වින්ඩෝස් බිත්තර | Win Eggs

WinEggs

වින්ඩෝස් වලින් බිත්තර බදින්නද මේ ලෑස්ති වෙන්නෙ? අපොයි නෑ 😀 මේ කියන්න යන්නෙ අපේ දසුන් සමීර අයියා නිපදවපු WinEggs නම් මෘදුකාංගය ගැනයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු විවිධ විවිධ සැකසුම් සකසන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ WinEggs කියන්නෙ. TweakUI පාවිච්චි කරලා ඇති නේද? මේකත් බොහෝ දුරට ඊට සමාන මෘදුකාංගයක්. නමුත් ඊට වඩා වැඩි පහසුකම් තොගයක්ම තියෙනවා. ලැයිස්තුව ගොඩක් දිගයි. ඒ හින්දා WinEggs වෙබ් අඩවියෙන්ම කියවලා බලන්න. දෙක තුනක් කිව්වොතින්, සාමාන්‍ය වින්ඩෝස් අයිකන් වල නම් වෙනස් කරන්න (Recycle Bin වගේ), විවිධ කෙටි මං අවහිර කරන්න, අක්‍රිය කරන්න, සඟවන්න සැකසුම් තොගයක් මෙමගින් ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් තනි පරිශීලකයෙකුට වගේම පරිගණකයේ සියලු පරිශීලකයන්ට මෙම සැකසුම් බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. WinEggs නොමිලේ බෙදාහැරෙන මෘදුකාංගයක්.

[WinEggs]

ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක් – ClockX

ClockX

ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකටත් හොඳවයින් ඔරලෝසුවක් දාගන්න වෙලාව හරි 🙂

මේක ටික කලකට කලින් හොයාගන්න ලැබිච්ච නියම මෘදුකාංගයක්. නම ClockX. විශේෂාංග ගොඩයි. දැන් කියන්න යන්නේ ඒ ගැන.

මේක සාමාන්‍ය ඔරලෝසුවක්. ඩෙස්ක්ටොප් එකේ ක්‍රියාත්මක වෙන ඇනලොග් ඔරලෝසුවක්. ඔරලෝසු වලට කැමති පින්තූර යොදාගන්න පුළුවන්. png, bmp වර්ග වල. සාමාන්‍ය භාවිතයේදී වැයවෙන්නේ මෙගාබයිට් 4ක් විතරයි. මම නම් මේකට ගොඩක්ම කැමති ඒකේ තියෙන උසස් තත්ත්වයේ අන්තර්ක්‍රියා නැත්නම් advanced window options නිසා.

මේ ඔරලෝසුව ක්‍රියාත්මක කරනකොට අපට අවශ්‍ය විදියට ඒ කවුළුව සකසගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේක ඩෙස්ක්ටොප් එක මත තියනවනම්, ඩෙස්ක්ටොප් එකට පින් කරන්නත්, සැමවිටම ඉහළින් තියන්නත්, ඒ මත ක්ලික් කරනකොට ඔරලෝසුව ක්ලික් නොවී ඊට යටින් තියන අයිතමය ක්ලික් වෙන්නත්, වැරදීමකින් හෝ ඔරලෝසුව එහාමෙහා වීම නවත්තන්නත් විශේෂාංග රැසක්ම මෙහි තියෙනවා. විනිවිද පෙනන භාවය, මවුසය ඒ මතින් යනවිට විනිවිද පෙනන භාවය වෙනස් කරන්නත් පුළුවනි.

ඊට අමතරව කැලැන්ඩරයකුත්, එලාම් ක්‍රමයකුත් මෙහි තියෙනවා. සාමාන්‍ය ඔරලෝසුවක් වගේම තමයි. එලාම් එක නියමිත වෙලාවට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ධාවනය කරන්නත්, පරිගණකය වසාදමන්නත්, ඕනෑම සංගීත ගොනුවක් හෝ වීඩියෝ ගොනුවක් ධාවනය කරවන්න පුළුවනි.

සාමාන්‍යයෙන් ඔරලෝසු සඳහා පින්තූර 30ක් විතර ලැබෙනවා. තවත් පැකේජයක් තියෙනවා තවත් පින්තූර අවශ්‍යනම්. එතැනින් තවත් පින්තූර 170ක් පමණ ලබාගන්නට පුළුවනි.

[ClockX]

ඔරලෝසුව දාගන්න කලින්: ඔබේ පරිගණකයට ලොව නිවැරදිම වෙලාව ලබාගන්න හැටි

CPU උෂ්ණත්වය බලාගන්න CoreTemp | Check your CPU Temp with CoreTemp

CoreTemp

CoreTemp Tray

ඔබේ ප්‍රොසෙසර ධාවනය වන උෂ්ණත්වය දැනගන්න සාමාන්‍ය මෘදුකාංග කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මම දෙක තුනක් පාවිච්චි කරලා තියෙනවා ඒත් ඒවායේ පහසුකම් අනවශ්‍ය විදියට වැඩියි. (Bloated) අද How-To-Geek හි සඳහන් කර තිබුණා මේ කටයුත්තට ගැළපෙන නියම මෘදුකාංගයක් ගැන. නම CoreTemp. මට නම් පේන්න තිබුණු ලොකුම විශේෂත්වය මේක හිතන්න බැරි තරම් කුඩා මෘදුකාංගයක් වීම තමයි. සාමාන්‍ය ධාවනයේදී කිලෝබයිට් 800ක් පමණයි මේ මෘදුකාංගයට වැයවෙන්නේ. Startup ෆෝල්ඩරයට පිටපත් කළොත් වින්ඩෝස් ආරම්භ වෙනකොට ස්වයංක්‍රීයවම ආරම්භ වෙන්නට සකසන්න පුළුවන්.

Update: මේක මගේ එකේ වැඩකරන්නේ නැහැ.

[CoreTemp]

How-To-Geek මගිනි.

නොදන්නා ගීත හඳුනාගන්න Tunatic | Identify Music with Tunatic

Tunatic කියන්නේ මට ළඟදී හොයාගන්න ලැබුණු නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ අපට ඇසෙන ඕනෑම ඉංග්‍රීසි ගීතයක නම හා ගායකයා කවුදැයි සොයා දීමයි. මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට රේඩියෝ එකේ හදිසියකට ඇහෙන ගීතයක් කියන්නේ කවුද, ගීතය මොකක්ද කියලා හොයාගන්න අවශ්‍ය වුණොත් මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. අවශ්‍ය වෙන්නේ මයික් එකකුත් අන්තර්ජාල සම්බන්ධයකුත් විතරයි. පරිගණකයේ රේඩියෝ ටියුනර් එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Recording සැකසුම් වල Stereo Mix හෝ Mono Mix තෝරාගන්නට වෙනවා.

Tunatic

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම මැක් වල ධාවනය කරන්නට පුළුවන්.

[Tunatic]

ඔබේ ප්‍රොසෙසරයේ සියලු විස්තර දැනගන්නා හැටි | How to Get Info about your processor

CPU-Z

තමන් පාවිච්චි කරන ප්‍රොසෙසරයේ විස්තර දැනගන්න නම් System Properties පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඊට වඩා පුළුල් විස්තර ලබාගන්න අවශ්‍ය වුණොත් ඒක කරන්න හොඳම මෘදුකාංගය තමයි CPU-Z කියන්නේ. ප්‍රමාණයෙන් කිලෝබයිට් 512 ක් විතර වෙන මේ කුඩා මෘදුකාංගයට හැකියාව තිබෙනවා ඔබේ ප්‍රොසෙසරයේ, කෑෂ් මතකයේ, මව්පුවරුවේ හා මතකය පිළිබඳව තොරතුරු රැසක් ලබාගන්නට. ස්ථාපනය කරන්නට අවශ්‍ය නොවන කුඩා .exe ගොනුවකුත්, .ini ගොනුවකුත් පමණයි මෙය ධාවනය අවශ්‍ය වන්නේ. ඒ නිසා ෆ්ලෑෂ් ධාවකයකට පිටපත් කරගෙන ඕනෑ තැනක ගෙනයන්නත්, ඕනෑම වින්ඩෝස් ධාවනය වන පරිගණකයකින් එම පරිගණකයේ විස්තර ලබාගන්නත් ‍CPU-Z පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.

[CPU-Z]