිබුණ නම් හොඳයි. වින්ඩෝස් පරිසරයේදි වෙනස් තීම් එකක් තිබීම හරිම අමුතු වැඩක්.

ඊළඟට පරිශීලක අතුරුමුහුණතේ වේගය. ඒක ගොඩක් මන්දගාමීයි. ෆයර්ෆොක්ස් එක්ක බලනකොට ගොඩක් මන්දගාමියි. ඒ කියන්නෙ මෙනු විවෘත වීම, ස්ක්‍රොල් කිරීම වගේ වැඩකටයුතු. අනිත් එක ස්ක්‍රොල් කිරීම. ෆයර්ෆොක්ස් වල Smooth Scrolling වලට හුරුවෙලා තියෙන නිසා ඒක නැතුව හරිම අමාරුයි. 🙂 තව ඉතින් මැද මවුස් බොත්තම ක්ලික් කරලා පිටුව ස්ක්‍රොල් කිරීමත් කරන්න විදියක් නෑ.

ඒත් දැන්මම සෆාරි අයින් කරන්නෙ නැහැ. තව ටිකක් සෆාරිය ගිහිල්ලා බලන්න ඕන. 😉

සෆාරි යෑම | Going on a Safari

ඔන්න අද චාමර අයියගෙ උපදේශය අනුව දැම්මා සෆාරි. කලින් පාවිච්චි කරලා තිබුණත් සිංහල හරියට වැඩ කළේ නැති හින්දා වැඩි කලක් පාවිච්චි කරේ නැහැ. මේ ළඟදි අප්ඩේට් කළ බව ආරංචියි. හැහ්, සිංහල ටයිප් කරනකොට පොඩි ලෙඩක් නම් තියෙනවා. කමක් නැහැ.

Safari 

මට නම් ගොඩක්ම ආසා හිතුනේ සිංහල අකුරු පේන විදිය. Anti Aliasing. මාර ලස්සනයි. මං ස්ක්‍රීන්ෂොට් එකකුත් අප්ලෝඩ් කරන්නම්. වේගයෙත් වෙනසක් දැනෙනවා. ෆයර්ෆොක්ස් ට වැඩිය වේගයෙන් ‍පිටු ලෝඩ් වෙනවා. තව ටික දවසක් පාවිච්චි කරලා බලලා අලුත් තොරතුරු ලියන්නම්. 

මොබිටෙල් හි නව පෙරගෙවුම් කාඩ්පත

Mobitel Prepaid Card

අම්මා ඊයේ ගෙනත් තිබුණු මොබිටෙල් පෙරගෙවුම් කාඩ්පතක් දැක්කා. අඟල් 2 x 2.25 පමණ වෙන කාඩ්පතක්. නියම අදහසක් කියලයි මුලින්ම දැක්කම හිතුණේ. එනිසා ලියන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් තියෙන කාඩ්පත් වලට වඩා වෙනස් නිමැවුමක්. 😀

ෆොටෝෂොප් එක්ස්ප්‍රස් | Photoshop Express!

මදෑ ඉතින් අලුත් තැනකට දාන්න ගිහින් වෙච්ච හරියක් 😉 දැන් නැවතත් සුපුරුදු කාර්යයන්ට.

ෆොටෝෂොප් (ආයෙ ඉතින් කියන්න ඕන නැහැනෙ?) හි ඔන්ලයින් අනුවාදයක් නිකුත් කරලයි තියෙන්නෙ. ඊයේ මේ ගැන ලියන්න හිටියත් මේ ලෙඩ නිසා ලියාගන්න ලැබුණේ නැහැ. ෆොටෝෂොප් එක්ස්ප්‍රස් නමින් හැඳින්වෙන මේ ඔන්ලයින් අනුවාදය මගින් පොඩි පොඩි වැඩ රැසක් පහසුවෙන්ම කරගන්න පුළුවනි. ෆ්ලෑෂ් 9 මගින් බලගන්වා ඇති මේ සේවාව මගින් ෆොටෝෂොප් හි තියෙන ප්‍රවීණ පහසුකම් සියල්ල ලබාගන්නට බැරිවුණත්, අපේ පින්තූර ගබඩා කර තියන්න, හදිසියකට පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්න, පොඩි පොඩි Touch-ups කරන්න කිසිම ගැටළුවක් නැහැ.

Photoshop Express

පාවිච්චි කරන්න නම් අලුත් ගිණුමක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් Test Run එකක් කරලා බලන්න පුළුවනි පාවිච්චි කරන්න කලින් ඒකෙ විශේෂාංග ගැන දැනගන්න. පරිශීලකයෙකුට ගිගාබයිට් 2ක ධාරිතාවයක් ලැබෙනවා තනි ගිණුමක් සමග. වෙනත් ගිණුම වලින් (ෆේස්බුක්, පිකාසා, ෆොටෝබකට් වැනි) පින්තූර ආනයනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

දැනට එතරම් පහසුකම් තොගයක් නැතිවුණත්, මේ තියෙන ආකාරයේ උපාංග 17ක් පාවිච්චි කරන්න පුළුවනි.

Photoshop Express

[Photoshop Express]