මොබිටෙල් මගිනුත් ජාතික හැඳුනුම්පත් විස්තර

ඩයලොග් සම්බන්ධතා  වල #132# මගින් අයිතිකරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර ගන්න පුළුවන් බව ආරංචි වුණා. මම අද නිකමට මගේ මොබිටෙල් සම්බන්ධතාවයෙත් මේක ගහලා බැලුවා. මෙන්න බොලේ වැඩ. නම සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙලින්ම ලබාගන්න පුළුවන්.

විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!

කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා.

මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි ලියන්නටත්, ඒ ලිපි ලියන කතුවරුන්ට තමන්ගේ ලිපි සඳහා තමන්ගේ නම් ආදිය යෙදීමටත්, වෙනත් අයට අවසර ලබාදීමටත්, ප්‍රතිචාර සහ විචාර සඳහා අවස්ථාව ලබාදීමටත් හැකියාව ලැබෙනවා. පරිශීලකයන්ට ආශ්‍රිත තොරතුරු, විචාර සහ ප්‍රතිචාර ලබාදිය හැකියි.

මෙහි තිබෙන ලිපි වලට පාවිච්චි කරන්නේ ‘නොල්’ කියන නම. මේ නමත් ඉදිරියේදී ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. (විකි වගේ)

පෙනෙන හැටියට නම් ගූගල් නොල් විකිපීඩියාවට හොඳ තරගයක් දෙන හැඩයි.

Google Knol

පින්තූර මගින් පින්තූර සොයන TinEye

ඇත්තම කියනවා නම් මේක තරම් නියම සේවාවක් මං ජීවිතේටම දැකලා නෑ. අපි සාමාන්‍යයෙන් පින්තූර හොයන්න පාවිච්චි කරන Google Images වගේ ඒවයෙන් කෙරෙන්නෙ අපි යොදන වචනයට ගැළපෙන පින්තූර හොයන එකනෙ? ඒත් මේ TinEye පින්තූර හොයන්නෙ හිතන්නවත් බැරි විදියකට. ඒ පින්තූර මගින්මයි!

ඔව්, TinEye මගින් ලබාදෙන පින්තූරයට සමාන පින්තූර සහ වෙනස් කළ පින්තූර සොයාදෙන්නට සමත්!

මේ මගින් අපි පාවිච්චි කරන පින්තූරයක් තවත් පාවිච්චි කරන තැන් හොයන්න පුළුවන්. අපේ පින්තූරයක් කවුරුහරි හොරෙන් පාවිච්චි කරනවද දැනගන්නත් පුළුවන්. ඒ පින්තූර වල පොඩි පොඩි වෙනස්කම් පවා TinEye හඳුනාගන්නවා. වැඩේ තවත් පහසු කරන්න ෆයර්ෆොක්ස් හා IE සඳහා ඇඩෝනත් ලබා දෙනවා.අවශ්‍ය නම් බ්‍රවුසරය හරහාම පින්තූර ලබාදෙන්න පුළුවන්. මේ සඳහා සාමාන්‍ය අප්ලෝඩරයකුත්, ෆ්ලෑෂ් මත පදනම් වූ අප්ලෝඩරයකුත් තිබෙනවා.

TinEye දැනට අන්තර්ජාලයේ පවතින පින්තූර 701,666,310 පමණ සුචිගත කර ඇති බව සඳහන්. මේ ගණන ඉදිරියට තවත් වැඩිවේවි.

TinEye දැනට පවතින්නේ බීටා මට්ටමේ. අවශ්‍ය නම් පරික්ෂා කර බලන්න ආරාධනයක් ලබාගන්න පුළුවන්. (මාත් එහෙම තමයි ගත්තෙ) 😀

මේ මගින් කළ නියම සෙවුම් ටිකක් බලාගන්න යන්න මෙතැනට: http://tineye.com/cool_searches

TinEye

Facebook වෙතත් නව පෙනුමක්

දැන් හැම අන්තර්ජාල සේවාවක්ම වගේ තම තමන්ගේ වෙබ් අඩවි අලුත් කරන්න පටන් අරගෙන වගෙයි. මේ ළඟදී deviantART වෙතත්, Last.fm වෙතත් අලුත්ම පරිශීලක මුහුණත් නිර්මාණය කර තිබුණා. Last.fm කෙසේවෙතත් deviantART හි නව පෙනුම නම් අදහගන්න බැරි තරම් ලස්සනයි, විශිෂ්ටයි.

ඒ අස්සෙ Facebook එකත් අලුත් පෙනුමක් ලබාගන්නයි සූදානම් වෙන්නේ. තවම අවසන් කරලා නැහැ ඒත් අවශ්‍ය නම් http://www.new.facebook.com/ මගින් ඔබට නව සංස්කරණයට පිවිසිලා බලන්න පුළුවන්.

අලුත් විශේෂාංග හැටියට සරල මෙනුව, ටැබ් ක්‍රමය වගේම Publisher Box යන අලුත් විශේෂාංගයත් එක්කර තියෙනවා. දැනට ඉහළින් තියෙන සබැඳුමෙන් අලුත් පෙනුම බලන්න පුළුවනි. ඒත් තව ටික දිනකින් හැමෝටම මේක බලාගන්න පුළුවන් වේවි.

[Facebook’s New Interface Simplifies Profiles]

සම්පත් බැංකුවේ Mobile Cash

ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න.

පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් පහසුකම සමග සම්පත් බැංකුවේ ගිණුමක් සහ සීඩීඑම්ඒ හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. ලබාගන්න කෙනාටත් ඉතින් දුරකථනයක් තියෙන්න ඕන. මුදල් යවන්න ලබාගන්න කෙනාගේ දුරකථන අංකයත්, ජාතික හැඳුනුම්පත් අංකයත් අවශ්‍යයි.

මුදල යැව්වට පස්සෙ ලබාගන්න කෙනාට කෙටි පණිවිඩයක් ලැබෙනවා.

මං ඉතින් බැංකුවට ගිහිල්ලා අහලා බැලුවා මේක ගන්නෙ කොහොමද කියලා. එතකොට තමයි දැනගත්තෙ ඒටීඑම් යන්තරෙන් කෙලින්ම ගන්න පුළුවන් බව. ඒටීඑම් යන්තරේ වෙනමම Mobile Cash කියලා විකල්පයක් තියෙනවා. ඒක තෝරලා ජාතික හැදුනුම්පතේ අංකයයි, කෙටි පණිවිඩයේ තියෙන රහස් අංකයයි, එවපු ගණනයි සඳහන් කළාම කෙලින්ම මුදල් ලබාගන්න පුළුවන්. ලබාගත්තට පස්සේ තවත් කෙටි පණිවිඩයක් ලැබෙනවා ලබාගත් බවට.

හික් මහලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් බොහොම පහසුයි. සරලයි. ආයෙ පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනත් නෑ. හිතට වැදුණු දෙයක් නිසා ලියන්න හිතුණා. 😀

Sampath Mobile Cash