ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක තුනක් පාවිච්චි කළා. මම වැඩිපුරම කැමති Forecastfox එකට තමයි. Forecastfox ඒකට අවශ්‍ය කාලගුණ තොරතුරු ලබාගන්නෙ AccuWeather.com මගින්.

අපට ඕනෑ හැටියට අලුත් කාලගුණ වාර්තා, දැනට පවතින කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි සියල්ලම ලස්සනට ලබාදෙන්නෙ මේ පුංචි වැඩකාරයාට පුළුවන්. මං මේක පාවිච්චි කරන්න තවත් හේතුවක් තමයි අපේ මහනුවර පළාතත් හොයාගන්න පුළුවන් වුණු එක නිසා. කොහොම වුණත් ලංකාවේ කාලගුණ වාර්තා වලට වඩා මේකෙන් ගොඩක් හොඳ වාර්තා ලබාදෙනවා කියලා මට හිතෙනවා 😉

සාමාන්‍යයෙන් ලැබෙන අයිකන තේමාව ගොඩක් ලස්සනයි. ඒත් ඒකට කැමති නැතිනම් වෙනත් එකක් දාගෙන බලන්නත් පුළුවන්. තෝරගන්නා ගොඩක් තේමා තියෙනවා. මේකෙන් අපට රේඩාර් මගින් ලැබෙන පින්තූරත් නරඹන්නට පුළුවන්.
ස්ථාපනය කරගෙන බලන්න. ෆයර්ෆොක්ස් වැඩ කරන ඕනෑම තැනක වැඩ.

Forecastfox

Firefox 3 Beta 5 Easter Egg!

මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.

ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ? 😉

තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla – දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.

මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 😆

Lifehacker මගිනි.

විනැම්ප් මගින් ස්වයංක්‍රීයව mp3 ටැග් සෙවීම | Auto Tagging mp3’s with Winamp

සාමාන්‍යයෙන් කාගෙන් හරි සිංදු තොගයක් ගන්න කොට ගොඩක් වෙලාවට ඒවා පිළිවෙලකට හදලා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබත් ඔබේ ගීත ගබඩාව ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කෙනෙක් නම් මේ වගේ සින්දු ලැබෙන එක හිතට කරදරයක්. සමහර වෙලාවට ඒ ගීත වල ටැග් එක නිවැරදිව නොතිබෙන්න පුළුවන්. අක්ෂර වින්‍යාස වැරදි එහෙම තියෙන්න පුළුවන්. මේවා ඔක්කොම පහසුවෙන්ම හදාගන්න මට ගොඩක් උපකාරී වෙන මෘදුකාංගයක් තමයි විනැම්ප්. දැනට 5.53 අනුවාදයේ තියෙන විනැම්ප් මම අවුරුදු ගණනාවක්ම බොහොම ආසාවෙන් පාවිච්චි කරපු මෘදුකාංගයක්.

මේ කටයුත්ත ක්‍රම දෙකකට කරන්න පුළුවන්. තනි ගීතයක තොරතුරු ස්වයංක්‍රීයව පුරවන්න අවශ්‍ය නම් ප්ලේලිස්ට් එකේ ගීතය මත රයිට්-ක්ලික් කරලා View File Info මත ක්ලික් කරන්න. නැතිනම් කෙලින්ම Alt+3 යතුරු ඔබන්න. එතකොට මතුවන File Info කවුළුවේ තියෙන Auto-Tag බොත්තම මත ක්ලික් කරන්න. මේ වෙලාවෙදී අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රියව තියෙන්නට ඕන. එතකොට විනැම්ප් මගින් Gracenote හි දත්ත ගබඩාවට සම්බන්ධ වී නිවැරදි තොරතුරු ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් OK මත ක්ලික් කරන්න.

ගීත එකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම්: ප්ලේලිස්ට් එකේ හෝ Media Library එකේ අවශ්‍ය ගීත ටික තෝරලා (Shift හෝ Ctrl යතුර පාවිච්චි කරන්න) ඒ මත රයිට් ක්ලික් කරන්න. එතකොට මතුවන මෙනුවෙන් Send to වෙත ගිහින් Auto-Tag මත ක්ලික් කරන්න. එවිට ඒ සියලුම ගීත වල තොරතුරු ස්වයංක්‍රීයව ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් Apply මත ක්ලික් කරන්න.

[Winamp]

වර්ඩ්ප්‍රෙස් 2.5 හි පැරණි වර්ණ තේමාව ලබාගන්නා හැටි

Wordpress Old Color Theme

වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරන ගොඩක් අය දැනටමත් 2.5 වෙත යාවත්කාලීන වෙලා ඇති නේද? අලුත් පෙනුම නම් නියමයි. විශේෂාංගත් ගොඩක් හොඳයි. ඒත් ගොඩ කාලයක් පරණ අනුවාදය පාවිච්චි කරපු අයට පරණ ඩෑෂ්බෝඩ් එක නැතුව පාළුයි වගේ නම් පරණ වර්ණ තේමාව ලබාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා Users ටැබ් එකට ගිහින් ඔබේ පරිශීලක නාමය මත ක්ලික් කරන්න. එතකොට මතුවන ඔබේ පෞද්ගලික විකල්ප පිටුවේ තියෙනවා Admin Color Theme – එයින් පැරණි වර්ණ තේමාවට යන්න පුළුවන්. ඒ වුණත් මම නම් අලුත් තේමාවට කැමතියි. 🙂

වින්ඩෝස් බිත්තර | Win Eggs

WinEggs

වින්ඩෝස් වලින් බිත්තර බදින්නද මේ ලෑස්ති වෙන්නෙ? අපොයි නෑ 😀 මේ කියන්න යන්නෙ අපේ දසුන් සමීර අයියා නිපදවපු WinEggs නම් මෘදුකාංගය ගැනයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු විවිධ විවිධ සැකසුම් සකසන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ WinEggs කියන්නෙ. TweakUI පාවිච්චි කරලා ඇති නේද? මේකත් බොහෝ දුරට ඊට සමාන මෘදුකාංගයක්. නමුත් ඊට වඩා වැඩි පහසුකම් තොගයක්ම තියෙනවා. ලැයිස්තුව ගොඩක් දිගයි. ඒ හින්දා WinEggs වෙබ් අඩවියෙන්ම කියවලා බලන්න. දෙක තුනක් කිව්වොතින්, සාමාන්‍ය වින්ඩෝස් අයිකන් වල නම් වෙනස් කරන්න (Recycle Bin වගේ), විවිධ කෙටි මං අවහිර කරන්න, අක්‍රිය කරන්න, සඟවන්න සැකසුම් තොගයක් මෙමගින් ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් තනි පරිශීලකයෙකුට වගේම පරිගණකයේ සියලු පරිශීලකයන්ට මෙම සැකසුම් බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. WinEggs නොමිලේ බෙදාහැරෙන මෘදුකාංගයක්.

[WinEggs]