රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු වෙලාවෙ ඉඳන්. මොනවහරි හැපුවොත්. ඉන්න බෑ. ඩ්‍රිල් එකකින් හිල් කරනව වගේ. මොන මගුලක්ද. මෙහෙම කන්නෙ කොහොමද? බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව.
කොච්චර රසට තිබුණත් වැඩක් නෑ. රස නොදැනෙන ගානට දත රිදෙනව. එතකොට කෑම පිඟාන උස්සල පොළවෙ ගහන්න හිතෙනව.
මං දත් මදිනව. දවසට දෙවරක්. එහෙමනෙ කරන්න කියන්නෙ. ඉතින් ඕක හැමදාම කරනවනෙ. දවසට දෙවරක්. සතියට දවස් හතක්. මාසෙට දවස් තිහක්. නැත්තං තිස් එකක්. පෙබරවාරි වලට නම් විසි අටයි. අදික අවුරුද්දක් නං විසි නවයයි. මදිනව මදිනව මදිනව. යන්තරේ වගේ. ෆැක්ටරියක් වගේ. මැදගෙන මැදගෙන යනව. වෙලාවකට ඇනෙනව බුරුසුව කටේ. දෙයියො සිහිවෙනව. ඒත් මදිනව. මැදල මිසක් අතාරින්නෙ නෑ. ඔන්න ඔහොම.
සිග්නල්, ක්ලෝගාඩ්, සිග්නල් හර්බල්, සිග්නල් වයිටනින්, කොල්ගේට්, සුදන්ත, සුපිරිවිකී සහ එකී මෙකී නොකී හැම එකෙන්ම මදිනව.
ඒ වුණාට, මෙච්චර මැදලත්, දත රිදෙනව. මොන මගුලකටද එහෙනං මෙච්චර මදින්නෙ? ඇයි නොමැද නිකං ඉන්නෙ නැත්තෙ?
හැමෝම මේ වගේ මදිනවද?
ඉස්සරහ නිදාගෙන බල්ලව ගමු. ඌ මදිනවද? පූසෙක් ඉන්නව අතන. ඌ මදිනවද? නෑ. හොරෙන්වත් මදිනවද? මං හිතන්නෑ. ජීවිතේට මදිනවද? මං දැකල නෑ.
ඔන්න බල්ලෙක් එනව මේ පැත්තට. මං අහනව උගෙන්. “බල්ලා, උඹ දත් මදිනවද?“
ඌට තේරෙන්නෙ නෑ. ඌ මගේ මූණ දිහා බලල මට බුරනව. වලිගෙ වනනව. බුරනකොට මට උගෙ දත් සෙට් එක පේනව. උගෙ දත් සෙට් එක හොඳට තියෙනව. ඒත් ඌ මදින්නෙ නෑ කියල මට ෂුවර්. උගේ දත් දැක්කම වෙලාවකට බය හිතෙනව. ඒව දිලිසෙනව. සමහර දත් උල්වෙලා. පිහි වගේ. ඒත් ඌ මදිනවද? නෑ.
ලෝකෙ තියෙන මොන මල ජරාවක් කෑවත් ඌ දත් මදිනවද? නෑ. උන්ට දත් දොස්තරල ඉන්නවද? මං නං දැකල නෑ. ඌ දත රිදෙනව කියල අඬනවද? නෑ.
මොකක්ද මේකෙ තේරුම?
මෙච්චර මැදලත් ඇයි මට මෙහෙම වෙන්නෙ?
බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව. මං පිඟාන දෙනව බල්ලට. “උඹම කාපන්. බූරුව.“
මං ගිහින් ආයෙ මදිනව. අද ටිකක් වැඩිපුර මදිනව. හෙටත් මදිනව. අනිද්දත් මදිනව. මදි නොකියන්න මදිනව.








