Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
29 Jul
Guitar Hero ගැන අහලා තියනවද? ඒ හුඟක් ප්‍රසිද්ධ ගිටාර් වාදන ක්‍රීඩාවක්. Guitar Hero II ප්ලේස්ටේෂන් 2 සඳහා නිකුත් වීමත් සමග හුඟක් ජනප්‍රිය වුණා. සාමාන්‍ය ගිටාරයක් වැනි උපකරණයකින් ගීත වාදනය කරන්නට හැකියාව ලබාදෙන මේ ක්‍රීඩාව හුඟක් විනෝදජනකයි (ලු)
Gizmodo වගේ තැන් වල මේ ගැන නිතර කතාවෙන හින්දා මං හිතුවා පොඩ්ඩක් මේ ගැන හොයා බලන්න. එතකොට තමයි මේ Frets on Fire කියන ක්‍රීඩාව හොයාගන්න ලැබුණේ. මේ ක්‍රීඩාවත් Guitar Hero ක්‍රීඩාවට සමානයි, ඒත් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් (පරීක්ෂණ) මත ධාවනය වෙනවා. වාදනය කරන්නේ යතුරුපුවරුවෙන්. (ඒකත් නියම වැඩක්, කීබෝඩ් එක උඩුයටිකුරු විදියට අල්ලගෙන වාදනය කරන්න ඕන) අවශ්‍ය නම් සාමාන්‍ය Guitar Hero පාලක පාවිච්චි කරන්නත් පුළුවන්. (ඒවා ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ)
වින්ඩෝස් සඳහා ගොනුව නම් මෙගාබයිට් 32ක් විතර. ඒකත් සමග ගීත තුනක් ලැබෙනවා. තවත් ගීත අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රජාවක් ඉන්න නිසා ගීත සහ mods සිය ගණනක් ලබාගන්න පුළුවන්. මේකත් සමගම එන tutorial එකත් නියමයි. හිනාවෙලා හොඳ පණ ගියා
වැඩිය ලියන්නෙ නෑ බරපතල හිසරදයක් තියෙන නිසා. ස්ථාපනය කරගෙන බලන්න. වරක් සෙල්ලම් කරොත් අත අරින්න හිතෙන එකක් නෑ
Frets on Fire
Frets on Fire wiki (for mods, songs etc.)
25 Jul
ඩයලොග් සම්බන්ධතා වල #132# මගින් අයිතිකරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර ගන්න පුළුවන් බව ආරංචි වුණා. මම අද නිකමට මගේ මොබිටෙල් සම්බන්ධතාවයෙත් මේක ගහලා බැලුවා. මෙන්න බොලේ වැඩ. නම සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙලින්ම ලබාගන්න පුළුවන්.
24 Jul
කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා.
මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි ලියන්නටත්, ඒ ලිපි ලියන කතුවරුන්ට තමන්ගේ ලිපි සඳහා තමන්ගේ නම් ආදිය යෙදීමටත්, වෙනත් අයට අවසර ලබාදීමටත්, ප්‍රතිචාර සහ විචාර සඳහා අවස්ථාව ලබාදීමටත් හැකියාව ලැබෙනවා. පරිශීලකයන්ට ආශ්‍රිත තොරතුරු, විචාර සහ ප්‍රතිචාර ලබාදිය හැකියි.
මෙහි තිබෙන ලිපි වලට පාවිච්චි කරන්නේ ‘නොල්’ කියන නම. මේ නමත් ඉදිරියේදී ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. (විකි වගේ)
පෙනෙන හැටියට නම් ගූගල් නොල් විකිපීඩියාවට හොඳ තරගයක් දෙන හැඩයි.
22 Jul
ඇත්තම කියනවා නම් මේක තරම් නියම සේවාවක් මං ජීවිතේටම දැකලා නෑ. අපි සාමාන්‍යයෙන් පින්තූර හොයන්න පාවිච්චි කරන Google Images වගේ ඒවයෙන් කෙරෙන්නෙ අපි යොදන වචනයට ගැළපෙන පින්තූර හොයන එකනෙ? ඒත් මේ TinEye පින්තූර හොයන්නෙ හිතන්නවත් බැරි විදියකට. ඒ පින්තූර මගින්මයි!
ඔව්, TinEye මගින් ලබාදෙන පින්තූරයට සමාන පින්තූර සහ වෙනස් කළ පින්තූර සොයාදෙන්නට සමත්!
මේ මගින් අපි පාවිච්චි කරන පින්තූරයක් තවත් පාවිච්චි කරන තැන් හොයන්න පුළුවන්. අපේ පින්තූරයක් කවුරුහරි හොරෙන් පාවිච්චි කරනවද දැනගන්නත් පුළුවන්. ඒ පින්තූර වල පොඩි පොඩි වෙනස්කම් පවා TinEye හඳුනාගන්නවා. වැඩේ තවත් පහසු කරන්න ෆයර්ෆොක්ස් හා IE සඳහා ඇඩෝනත් ලබා දෙනවා.අවශ්‍ය නම් බ්‍රවුසරය හරහාම පින්තූර ලබාදෙන්න පුළුවන්. මේ සඳහා සාමාන්‍ය අප්ලෝඩරයකුත්, ෆ්ලෑෂ් මත පදනම් වූ අප්ලෝඩරයකුත් තිබෙනවා.
TinEye දැනට අන්තර්ජාලයේ පවතින පින්තූර 701,666,310 පමණ සුචිගත කර ඇති බව සඳහන්. මේ ගණන ඉදිරියට තවත් වැඩිවේවි.
TinEye දැනට පවතින්නේ බීටා මට්ටමේ. අවශ්‍ය නම් පරික්ෂා කර බලන්න ආරාධනයක් ලබාගන්න පුළුවන්. (මාත් එහෙම තමයි ගත්තෙ)
මේ මගින් කළ නියම සෙවුම් ටිකක් බලාගන්න යන්න මෙතැනට: http://tineye.com/cool_searches
22 Jul
දැන් හැම අන්තර්ජාල සේවාවක්ම වගේ තම තමන්ගේ වෙබ් අඩවි අලුත් කරන්න පටන් අරගෙන වගෙයි. මේ ළඟදී deviantART වෙතත්, Last.fm වෙතත් අලුත්ම පරිශීලක මුහුණත් නිර්මාණය කර තිබුණා. Last.fm කෙසේවෙතත් deviantART හි නව පෙනුම නම් අදහගන්න බැරි තරම් ලස්සනයි, විශිෂ්ටයි.
ඒ අස්සෙ Facebook එකත් අලුත් පෙනුමක් ලබාගන්නයි සූදානම් වෙන්නේ. තවම අවසන් කරලා නැහැ ඒත් අවශ්‍ය නම් http://www.new.facebook.com/ මගින් ඔබට නව සංස්කරණයට පිවිසිලා බලන්න පුළුවන්.
අලුත් විශේෂාංග හැටියට සරල මෙනුව, ටැබ් ක්‍රමය වගේම Publisher Box යන අලුත් විශේෂාංගයත් එක්කර තියෙනවා. දැනට ඉහළින් තියෙන සබැඳුමෙන් අලුත් පෙනුම බලන්න පුළුවනි. ඒත් තව ටික දිනකින් හැමෝටම මේක බලාගන්න පුළුවන් වේවි.
21 Jul
ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න.
පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් පහසුකම සමග සම්පත් බැංකුවේ ගිණුමක් සහ සීඩීඑම්ඒ හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. ලබාගන්න කෙනාටත් ඉතින් දුරකථනයක් තියෙන්න ඕන. මුදල් යවන්න ලබාගන්න කෙනාගේ දුරකථන අංකයත්, ජාතික හැඳුනුම්පත් අංකයත් අවශ්‍යයි.
මුදල යැව්වට පස්සෙ ලබාගන්න කෙනාට කෙටි පණිවිඩයක් ලැබෙනවා.
මං ඉතින් බැංකුවට ගිහිල්ලා අහලා බැලුවා මේක ගන්නෙ කොහොමද කියලා. එතකොට තමයි දැනගත්තෙ ඒටීඑම් යන්තරෙන් කෙලින්ම ගන්න පුළුවන් බව. ඒටීඑම් යන්තරේ වෙනමම Mobile Cash කියලා විකල්පයක් තියෙනවා. ඒක තෝරලා ජාතික හැදුනුම්පතේ අංකයයි, කෙටි පණිවිඩයේ තියෙන රහස් අංකයයි, එවපු ගණනයි සඳහන් කළාම කෙලින්ම මුදල් ලබාගන්න පුළුවන්. ලබාගත්තට පස්සේ තවත් කෙටි පණිවිඩයක් ලැබෙනවා ලබාගත් බවට.
හික් මහලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් බොහොම පහසුයි. සරලයි. ආයෙ පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනත් නෑ. හිතට වැදුණු දෙයක් නිසා ලියන්න හිතුණා.
19 Jul
Last.fm අඩවියට අලුත් පෙනුමක් එකතු වෙලා. හැබැයි එකම ලෙඩේ කවුරුවත් මේ අලුත් පෙනුමට කැමති නැති එක තමයි
අලුත් විශේෂාංග කිහිපයක් නම් එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් පෙනුම ගැන ලියා තිබූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර දැක්කම තමයි පුදුම හිතුණෙ. කවුරුවත්ම කැමති නැහැ වගෙයි මේ අලුත් නිර්මාණයට. ඔබට මොකද හිතෙන්නෙ?
මටත් හිතෙනවා පරණ විදිය හොඳයි කියලා. ඒත් පරණ විදියට මාරු කරන්න නම් දැනට විකල්පයක් නැහැ වගෙයි. චැහ් බලාගෙන යනකොට අලුත් එක ගැන ලියන්න කිසිම දෙයක් නැහැ චගෙයි
17 Jul
සිංහල ෆයර්ෆොක්ස් අනුවාදය නිකුත් කරන්න ඩනිෂ්ක මහන්සි වුණු හැටි අපි හැමෝම දන්නවා. රෑ පුරා නිදිමරාගෙන ඒකෙ වැඩ කටයුතු කළේ ෆයර්ෆොක්ස් 3 නිකුත් කරනකොට කොහොමහරි සිංහල භාෂාව තියෙන අනුවාදයත් ඒ සමග නිකුත් කරන්න. ඒ කටයුත්ත සාර්ථකව කරගන්න හැකිවුණා.
ඒත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? ඩනිෂ්ක මේ තරම් මහන්සි වෙලා වැඩ කරලත් අන්තිමේදී ඒ ගැන මාධ්‍ය වල ගිය තොරතුරු සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. දැන් අපට අහන්න ලැබෙන්නෙ ICTA මගින් මේ සිංහල බ්‍රවුසරය සංවර්ධනය කළ බව. මොකක්ද මේ වැඩේ තේරුම?
ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට මේ ප්‍රවෘත්තිය විකාශය වුණු හැටි බලන්න: “මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නව අන්තර්ජාල ගවේෂකයක් සංවර්ධනය කර තිබෙනවා.” මොකක්ද මේ? ප්‍රවෘත්තියත් සම්පූර්ණයෙන්ම වැරදියි නේද?
ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතැනත් බලන්න: http://www.colombopage.com/archive_08/July15191506SL.html
එතැන කියා තියෙනවා “The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) along with the University of Moratuwa officially launched the latest internet browser Mozilla Firefox 3.0 in Sri Lanka today”
මේ කටයුත්ත සාර්ථක කරගන්න මෙතරම් මහන්සි වුණු ඩනිෂ්ක පැත්තක ඉඳිද්දි මේ ප්‍රවෘත්ති මෙහෙම පළවෙන්න හේතුව මොකක්ද? අඩුම තරමේ ඩනිෂ්කගේ නමවත් සඳහන් නොකරන්නෙ ඇයි? ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ?
17 Jul
ෆයර්ෆොක්ස් 3.0.1 යාවත්කාලීන කිරීම නිකුත් කරලා. මේ මගින් සුළු සුළු දෝෂ කිහිපයක් සැකසෙන බවයි ආරංචිය. සිංහල අනුවාදයේත් සුළු වෙනස්කම් කිහිපයක් කර තියෙනවා. දැන්ම යාවත්කාලීන කරගන්න Help -> Check for Updates මත ක්ලික් කරන්න.

Firefox 3.0.1
15 Jul
වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.
සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/
අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/
මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):
හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි. ![]()